ඇසළ සඳේ අඹේවෙල ෂූටිං අදටත් මතකයි

248

වානිජ සිනමාව මෙන්ම කලාත්මක සිනමා රංගනයේදී ද ඇය එකසේ සමත්කම් දක්වන්නීය. එහි කූටප්‍රාප්තිය ලෙස 1987 වසරේ පවත්වන ලද 11 වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානයෙන් පිදුම් ලබන්නීය. එය ඉතිහාසයට එකතුවන්නේ එතෙක් මෙතෙක් එම සම්මාන උළෙලේදී රජත මයුර සම්මානයෙන් පිදුම් ලද එකම ශ්‍රී ලාංකික රංගවේදිනිය ලෙසටය. ඇයට එම සම්මානය හිමිවූයේ මල්දෙනියෙ සිමියොන් චිත්‍රපටය සඳහා දක්වන ලද අද්විතීය රංගන දායකත්වය වෙනුවෙන්ය. මෙවර My Favourite Location  විශේෂාංගය වෙන් වන්නේ සම්මානනීය රංගන දිවියකට හිමිකම් කියන ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මෙරටදී දුටුව මනරම් රංගන පසුතලය පිළිබඳ කතාබහක් පිණිසය.

ඇසළ සඳේ අඹේවෙල ෂූටිං අදටත් මතකයි

● සිනමා ජීවිතය තුළ ඔබ මෙරට දුටු ලස්සනම දර්ශන තලය දකින්නේ කුමන ප්‍රදේශයකදීද?

අපේ රටේ ලස්සන ස්ථාන පිළිබඳ කතා කරද්දී මගේ ළමා වියේ එක්තරා යුගයක් ගතකළ බදුල්ල කයිලගොඩ කියන සුන්දර ගම්මානය කිසිසේත් අමතක කරන්න බැහැ. එක පැත්තකින් දුන්හිඳ අනික් පැත්තෙන් නමුණුකුල කඳුයාය තවත් පැත්තකින් බදුලු ඔය. එහෙම පරිසරයක තමයි මම හැඳුනෙ වැඩුනෙ.

අපේ රටේ ලස්සනම ස්ථාන ගැන කතා කරද්දී මගේ ළමාවිය ගතකළ එතනදී තමයි පරිසරය කියන්නෙ මොන තරම් සුන්දර දෙයක්ද කියල මට දැනෙන්න ගත්තෙ. ඊට කාලයකට පස්සෙ නිළියක් ලෙස මම සිනමාවට එක්වුණාට පස්සෙ අපේ රටේ වගේම ලෝකයේ තවත් බොහෝමයක් සුන්දර ස්ථාන දැකගන්න අවස්ථාව ලැබුණා. නමුත් රූගත කිරීම් පැත්තෙන් ගත්විට මා රංගනයෙන් දායකත්වය ලබාදුන් චිත්‍රපට ගණනාවක් රූගත කළ අඹේවෙල සහ ඒ අවට පරිසරය තුළ තමයි මා මෙරටදී දුටුව ලස්සනම පසුතල දකින්නට ලැබුණෙ.

ඇසළ සඳේ අඹේවෙල ෂූටිං අදටත් මතකයි

● ඒ ආශ්‍රිතව රූගත කළ සිනමා නිර්මාණ කීපයක් මෙනෙහි කරන්න පුළුවන්ද?
 

චිත්‍රපට ගණනාවක්ම තිබෙනවා. නම් වශයෙන් කියනව නම් ඔබට දිව්රා කියන්නම්” සිනාසෙන්න රත්තරන්” ඇසළ සඳ කියන චිත්‍රපට කීපය ඒ ප්‍රදේශය ආශ්‍රිතව තමයි රූගත කළේ.

● අඹේවෙල ඔබ දකින සුන්දරත්වය එසේත් නැත්නම් විශේෂත්වය මොකක්ද?

 භූගෝලීය වශයෙන් ගත්විට අඹේවෙල කියන්නෙ මුහුදු මට්ටමින් අඩි දහස් ගණනක් උස් ස්ථානයක්. නමුත් එතනට ගියාට පස්සෙ එහෙම දෙයක් නොදැනෙන බවක් දැනෙන්න ගන්නව. ඒ තරම් ලස්සන තැනිතලා සහිත ප්‍රදේශයක් නිසා එහෙම දැනෙනව ඇති කියල මම විශ්වාස කරනව. ඒ වගේම අඹේවෙල දී මම දැක්ක තවත් විශේෂ දෙයක් තමයි ඒ උස් තැනිතලාවට ගියාට පස්සෙ ඈතින් ඈතට විහිඳුන මනරම් කඳු යායක් දැකගන්න ලැබෙනවා.

ඒ කඳු මීදුමෙන් වැහෙනකොට නැවත මීදුම අතරින් මතුවන විට පුදුමාකාර ලස්සනක් දැකගන්න ලැබෙනවා. අඹේවෙල කිව්වහම ඔය තරම් ලස්සන තැනක්ද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ ලස්සන ඇස්දෙකෙන් දැකගන්න නම් අඩුම තරමින් දවසක් දෙකක් ඒ ප්‍රදේශයේ නතර වී ඉන්න ඕනි. රූගත කිරීම් ආදියට සහභාගිවෙද්දි දින ගණන් මම ඒ ප්‍රදේශයේ නතර වී සිටිය අවස්ථා කීපයක් තිබුණා. එතනදී ඉර එළියත් එක්කම වගේ දර්ශන තලයට යන්න සිදුවූ අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවල තමයි අඹේවෙල සුන්දරත්වය කියන දෙය මට රිසිසේ විඳගන්න අවස්ථාව ලැබුණෙ. එවැනි තැනක රඟපානව කියන්නෙ ශරීරයට කිසිම වෙහෙසක් ගෙනදෙන අභ්‍යාසයක් නොවෙයි.

● ඔබ සඳහන් කරන ස්ථානයේ කරන ලද රූගතකිරීම් අතරතුර අමතක නොවන සිදුවීම් ලෙස මතකයේ පවතින්නේ මොනවාද?
 

ඔව්… එවැනි සිදුවීම් නම් කොතෙකුත් පවතිනව. ඒ අතරින් මගේ මතකයේ පවතින එක සිදුවීමක් ලෙස ඇසළ සඳ චිත්‍රපටය රූගත කිරීම් අතරතුර සිදුවූ එක් දෙයක් සඳහන් කරන්නම්. ජීවන් කුමාරතුංග නිෂ්පාදනය කළ ලයනල් පඬුවාවල විසින් අධ්‍යක්‍ෂණය කළ ඇසළ සඳ චිත්‍රපටයේ එක් ගීතමය දර්ශනයක් තිබෙනව මා සහ ජීවන් රඟපාන. අඹේවෙලට ආසන්නයේ පිහිටි හරිම ලස්සන දිය ඇල්ලක් ආශ්‍රිතව තමයි ඒ රූගත කිරීම සිද්ධ වුණේ. කොටස් දෙකකට කඩා හැලෙන දිය ඇල්ලෙ මැද තිබුණ ගල් තලාවක ගීතයක් ගායනා කරමින් මා රඟපාන දර්ශනයක් තිබුණ. ඒක තරමක් අසීරු රංගනයක්. මොකද ලොකු අවදානමක් සහිත ස්ථානයක් නිසා. නමුත් ඒ අභියෝගය භාරගත්ත මම ඒ රංගනය සාර්ථකව සිද්ධ කළා. ඇත්තටම ඒ සිද්ධිය අදටත් මගේ මතකයේ පවතිනවා.

● සිනමා නිර්මාණයක් පිණිස අවශ්‍ය පසුතල සහ අනිකුත් දේ සාර්ථක නිර්මාණ කටයුත්තක් සඳහා කොතෙක් දුරට වැදගත්ද?
 

නිර්මාණයක ගුණාත්මක බව පිණිස නළු නිළියන් තෝරාගැනීම වගේම ඒ ඒ නිර්මාණ පිණිස අවශ්‍ය කරන පසුතල” ඇඳුම් පැළඳුම් ඒ වගේම අදාළ නිර්මාණයට උචිත සමාජ පසුබිම තෝරා ගැනීමේදී ඒ ඒ යුගය පිළිබිඹු කරන අනිකුත් දේ තෝරාගැනීමේදී ඉතාමත් පරිස්සම් විය යුතු වෙනව. 70” 80 දශකවල ඉඳල මේ මෑතක් වෙනකම් ඒ තත්ත්වය හොඳින් පවත්වාගෙන ගිය ආකාරයක් දකින්නට ලැබුණ. නිෂ්පාදකවරු ඒ සඳහා නිර්ලෝභීව වියදම් කළා. කෙළිමඬල” සුරබිදෙන” ගුරුගෙදර වගේ චිත්‍රපටයක් අරන් බලන්න. ඒව කොයිතරම් නිර්මාණශීලීද කියලා. ජුලියට්ගේ භූමිකාවේ රියසල් එකකදී කමල් අද්දරආරච්චි අත උස්සන දර්ශනයක් තිබුණ. ඒක දැකපු ජැක්සන් ඇන්තනී කිව්ව ඔය කමිසය දර්ශනයට හරියන්නෙ නෑ ඊට සුදුසු කමිසයක් ඇඳගෙන තමයි ඒක කරන්න ඕන කියලා. රෝමියෝ ඇඳන් හිටිය කමිසයට සමාන කමිසයක් එදා අපට හොයාගන්න බැරිවුණා. ඒ හින්දා එදා රූගත කිරීම නතර කළා. එහෙම කමිසයක් අලුතින් මහල තමයි ඒ දර්ශනය පසුව රූගත කළේ. මම ඔය කිව්වෙ පුංචි උදාහරණයක්. එහෙමයි එදා අධ්‍යක්‍ෂවරු නිෂ්පාදකවරු වැඩ කළේ.

 ● ඔබ සඳහන් කර සිටින්නෙ එදාට වඩා අද වනවිට සිංහල සිනමාවේ පසුබෑමක් සිදුවී ඇති බවක්ද?

එදා බැලුවෙ ලාභය නොවෙයි. නිර්මාණාත්මක පැත්තට තමයි වැඩි අවධානයක් යොමුකළේ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රේක්‍ෂකයො පෝලිමේ ඇවිත් ඒ සිනමා නිර්මාණ නරඹන ප්‍රවණතාවයක් දකින්නට තිබුණ. නමුත් දැන් තත්ත්වය වෙනස්. නිර්මාණාත්මක පැත්ත ගැන අවධානය අඩුයි. එතනදී වෙන්නෙ ප්‍රේක්‍ෂකයා සිනමාවෙන් ඈත් වෙන එක. එහි ප්‍රතිඵලයක් ලෙස අභව්‍ය හින්දි චිත්‍රපට හා ටෙලි නාට්‍ය රැල්ලක් රට තුළ ඉස්මතු වෙන්න ගත්ත. එහි වරද ප්‍රේක්‍ෂකය පිට පටවන්න බෑ. අපේ රටේ නිර්මාණකරුවන් ඊට වගකිව යුතුයි. නිර්මාණයක් සඳහා කැපවීම් කරන්න ඕන. අද එහෙම තත්ත්වයක් දකින්නට ලැබෙන්නෙ නැහැ.

 ● විදේශ සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායකත්වය සපයන්න ඔබට අවස්ථාව ලැබෙනව. ඒ සඳහා පසුබිම සැකසෙන්නෙ කොහොමද?

11 වන ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල නියෝජනය කළ සිනමා නිර්මාණ අතරින් ඩී. බී. නිහාල්සිංහයන් අධ්‍යක්‍ෂණය කළ මල්දෙනියෙ සිමියොන් චිත්‍රපටයේ මව සහ දියණිය ලෙස කරන ලද ද්විත්ව රංගනය හේතුවෙන් එම සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස මා රජත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවා. මගේ රංගන ජීවිතයේ සුවිශේෂී සිදුවීම ලෙස එය හඳුන්වන්න පුළුවන්. එතනදී බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් කීප දෙනෙක්ම ඒ අයගේ සිනමා නිර්මාණවලට මට ආරාධනා කළා.

නමුත් ඒ වෙලාවෙ මට උවමනා කළේ මා ලද ජයග්‍රහණයත් එක්ක නැවතත් ලංකාවට පැමිණීමටයි. ඒ ආවට පස්සෙ මුළු රටම මා වෙනුවෙන් උපහාර උළෙලවල් සංවිධානය කළා. මට මතක හැටියට මාස ගණනාවක් එක දිගට ඒවට සහභාගි වෙන්නත් සිද්ධ වුණා. ඊට පස්සේ ලෝක ප්‍රසිද්ධ සිනමාකරුවකු වන හෝල් කොක්ස් ගේ ‘අයිලන්ඩ්. කියන චිත්‍රපටයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. එතනින් තමයි මම ජාත්‍යන්තර සිනමාවට පිවිසෙන්නෙ. අයිලන්ඩ් චිත්‍රපටය හරහා ලොව පුරා ලොකු ප්‍රසිද්ධියක් ලබන්න මම වාසනාවන්ත වෙනවා. ඒක කොච්චරද කියනව නම් ලෝක ප්‍රසිද්ධ ලන්ඩන් සිනමා උළෙල ඇතුළු ලොව ජනප්‍රියම සිනමා උළෙලවල් රැසක් නියෝජනය කරන්න මට අවස්ථාව හිමිවෙනව.

 ● ඔබ සිනමාවෙන් ඉවත්වන විට සිනමා නිර්මාණ කොපමණ ප්‍රමාණයක් සඳහා රංඟනයෙන් දායකත්වය ලබාදී තිබුණද?

මට මතක හැටියට සිනමා නිර්මාණ 70 ට ආසන්න ප්‍රමාණයක් සඳහා දායකවෙන්න අවස්ථාව ලැබුණා. ඒ අතරට විදේශීය නිර්මාණ 15 කට ආසන්න ප්‍රමණයක් ඇතුළත් වෙනව. ඒ සෑම සිනමා නිර්මාණයක් තුළම මට කළ හැකි උපරිම දෙය කළා කියන තෘප්තිය අදටත් මා ළඟ තිබෙනවා.

රුවන් ජයවර්ධන

ඇසළ සඳේ අඹේවෙල ෂූටිං අදටත් මතකයි

advertistmentadvertistment
advertistmentadvertistment