ඇසළ පෙරහැරත් සමඟ එන කඳ දෙව් පුවත

141

මුරුගා-මුරුගා-ඕම් මුරුගා භක්ති කථනය නොනැවතී ඇසෙයි,
සිංහල – දමිළ සුසංයෝගයෙන් ඇසළ පුද පෙරහැර ඔප්නැංවෙයි.

 කතරගම දෙවියන්ගේ බලමහිමය ඈත අතීතයේ පටන් අද දක්වාත් රජ-මැති ඇමැති නිලදරු පිරිස විසින්ද, මහා පඬුවන් විසින්ද, නොයෙක් තරාතිරමේ නානා ජාතිකයන් විසින්ද, ප්‍රත්‍යෂකයෙන් අවබෝධ කරගත් බවට ඉතිහාස කරුණු මෙන්ම වර්තමාන සිද්ධීන්ද, සාක්‍ෂි දරන හෙයින් මේ මහා බලය කුමක් දැයි පරීක්‍ෂා කිරීම ඉතා වැදගත් කරුණකි.

ඇසළ පෙරහැරත් සමඟ එන කඳ දෙව් පුවත

කතරගම ඇසළ පූජෝත්සවය සඳහා කප් සිටුවීම සිදු වන්නේ එහි ආරම්භයට දින හතළිස් පහකට පෙරය.

 මුරුගන් යන්නෙහි අර්ථය – අලංකාර සිරුරක් ඇති කුමාරයාය.

 මුරුගන් හෙවත් ස්කන්ධ කුමරු ලොව පහල වූදා. ප්‍රථමයෙන් දුටු පුද්ගලයා වූයේ නාරද සෘෂිවරයාය.

 නාරද සෘෂීන් පැවසූ සියලු කරුණු අස්ථානගත නොවූයේ අදින් වසර 4500 ට පෙර අරුණගිරි නාදර් නමැති ස්කන්ධ භක්තික බ්‍රාහ්මණ පඬිවරයා විසින් ග්‍රන්ථාරූඪ කළ බැවිනි. එම තිරුප්පුගල් කාව්‍යයට අනුව මුරුගා යන ආදරණීය ආමන්ත්‍රණය ඇසීමට ස්කන්ධ කුමරු ඉතා ප්‍රියය.

 තිරුප්පුගල් කාව්‍යයේ 407 සිට 418 දක්වා පiවල කඳ කුමරුගේ විවිධ වික්‍රමාන්විත තත්ත්වයන් පැහැදිලි කර තිබේ.

 පාර්වතී දේවිය ස්කන්ධ කුමරු වෙත වේලායුධ ශක්තිය ලබා දෙන්නීය. බ්‍රහ්ම – විෂ්ණු – ඊශ්වර ත්‍රී මූර්තිය සංකේතවත් කළ ත්‍රිසූල අවිය ශිව දෙවියන් විසින් කඳකුමරුට බාරදී පරාශක්තිය ලබා දුන්හ.

 ඉච්ඡා ශක්තිය – පරාශක්තිය – ක්‍රියා ශක්තිය – ඥාන ශක්තිය යන මේ සියලු ශක්තීන් දෙවිවරුන් වෙත පැවැතිය යුතු ශක්තීන් වෙති.

 හින්දු දේව පුරාණයට අනුව ස්කන්ධ කුමරු ලොව පහල වූයේ සුරයන්ට හා නරයන්ට අසුරයන් වෙතින් පැමිණෙන මහත් ව්‍යසනයකින් ඔවුන් බේරා ගැනීම සඳහාය.

 මායා පෙදෙසට ගොස් සිංහමුඛ අසුරයා මරා එසැණින් ඔහු සිංහයකු ලෙස මවා අසුරයාට අභය දානය දී, එම සිංහයා පාර්වතී මෑණියන්ට සිහිවටනයක් ලෙස පිරිනමන්නේය.

 යළිත් පිහිටි රට පෙදෙසට ගිය කඳ කුමුරු ගජමුඛ අසුරයා හා සටන් වැදුණේය. ඇතකුගේ ස්වරූපයෙන් පෙනී සිටි ගජමුඛ අසුරයා දැකීමෙන් කඳ කුමරුට සිය ගණපති සොහොයුරා සිහි විය.

 සටන ප්‍රමාද වනු දුටු ගණපති සොහොයුරා එතැනට පැමිණ වහා ක්‍රියාත්මක විය. අසුරයා මරා දමා ඒ සමගම මූෂිකයකු බවට පත් කොට වාහනය කරගත්තේය.

 සූර පද්ම හෙවත් තාරක අසුර සේනාංකය ලැගුම් ගෙන සිටියේ රුහුණේ – හේමකූඨය මතය, සිංහාසන කන්ද, මැදුම් හෙළය වැඩසිටි කන්ද ආදී නම් රැසකින් හැඳින්වූ මෙම කන්ද භාරතීය හින්දුන් හඳුන් වනුයේ දක්‍ෂිණ කෛලාෂය යනුවෙන්ය.

 ස්කන්ධ කුමරුගේ වේලායුධ ප්‍රහාරයේ දරුණු බව කල්තබා දැන සිටි තාරක අසුර රාජයා වහාම ගසක් බවට පත්විය.

 එහෙත් යුද්ධය පිණිස මවා ගත් සිරුරකින් යුතු කඳ කුමරුගේ දොළොස් නෙතින් සැඟවී ගත නොහැකි විය.

 ඒ සුවිසල් වෘක්‍ෂය දෙපළුවී යන ලෙස දෙව් කුමරුගේ වේලායුධය මුදා හැරියේය.

 ගස දෙපළු වන විට අසුර තාරකද දෙපළුවී ගියේය.

 පළුවකින් මයුරයාද, පළුවකින් කුකුළාද මවා ගත් කල්හි දැඩිමුණ්ඩ දෙවිඳුට කුකුළා පිරිනැමීය.

 වහා මයුරාසනා රූඪවූ කඳකුමරු සැවුල් ධජයක් නඟාගෙන හේමකූටය අළුකර දැම්මේය. අසුර සේනාංකය භෂ්ම විය. ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් වරක් හේමකූඨයට පැමිණියේ, සංජීව – ප්‍රාණජීව ආදී වටිනා ඖෂධ රැගෙන යනු පිණිසය.

 ඒ සියලු ඖෂධ සහිත හේම කූඨය හෙවත් වැඩසිටි කන්ද දැවී, අළුවී, ඒ අළු පොළොව තුළ තැන්පත් විය.

 වර්තමානයේද පෙරහැර සමය ළංවන විට පමණක් “විභූති නිධි” මතුකර ගැනීමට හැකි වෙයි.

 සංස්කෘත ව්‍යවහාරයේ යෙදුණු ශ්‍රී විභූති ඖෂධය දමිල ජනතාවගේ දිව ඔසුවකි. මෙරට දේවාල – කෝවිල් තුළ භාවිතා කරමින් නලල මත ගල්වා ආශිර්වාද කරනුයේ මේ විභූති හෙවත් තින් නෝරු අළුය. සිරුරෙහි කටු

 ගැසූ පසු එම සිදුරු එදිනම සුවපත් වනුයේ විභූති බලයෙනි.

 භාරතීය වැසියන්, තින්නෝරු සාදා ගනුයේ දහයියා සමග ගොම පුළුස්සා ගැනීමෙන්ය.

 ජම්බුද්වීපයත් – ලංකා දේශයත් කම්පිත කරවමින්, තාරක නම්වූ අසුර රාජයා විනාශ කර දැමු නිසා දකුණු ඉන්දියානු ජනයා “වේල්” යන නමින් කඳ කුමරු හඳුන්වති.

 මෙම දෙවියන්ගේ උත්සවය වේල් පෙරහැර නමින් හින්දු භක්තිකයන් සමරන හැටි දක්නට ලැබේ.

 ස්කන්ද කුමාර මහා දෙවියන් පිළිබඳ පුරාණ නාමාවලියක මෙසේ දක්වා ඇත.

 දෙව් සෙනෙවි- කුමර- සරයොන්- සවත් කඳ
 මහසෙන්-සිකියහන්-බරඅත්-කොතා යුද
 අඩයටිදර-හුතැස්යොන්-ගුරු-බරනෙත්ද

 මෙකී තෙලෙස් නම් වේ, කුමරිඳුට කඳ. 16 වැනි සියවසේ මුල් කාලයේ සියම් දේශයේදී පාලි භාෂාවෙන් ලියන ලද ජනකාලමාලියේ සඳහන් වෙන්නේ-

 කත්තගාම හෙවත් කතරගම දෙවොල ඉතා ප්‍රසිද්ධව පැවැති බවයි.

 කතරගම ස්කන්ධ කුමාර දෙවියන්ගේ වික්‍රමය වර්ණනා කළ මෙම කවියෙන් මේ සටහන අවසන් කරමි.

 සුර සෙන් නිතර බිය ගැන්වූ යුද    කාමී
 තාරක මහා අසුරිඳු බල බිඳ          පේමී
 ජය බිම කතරගම කළ                 කන්දස්සාමී
 දෙව් රජතුමා පාමුල දූවිලි            නාමී

 කතරගම  – නිමල් කුඩාතිහි

advertistmentadvertistment
advertistmentadvertistment