ඇසිපිය ලක්ෂ දෙකකින් පැවසූ ධෛර්යයේ කතාව

157

1995 දෙසැම්බර් 08 වෙනි දීන උදෑසන ප්‍රංශයේ ජනප්‍රිය විලාසිතා සඟරාවක් වූ “එලේ” හි ප්‍රධාන කතුවරයා වූ 43 හැවිරිදී ජීන් ඩොමිනික් බොබී සිය කාර්යාලයට ඇතුළු වූයේ එලේ සඟරාවේ නවතම කලාපයට එක් කළයුතු නව විශේෂාංග පිළිබඳ සිතමිනි. එහෙත් ඔහුට සිය ආසනයේ වාඩි වීමට හැකි වූයේ නැත. කපා හෙළුෑ ගසක් මෙන් කාර්යාල දොර අසල ඇද වැටුණේය. සිහිසුන් තත්ත්වයේ හුන් බොබී වහාම ප්‍රංශයේ බර්ක්හි මැරිටයිම් රෝහල වෙත ගෙනයනු ලැබිණි. එහිදී අනාවරණය වූයේ ඔහු බරපතල ආඝාතයකට ලක්ව ඇති බවය. පුරා දීන 20 ක් සිහිසුන් තත්ත්වයේ හුන් බොබී දෙසැම්බර් 28 වන දීන උදෑසන කිසියම් චලනයක් දැක්වීය. ඒ වම් ඇසිපිය සැලීමෙනි. පරීක්ෂා කොට බැලීමේදී ඔහු පූර්ණ අකර්මන්‍ය තත්ත්වයකට පත්වී තිබිණි. වම් ඇසිපිය සැලීම හැර ශරීරයේ වෙනත් කිසිම අවයවයක් දශමයකුදු චලනය කිරීමේ හැකියාව ඔහුගෙන් ගිලිහී ගොස් තිබුණේය. ඔහුගේ ඇස් හොඳින් පෙනුනු අතර මොළයද පියවි තත්ත්වයෙන් ක්‍රියාකාරී විය. කතා කිරීමට තබා කිසිදු හඬක් පිට කිරීමේ හැකියාවක් නොවීය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවෙහි හැඳින්වෙනුයේ loked-in syndrome ලෙසිනි.

මෙසේ ශාරීරිකව අකර්මන්‍ය වී රෝහල් සයනයෙහි වැතිර හුන් බොබීගේ සිතිවිලි අකර්මන්‍ය කිරීමට ලොක්ඩ් ඉන් සින්ඩ්‍රෝමයට හැකි වූයේ නැත. උතුරු ප්‍රංශයේ මැරිටයිම් රෝහලේ මුහුදට මුහුණ ලා තිබූ හුදකලා කොරිඩෝවක සැඳෑවේ හෙදියක් විසින් තල්ලුකරගෙන යන රෝද පුටුවක වාඩි වී සිටින ජීන් එක එල්ලේ මුහුද දෙස බලා සිටිනු දැකීම කාටත් හුරු පුරුදු දර්ශනයක් විය. මුහුද දෙසින් හමනා ලවණ සුළඟ ඔහු හැඳ සිටින බ්ලැන්කට්ටුව විනිවිදීමින් අඩපණ නොවූ මනස අවදි කරමින් තිබිණි. ෆ්ලොරන්ස් බෙන් සැඩොන් ඔහුගේ ආදරවන්තිය සතියකට දෙතුන් වතාවක් පැරිසියේ සිට පැය තුනක ගමනක් ගෙවා ඔහු වෙත පැමිණ ඔහු වෙනුවෙන් කියවීමටත් කතා කරමින් සිටීමටත් පුරුදුව සිටියාය. පවතිනා තත්ත්වයට කෙමෙන් හුරු වෙමින් සිටි ජීන්ට, අතොරක් නොමැතිව තම සිතෙහි පහළ වන සිතිවිලි සටහන් කර තැබීමට හැකි නම් අගනේ නොවේදැයි සිතෙන්නට ඇත. එහෙත් කෙසේද? ලිවීමට තබා ඇඟිල්ලක්වත් සෙළවීමට නොහැකි නම්…

දිනකට පැය හතර බැගින් සතියකට දින හයක්.. දිනය අවසානයේ ජීන්ගේ සිතිවිලි අකුරින් පිටපත් කරන ලදී. මෙසේ ගත වූ කාලය මාස 10ක් විය. ජීන්ගේ ග්‍රන්ථය අවසානයට ළඟා වී තිබිණි. ඒ සඳහා ජීන් දළ වශයෙන් දෙලක්ෂ වාරයක් වම් ඇසිපිය චලනය කොට තිබූ බව හෙළි විය. දෙලක්ෂ වාරයක්..

ජීන්ගේ අධිෂ්ඨානයේ කතාව පරිච්ඡේද 28 කින් සමන්විත විය. ජීන් සිය කෘතිය ආරම්භ කරන්නේ ආඝාතයට ලක්ව අවුරුද්දකට පසු එක් උදෑසනක ඔහු බර්ක්හි මැරිටයිම් රෝහලේ 119 වැනි කාමරයේ සයනයෙන් නැගිටීම විස්තර කරමිනි. 1997 මාර්තු 07 වන දීන ජීන්ගේ අධිෂ්ඨානයේ කතාව The Diving Bell and the Butterfly නමින් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූයේය. අප්‍රමාණ ධෛර්යවන්ත මිනිසාගේ මෙම විශ්මිත කතාව කියැවීමට පාඨකයන් වහ වැටී පැමිණියහ. ඇදහිය නොහැකි ලෙස එහි අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිණි. එහෙත් තම ධෛර්යයේ කතාවට මිනිසුන් කෙතෙක් ප්‍රතිචාර දැක්වූයේදැයි දකින්නට දෛවය ජීන්ට ඉඩ දුන්නේ නැත. පොත නිකුත් වී දීන දෙකකට පසු 1997 මාර්තු 09 වෙනි දීන බර්ක් මැරිටයිම් රෝහලේ 119 වැනි කාමරයේදී නිව්මෝනියා රෝගය වැළඳීමෙන් ජීන්ගේ අප්‍රතිහත ධෛර්යයට නැවතීමේ තිත වැටිණි.

ජීන්ගේ අභාවයෙන් පසු ඔහුගේ මේ අසාමාන්‍ය කතාවට තටු ලැබී ලොව පුරා ඉගිල යන්නට විය. 1997 දී ජැකීස් බෙයිනෙක්ස් විසින් ජීන්ගේ කතාව අළලා විනාඩි 27 ක රූපවාහිනී වාර්තා වැඩසටහනක් නිර්මාණය කරනු ලැබීය. නළුවෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ජුලියන් ස්කැනබෙල් විසින් The Diving Bell and the Butterfly පොතෙන් නිර්මාණය කළ සිනමා කෘතියට 1997 කෑන්ස් චිත්‍රපට උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සම්මානය හිමි විය. එහි ජීන්ගේ චරිතය නිරූපණය කළේ ප්‍රකට නළු මැතිව් ඇමල්රික් ය. චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළෙලේදීද ඇකඩමි සම්මාන 4 කටද නිර්දේශ විය. ගිනිය නොහැකි තරම් වූ සංඛ්‍යාවක පාඨකයන්ගේ හදවත් ස්පර්ශ කළ The Diving Bell and the Butterfly තවමත් ලෝකයේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් ඔවුන් විශ්මිත කරවමින් දෑස් කඳුළෙන් තෙත් කරවමින් ලෝකය පුරා සැරිසරමින් සිටියි.

“පඬු පැහැ පොරෝනය මත අකර්මන්‍යව වැතිරී ඇති මගේ දෑත මට වේදනා ගෙන දෙයි. ඒවා ගින්දර මෙන් උණුසුම් ද හෝ අයිස් මෙන් සීතලද කියා මට කිව නොහැක.”

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment