“ඇස්ටන් 2” නැවේ හිමිකාරිත්වයට පෙරකලාසියේ වලංගුභාවය ගැන තීරණය ලබන 10 දා

331

විදේශීය ආයෝජන සමාගමක් විසින් ආයෝජන කටයුතු සඳහා මෙරටට ගෙන්වන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන හතරකට අධික වටිනාකමක් ඇති නෞකාවක් කූට ලේඛන ඉදිරිපත් කර හිමිකර ගැනීමට තැත් කිරීමකට අදාළව පවතින නඩුවකට ඉදිරිපත් කර ඇති පෙරකලාසියක වලංගුභාවය පිළිබඳ සිය අධිකරණයේ තීරණය ලබන මාර්තු 10 වැනිදා ලබාදීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා දින නියම කළේය.ඇමෙරිකානු ජාතික ආයෝජන සමාගමක් වන සීමැක්ස් සිලෝන් සමාගම විසින් ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ටන් 2 නමැති නෞකාවේ හිමිකාරිත්වයට අදාළව වෙනත් සමාගමක් විසින් එම නඩුව වාණිජ මහාධිකරණය හමුවේ පවරා තිබිණි.

එකී පැමිණිලිකාර සමාගම නැවේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් කූට ලේඛනයක් ඉදිරිපත් කර ඇති බවට ලැබුණ පැමිණිල්ලක් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කිරීම නිසා එම පෙරකලාසිය ඉදිරිපත් කළ නීතිඥවරිය සිය පෙරකලාසිය ඉල්ලා අස්කර ගෙන තිබිණි. කූඨ ලේඛනය සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාශය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත. ඉන් අනතුරුව පෙරකී පැමිණිලිකාර සමාගම විසින් නැවත නව පෙරකලාසියක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එය ද නැවේ හිමිකාර සමාගම විසින් අභියෝගයට ලක්කර තිබිණි. එම පෙරකලාසිය ඉදිරිපත් කරන ලද සමාගමේ ඉරාන ජාතික අධ්‍යක්‍ෂවරයාට එය අත්සන් කිරීමට බලයක් එම සමාගම විසින් ලබා දී නොමැති බවත්, එකී ක්‍රියාව මගින් අධිකරණය නොමඟ යැවීමට පැමිණිලිකාර සමාගම උත්සාහ දරා ඇති බවත් පෙන්වා දෙමින් නැව් හිමිකාර සමාගම එම විරෝධතාවය ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරනා ලෙසට අධිකරණය විසින් දෙපාර්ශ්වයට නියෝග කොට තිබූ අතර දෙපාර්ශ්වය විසින්ම ලිඛිත දේශන ගොනුකර තිබිණි.ශ්‍රී ලංකාව තුළ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ අරමුණින් ධීවර අමාත්‍යාංශය විසින් කරන ලද ඉල්ලීමක් අනුව විශාල විදේශ ආයෝජන ව්‍යාපෘතියක කොටසක් ලෙස ඇස්ටන් 2 නැව ශ්‍රී ලංකාවට ගෙන ආ බවත්, අනෙක් පාර්ශ්වය විසින් හිතාමතාම අධිකරණ කටයුතු ප්‍රමාද කිරීම නිසා රුපියල් කෝටි ගණනාවක් වටිනා ඇස්ටන් 2 නෞකාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවත්, නැව හිමිකාර සමාගම වන සීමැක්ස් සිලෝන් සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා වන ඊශ්‍රායල් ජාතික මැක්ස් ඇස්ටන්ඩස්ට් මහතා අධිකරණ භූමියේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ පවතින නිත්‍ය පමාව හේතුවෙන් විදේශ ජාතිකයන් මෙන්ම රටේ ජනතාවත් විශාල අපහසුතාවකට පත්වන බවත් එමගින් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කිරීමට මැලිවන බවත් එහිදී මාධ්‍යයට පෙන්වා දුන් ඒ මහතා තමන් ශ්‍රී ලංකාවට දක්වන දැඩි කැමැත්ත නිසා හා වර්තමාන ධීවර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත නැවත වතාවක් ලංකාව තුළ ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට ඇමෙරිකාවේ සිට පැමිණි බව ද හෙතෙම වැඩිදුරටත් මාධ්‍යයට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment