ඇෆ්ගනිස්තානයේ අලුත්ම ප්‍රහාරය පාකිස්තානයේ වැඩක්ද?…කවුද මේ අයිඑස් අයිඑස් කේ කල්ලිය

349

පාකිස්තානය මෙහෙය වන්නේ චීනයද?

ඇමරිකාව ආපහු ඇෆ්ගනිස්තානයට අත තබයිද?

ඇමෙරිකානු යුද ඉතිහාසයේ දීර්ඝතම සංග‍්‍රාමය නිමා කරමින් එක්සත් ජනපද හමුදාව පසුගිය සඳුදා මැදියම් රැයේදී ඇෆ්ගනිස්තාන භූමියෙන් මුළුමනින්ම ඉවත් වී ගියේය. දශක දෙකක මෙහෙයුමේ අවසාන සොල්දාදුවා ලෙස එක්සත් ජනපද යුද හමුදාවට අයත් 82 වැනි ගුවන් සංක‍්‍රමික බලකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක‍්‍රිස් ඩොනාහු කාබුල්හි හමීඞ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ක්‍-17 යානයට ගොඩවිය. ඒ මොහොත රාත‍්‍රී කැමරාවක සටහන් වී තිබුණු අතර ලොව බොහෝ මාධ්‍යයන් මෙය නාට්‍යමය ආකාරයෙන් වාර්තා කර තිබුණි.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් අගෝස්තු 31 දිනට පෙර සිය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගන්නා බව මුලින් නිවේදනය කර තිබුණි. එක්සත් ජනපද හමුදා ඉවත්කර ගැනීමේ ක‍්‍රියාවලිය ආරම්භ වූ වහාම තලේබාන් සංවිධානය අළු ගසා දමා නැගිටින්නට විය. ඔවුහු ගම්, නගර අත්පත් කර ගනිමින් අනපේක්ෂිත වේගයකින් ඉදිරියට පැමිණි අතර දින දහයක් වැනි කෙටි කාලයකින් කාබුල් නගරයට ද ඇතුළු විය. ජනාධිපති අෂ්රෆ් ගානි රටින් පලා ගිය අතර රජයේ හමුදා සටන අතහැර දැමීය. ලේ සෙලවීමකින් තොරවම අගනගරය අත්පත්කරගත් තලේබාන් සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම ඉදිරි වැඩපිළිවෙළ ප‍්‍රකාශයට පත්කළේය. එක්සත් ජනපදය හා නේටෝ සංවිධානයට අයත් අනෙකුත් රටවල හමුදා තවදුරටත් කාබුල්හි හමීඞ් කර්සායි ගුවන් තොටුපළ තුළ රැඳී සිටියේ තම හමුදා ඉවත් කර ගැනීමේ මෙහෙයුම් නිමා වී නොතිබුණු බැවිනි.

කෙසේ නමුත් අනාගත තලේබාන් පාලනය පිළිබඳව තැතිගැන්මට පත් ඇෆ්ගන් වැසියන් දස දහස් ගණනින් ගුවන්තොටුපළට පැමිණෙන්නට වූ අතර ඔවුන්ගේ අරමුණ වූයේ කෙසේ හෝ රටින් පලා යෑමයි. මේ පිරිස් අතර හිටපු හමුදා සාමාජිකයන්, භාෂා පරිවර්තකයන් සහ බටහිර හිතවාදී රජය සමඟ එක්ව කටයුතු කළ සාමාන්‍ය වැසියන් විශාල ප‍්‍රමාණයක් විය. තම වැසියන් පමණක් නොව එකී පිරිස් ද මුදා ගැනීමට එක්සත් ජනපද හා නේටෝ රටවල රජයන් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණි. නමුත් බලාපොරොත්තු නොවූ තරම් ජනකායක් ගුවන්තොටුපළට ඒකරාශී වීමත් බොහෝ පිරිස් ගුවන්තොටුපළේ නවතා තිබූ යානා වලට ඇතුළු වීමට උත්සාහ කිරීමත් හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම් ව්‍යාකූලත්වයට පත්විය. ඒ අතර අනුවේදනීය සිද්ධි කිහිපයක් ද වාර්තා විය. ගුවන්යානයක රෝදයක එල්ලී ගොස් ඉහළ අහසේ සිට බිමට පතිත වූ සකී අන්වාරි නම් යොවුන් පාපන්දු ක‍්‍රීඩකයාට අත්වූ ඉරණම බොහෝ අයගේ හදවත් කම්පා කරවන්නක් විය.

ඇෆ්ගනිස්තානයේ අලුත්ම ප්‍රහාරය පාකිස්තානයේ වැඩක්ද?…කවුද මේ අයිඑස් අයිඑස් කේ කල්ලිය

සති කිහිපයක් තිස්සේ දිගහැරුණු අවුල් සහගත මුදා ගැනීමේ ක‍්‍රියාන්විතය බොහෝ විවාද සම්පන්න විය. එක්සත් ජනපදයට සහාය දැක්වූ අනෙකුත් බටහිර රටවල් තම හමුදා කලින්ම ඉවත් කර ගත්හ. මේ අතර නියමිත දිනය දක්වා පමණක් කාබුල් ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට විදේශ හමුදාවන්ට තලේබාන් සංවිධානයේ අවසරය ලැබී තිබුණි. සඳුදා මැදියම් රාත‍්‍රියේ එකක් පසු පස එකක් ලෙස අහසට නැඟුණු ගුවන්යානාවල හඬ කාබුල් නගරයේ නිදි වර්ජිතව සිටි ජනතාවට පැහැදිලිව ඇසුණි. නියමිත කාලය නිමා වීමට විනාඩියක් ඉතිරිව තිබියදී එනම් අගෝස්තු 30 වැනිදා රාත‍්‍රී 11.59ට මේජර් ජෙනරාල් ක‍්‍රිස් ඩොනාහු සහ

ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකානු තානාපතිවරයා ඇතුළු පිරිසක් රැගත් අවසාන ඇමෙරිකානු හමුදා ගුවන් යානය අහසට නැඟුණේ ලෝක භූ දේශපාලන කතාන්දරයේ තවත් පරිච්ෙඡ්දයක් ඉතිහාසයට එක් කරමිනි. 2001 දී තම හමුදා විසින් පරාජය කරන ලද සතුරා අතටම ඇෆ්ගනිස්තානය භාරදීම හේතුවෙන් ඇමෙරිකානු දේශපාලනය දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇත. ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ද ඇමෙරිකානු ජනාධිපතිවරයා රිපබ්ලිකන්වරුන්ගේ දැඩි විවේචනයට ලක් විය. එමතු ද නොව ඔහු නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පක්ෂ අභ්‍යන්තරය පවා කැලඹී ගොස් ඇත. නමුත් තම තීරණය වෙනුවෙන් බයිඩන් මහතා සෘජුව හා දැඩිව පෙනී සිටියේය. ඇෆ්ගනිස්තානය හැර යාමට අපේක්ෂා කළ ඇමෙරිකානුවන්ගෙන් අතිමහත් බහුතරය ඉවත් කරගෙන ඇති බවත් පැහැදිලි හා සාක්ෂාත් කර ගත නොහැකි ඉලක්ක සඳහා මින් ඉදිරියට තම හමුදා භාවිතා නොකරන බවත් ඔහු පැවසීය.

”මා මේ සදාකාලික යුද්ධය තවදුරටත් දිගු කරන්නේ නැහැ. එසේම සදාකාලික ඉවත්වීමේ මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තුවකුත් මට නැහැ.” බයිඩන් මහතා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ ඇමෙරිකානුවන් ඉවත්

කරගැනීමේ මෙහෙයුම සුවිශේෂී සාර්ථකත්වයක් අත්පත් කරගත් බව සහතික කරමිනි. කාබුල් ගුවන් තොටුපළින් ඇමෙරිකානු සෙබළුන් ඉවත්ව ගොස් පැය භාගයකට පසු තලේබාන් සෙබළුන් ඊට ඇතුළු විය. ඔවුන් අහසට වෙඩි තබමින් ජයග‍්‍රහණය සමරන අතරතුර තලේබාන් නායකයන්ට ඇති වූ ගැටලූව වන්නේ ඉදිරියේදී ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු සිදුකරන්නේ කෙසේද යන්නයි. ඔවුන් ඒ සඳහා මේ වන විට තුර්කියට හා කටාර් රාජ්‍යයට ආරාධනා කර ඇත. මෙම සටනේ වර්තමාන ජයග‍්‍රාහකයා තලේබාන් සංවිධානය ලෙස වේදිකාවේ පෙනෙන්නට තිබුණත් තිරය පිටුපසට ගිය විට තම තමන්ගේ මූලෝපායික න්‍යායපත‍්‍ර අනුව කටයුතු කරන විවිධ පාර්ශ්ව කිහිපයක් හඳුනාගත හැකිවනු ඇත.

  • සෝවියට් මැදිහත්වීම සහ තලේබාන් පාලනය

1995 ශීත සෘතුවේදී ඇෆ්ගනිස්තානයේ සංචාරය කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකුට පෙනීගියේ වසර ගණනාවක කුරිරු සිවිල් යුද්ධයෙන් පසු එරට තුළ විශාල වෙනසක් සිදුවෙමින් පවතින බවයි. ”ඉස්ලාමීය පාරිශුද්ධවාදීන් සහ ඇෆ්ගන් දේශපේ‍්‍රමීන්” යැයි තමන්ව හඳුන්වාගන්නා ලද නවතම සන්නද්ධ බලවේගයක් විසින් රටේ සියයට හතළිහකට වැඩි ප‍්‍රමාණයක පාලනය අත්පත්කරගෙන ඇති බව ඔහු වාර්තා කළේය. ඉන් වසරකට පමණ පෙර ආයුධ අතට ගත් ඉස්ලාම් ආගමික ශිෂ්‍යයන් වූ ඔවුන් ඒ වන විටත් සිටියේ නොමේරූ තරුණයන් ලෙසය. ඔවුහු තලේබාන් යන නාමයෙන් තමන්ව හඳුන්වා ගත්හ. තලේබාන් යන වචනය පශ්තුන් භාෂාවෙන් ‘ශිෂ්‍යයන්‘ ලෙස අර්ථ දැක්විය හැකිය. ලක්ෂ ගණනක් ජීවිත බිලිගත් සියවස් කාලක යුද්ධයකින් පසු මෙකී ශිෂ්‍යයන් දැන් නැවතත් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගෙන ඇත.

ඇෆ්ගනිස්තානයේ අලුත්ම ප්‍රහාරය පාකිස්තානයේ වැඩක්ද?…කවුද මේ අයිඑස් අයිඑස් කේ කල්ලිය

හැත්තෑව දශකයේදී ඇෆ්ගනිස්තානය තුළ කොමියුනිස්ට්වාදී රජයක් පිහිටුවීමට සෝවියට් සංගමය මැදිහත් විය. 1978 දී එතෙක් පැවති ජනාධිපති මොහමඞ් දාවුත් ඛාන්ගේ රජය පෙරළා දමා මාක්ස්වාදී ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසින් එරට බලය අත්පත් කරගන්නා ලදී. මෙම අරගලයේදී ජනාධිපතිවරයා ඝාතනයට ලක් වූ අතර බලය අල්ලා ගත් මාක්ස්වාදී නායකයන් අතර පවා තිබුණේ දැඩි ප‍්‍රතිවිරෝධතාවකි. ඉන් පසුව බලයට පත්වූ මොහමඞ් තරාකිගේ රජය පෙරළා දැමීමට ඔහුගේ රජයේ දෙවැනියා වූ හසිෆුල්ලා අමීන්ට හැකි වූ අතර බලයෙන් පහ වූ තරාකි මහතාට මරණ දඬුවම හිමිවිය. කෙසේ නමුත් අමීන්ගේ පාලනයත් මාස තුනකින් නිමාවට පත් වූයේ ඔහුත් ඝාතනය වීම නිසයි. ඇෆ්ගනිස්තානයේ මාක්ස්වාදී රජයක් පිහිටවූ නමුත් එයින් සෝවියට් සංගමය සෑහීමකට පත්වූයේ නැත. ඊට හේතුව ඔවුන් පැහැදිලි සෝවියට් හිතවාදී ප‍්‍රතිපත්තියක සිට කටයුතු නොකිරීමයි. 1979 දී සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානයට ඇතුළු වූයේ එවැනි පරස්පරතා රාශියක් මැදය. සෝවියට් මැදිහත්වීම මත බාබ්රාක් කර්මාල්ට රජයේ නායකත්වය හිමිවූ අතර ඔහුගේ අනුප‍්‍රාප්තිකයා වූයේ ජනාධිපති මොහමඞ් නජිබුල්ලායි. නජිබුල්ලාගේ පාලනය පෙරළා දමන තෙක් දැඩි ගැටුම්කාරී වාතාවරණයක් මධ්‍යයේ වුව ද සෝවියට් හිතවත් රජයක් ඇෆ්ගනිස්තානය තුළ පවත්වා ගැනීමට හැකිවිය. 1991 දී සෝවියට් සංගමය විසිරුවා හැරීමත් සමඟ නජිබුල්ලාගේ පාලනය ද නිමාවට පත්විය. එදා සිටම මුජහිදීන් නම් ඉස්ලාමීය ගරිල්ලා සංවිධානයට අයත් පිරිස් සෝවියට් හමුදාව සමඟ සටන් කළහ. ඔවුහු එවකට පැවති සෝවියට් හිතවාදී ඇෆ්ගන් රජයට විරුද්ධවත් කැරළි ගැසූහ. මෙම මුජහිදීන් කැරළිකරුවන් පිටුපස සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදය බව පැවසේ. නිරවි යුද සමයේදී සුපිරි බලවතුන් දෙදෙනාගේ බලය උරගා බැලෙන සටන් භූමියක් ලෙස ඇෆ්ගනිස්තානය භාවිතා වූ බවට සැකයක් නැත. මිහායෙල් ගොර්බචොව් මහතා සෝවියට් නායකත්වයට පත්වීමෙන් පසු හඳුන්වාදුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් ලෝකය පුරා විසිරී පැවති රතු යකඩ තිරය ඇතුළතින් මෙන්ම පිටතිනුත් දෙදරා යමින් තිබුණි. සෝවියට් විදේශ ප‍්‍රතිපත්තිය ද වෙනස් විය. මේ හේතුවෙන් හා තම හමුදාවන්ට සිදු වූ දරාගත නොහැකි විනාශය හේතුවෙන් අවසානයේ සෝවියට් දේශය විසින්ඇ ෆ්ගනිස්තානය අතහැර දමන ලදී. ඒ අනුව 1989 දී එනම් සෝවියට් දේශය කඩා වැටීමට වසර දෙකකටත් පෙර ඇෆ්ගනිස්ථානයෙන් සෝවියට් හමුදා ඉවත්ව ගියහ. එම රික්තය පිරවූයේ මුජහිදීන් නායකයන්ගෙන් සමන්විත රජයක් විසිනි. 1994 පමණ වන විට තලේබාන් සංවිධානය ද කෙමෙන් කෙමෙන් ඉස්මතු වන්නට විය. මෙම කණ්ඩායම මුල් බැසගෙන තිබුනේ දකුණේ කන්දහාර් පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශ තුළය. ඇෆ්ගනිස්තානයේ ප‍්‍රධාන ජනකොටස වූ පශ්තුන් ජාතිකයන්ගේ නිජබිම් වූයේ මෙම ප‍්‍රදේශයි.

කෙසේ නමුත් සෝවියට් සතුරා පරාජය කිරීමේ සතුට බොහෝ කලක් තිබුණේ නැත. විවිධ කල්ලි කණ්ඩායම් බලය සඳහා කා කොටා ගන්නට විය. රට තුළ නැවත දරුණු යුද ගැටුම් හා සිවිල් යුද තත්ත්වයක් ඇතිවිය. මෙම කණ්ඩායම් අතරින් තලේබාන් සංවිධානය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබුණි. ඉස්ලාමීය වටිනාකම්වලට මුල් තැනක් දෙන බවට හා දූෂණයට එරෙහිව සටන් කරන බවට දුන් පොරොන්දු නිසා ඔවුහු ඉතා ඉක්මනින් තරුණ පරපුරේ ආකර්ෂණය දිනා ගත්හ. 1994 දී තලේබාන් සංවිධානය ආරම්භ කරන ලද්දේ මොහමඞ් ඕමාර් නම් මුජහිදීන් සංවිධානයෙන් කැඞී ආ කැරළි නායකයෙකි. මාස ගණනාවක් පුරා පැවති දැඩි සටන්වලින් පසුව තලේබාන් සංවිධානයට රටේ වැඩි කොටසක බලය හිමිව තිබුණි.

1996 දී තලේබාන් සංවිධානය විසින් ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කරමින් දැඩි මූලධර්මවාදී පාලනයකට අඩිතාලම දමන ලදී. තලේබාන් පාලනයේ උත්තරීතර අණ දෙන්නා වූයේ මොහමඞ් ඕමාර්ය. ඔවුන්ගේ පළමු රාජකාරිය වූයේ සෝවියට් හිතවාදී හිටපු ජනාධිපති මොහමඞ් නජිබුල්ලාගෙන් පලි ගැනීමයි. ජනාධිපතිවරයාව පැහැර ගන්නා තලේබාන් කණ්ඩායම ඔහුව ඉතා අමානුෂික ආකාරයෙන් ප‍්‍රසිද්ධියේ මරා දැමීය.

තලේබාන් පාලනයේ වැඩිම අවදානම එල්ල වී තිබුණේ කාන්තාවන්ටය. මුහුණ වසා නොගෙන නිවසින් එළියට බසින කාන්තාවන්ට දැඩි දඬුවම්වලට මුහුණ පාන්නට සිදුවිය. කාන්තාවන් නිවසින් පිටට යන්නේ නම් සම්පූර්ණයෙන් මුහුණු වසාගෙන තම පිරිමි ඥාතියකු සමඟ යා යුතු විය. අවිවාහක ගැහැනු සහ පිරිමි එකට සිටිනු දුටුවහොත් ප‍්‍රසිද්ධියේ කස පහර ලබා දීම හෝ ගල්ගසා මරා දැමීම යන දඬුවම් ක‍්‍රියාත්මක කළහ. කාන්තාවන්ට රැකියා කිරීම තහනම් වූ අතර ගැහැනු ළමයින්ට පාසැල් යෑම ද තහනම් විය. එසේම ප‍්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමීමේ හා අවයව කපා දැමීමේ දඬුවම් හඳුන්වාදුන් තලේබාන් පාලනය තම විරුද්ධවාදීන් සමූහ වශයෙන් ඝාතනය කළේය. තවද ඉස්ලාම් නොවන අනෙකුත් ආගමික සංකේත විනාශ කළේය. මේ අතරින් වඩාත්ම අවධානයට ලක් වූයේ ලෝක උරුමයක් වූ දැවැන්ත බාමියන් බුද්ධ ප‍්‍රතිමාවන්ට කරන ලද විනාශයයි. වසර දහස් ගණනකට එපිට ඉදිකරන ලද එකී පිළිමවලින් දෙවියන්ට අපහාසයක් සිදුවන බව ඔවුහු විශ්වාස කළහ. සමස්ත ලෝකයම විරුද්ධ වෙද්දී මානව ශිෂ්ටාචාරයේ මෙම අද්විතීය නිර්මාණ ඩයිනමයිට් දමා මුළුමනින්ම විනාශ කර දැමුණි. තලේබාන් පාලනයේ සංස්කෘතික ඇමතිවරයා උජාරුවෙන් පැවසුවේ ඒවා ඉදිකරනවාට වඩා විනාශ කිරීම පහසු බවයි.තලේබාන් පාලනය තුළ විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළත් නවීන රජයක රාමුවක් මතුපිටින් පෙනෙන්නට තිබුණත් සත්‍ය තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. ඇෆ්ගන් ජාතිකයින්ගේ එදිනෙදා වැඩකටයුතු සියල්ල දැඩි ආගමික නියෝගවලට යටත් කෙරුණි. ප‍්‍රාදේශීය පාලනය සිදුවූයේ ඒ ඒ ප‍්‍රදේශ භාර තලේබාන් හමුදා නායකයන්ට උවමනා ආකාරයටයි. පුරවැසියන්ගේ ජීවිතය හා මරණය පවා තීරණය කළේ එකී තලේබාන් නායකයන්ය. කෙසේ නමුත් උතුරු ඇෆ්ගනිස්තානයේ පන්ජ්ශීර් නිම්නය ද ඇතුළත් කුඩා කඳුකර පළාතක් තලේබාන් පාලනයට නතු නොවූ බව කිව යුතුය. මෙම පළාත තලේබාන් විරෝධී බලකොටුවක් ලෙස පැවති අතර එය පාලනය කළේ පැරණි මුජහිදීන්වරුන්ගෙන් සැදුම්ලත් උතුරුදිග සන්ධානය නම් විපක්ෂ කණ්ඩායමක් විසිනි. මොවුන්ට පශ්චාත් තලේබාන් රජය තුළ ද වැදගත් භූමිකාවක් හිමිව තිබුණි.

  • ඇමෙරිකානු මැදිහත්වීම
ඇෆ්ගනිස්තානයේ අලුත්ම ප්‍රහාරය පාකිස්තානයේ වැඩක්ද?…කවුද මේ අයිඑස් අයිඑස් කේ කල්ලිය

2001 සැප්තැම්බර් 11 දින ඇමෙරිකාවට එල්ල වූ අල්කයිඩා ප‍්‍රහාරයේ මහමොළකරුවා වූ ඔසාමා බින් ලාඩන් තලේබාන් පාලකයන්ගේ සහයෝගය ඇතිව ඇෆ්ගනිස්තානය තුළ ජීවත් වන බව ක්‍ෂ් සංවිධානය වාර්තාකර තිබුණි. ඔසාමා යනු පැරණි මුජහිදීන් සටන්කරුවෙකි. එවකට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඔසාමාව තමන්ට භාර දෙන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටියේය. ඊට පිළිතුරු වශයෙන් තලේබාන් රජය පැවසුවේ ඔසාමා සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට සම්බන්ධ නම් ඊට සාක්ෂි ඉදිරිපත්කරන ලෙසයි. මෙවැනි විවාදාත්මක වටපිටාවක් තුළ නොබෝ දිනකට පසුව එක්සත් ජනපද හා නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළහ. ඒ සඳහා තලේබාන් විරෝධී පැරණි මුජහිදීන් කණ්ඩායම් ඇමෙරිකාවට සහාය දැක්වීය. දැඩි ගුවන් ප‍්‍රහාර හමුවේ තලේබාන් හමුදාව පසුබා ගිය අතර දින කිහිපයකින්ම ඔවුන්ගේ රජය පෙරළා දැමීමට ඇමෙරිකානු හමුදාවට හැකිවිය. දිවි ගලවා ගත් අල්කයිඩා සහ තලේබාන් නිලධාරින්ගෙන් වැඩි දෙනෙක් පාකිස්තානය වෙත පලා ගියහ. එක්සත් ජනපදයේ මැදිහත්වීම මත ඇෆ්ගනිස්තානය තුළ හමීඞ් කර්සායිගේ නායකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ස්ථාපිත කෙරුණි. එක්සත් ජනපද හමුදා පසුගිය

අගෝස්තු 30 දින දක්වා දශක දෙකක කාලයක් එරට රැඳී සිටිමින් බටහිර හිතවාදී ආණ්ඩුවට සහාය ලබා දුන්හ. ඊට අමතරව රජයේ හමුදාවට ආධාර, යුද බලය හා පුහුණුව ලබා දුන්හ.

  • පාකිස්තානයේ භූමිකාව

ඔසාමා සොයා ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමෙරිකාවට ඔහුව හමුවන්නේ ඉන් වසර දහයකට පසුවය. නමුත් ඔහු ජීවත්වූයේ ඇෆ්ගනිස්තානයේ නොව පාකිස්තානයේය. පාකිස්තානයේ නැගෙනහිරට වන්නට පිහිටි ඇබොට්ටාබාද්

නගරයේ ආරක්ෂිත නිවාසයක රැඳී සිටියදී ඔසාමාව මරා දමන ලද්දේ ඇමෙරිකානු නාවික හමුදාවේ සීල් භටයන් විසිනි. භට කණ්ඩායම පැමිණෙන විට බින් ලාඩන් එකී නිවාසයේ වසර හතරක කාලයක් ඉතා රහසිගතව ජීවත් වී තිබුණි. මෙම ආරක්ෂිත නිවස්නය පිහිටියේ පාකිස්තානු හමුදා ඇකඩමියකට ඉතා ආසන්නයෙන් වීම විශේෂත්වයකි. බොහෝ විශ්ලේෂකයන්ට අනුව ලොව විශාලතම බුද්ධි සේවය වන්නේ ද පාකිස්තානයේ ෂීෂ සංවිධානයයි. එවැනි පරිසරයක් තුළ ඔසාමාට තමන්ගේ පවුල සමඟ එරට ආරක්ෂක අංශවලට නොදැනී ප‍්‍රධාන පෙළේ හමුදා නගරයක ජීවත් වීමට හැකිද යන ප‍්‍රශ්නය තවමත් විසඳී නොමැත. නමුත් එවකට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පාකිස්තානය පිළිබඳව නිවැරදි තක්සේරුවක සිටි බව පෙනීයයි. ඔසාමාගේ සිද්ධියෙන් පසු පාකිස්තානු හමුදාවට ලැබුණු ඇමෙරිකානු ආධාර හා පුහුණුවීම් කෙමෙන් අඩු වී ගියේය. නිරවි යුද සමයේ තමන් සමඟ හිතවත්ව සිටි පාකිස්තානය සම්බන්ධයෙන් ඔබාමා මහතා රාජ්‍යතාන්ත‍්‍රික නිහඬතාවයක් අනුගමනය කළ බව සිතිය හැකිය.

”පාකිස්තානය බින් ලාඩන්ට රැකවරණය දෙන බව වොෂිංටනය ප‍්‍රකාශ කළා නම් එය අනිවාර්යයෙන් ත‍්‍රස්තවාදයට අනුග‍්‍රහය දෙන රාජ්‍යයක් වෙනවා. එහෙම වුණා නම් පාකිස්තානයටත් ඉරානයට වගේ සම්බාධක පැනවෙනවා. නමුත් ඇමෙරිකාව පාකිස්තානය සම්බන්ධයෙන් ඒ වගේ දැඩි තීරණයක් ගත්තේ නැහැ.” යනුවෙන් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා ඔබාමා පාලනයන් තුළ දකුණු ආසියානු කටයුතු පිළිබඳ උපදේශකයා වූ බෲස් රීඩෙල් පසු කාලයක පවසා තිබුණි.

මේ අතර තාලේබාන් ව්‍යාපාරය තැනීමට ද පාකිස්තානය මුල් වූ බවට නැගෙන ප‍්‍රබල චෝදනාවක් පවතී. නමුත් පාකිස්තානය දිගින් දිගටම එකී චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි. මෙම සැකය මතුවීමට තුඩුදුන් බොහෝ හේතු ඇත. තලේබාන් ව්‍යාපාරයට මුලින්ම එක්වූ සාමාජිකයන්ගෙන් බොහෝ දෙනෙකු පාකිස්තානයේ මද්‍රසා ආගමික පාසල්වල අධ්‍යාපනය ලැබූ ඇෆ්ගන් ජාතිකයන් වීම මේ අතරින් කැපී පෙනේ. තවද 1996 දී මුල් තලේබාන් පාලනය පිළිගත් රටවල් තුන අතර පාකිස්තානය ද සිටීම තවත් විශේෂත්වයකි. අනෙක් රටවල් දෙක වූයේ සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එමෙන්ම තාලේබාන්වරු සමඟ පැවති රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා අතහැර දැමීම සඳහා තීරණය කළ අවසාන රට වූයේ ද පාකිස්තානයයි. ඇමෙරිකානු හමුදා පැමිණීමත් සමඟ බොහෝ තාලේබාන් නායකයෝ පාකිස්තානයේ ක්වෙටා නගරයට පලාගොස් එහි සිට තම ව්‍යාපාරය මෙහෙයවන්නට පටන් ගත්හ.

  • තලේබාන් සංවිධානයේ අද තත්ත්වය
ඇෆ්ගනිස්තානයේ අලුත්ම ප්‍රහාරය පාකිස්තානයේ වැඩක්ද?…කවුද මේ අයිඑස් අයිඑස් කේ කල්ලිය

වර්ෂ 2013 දී තලේබාන් නායක මොහමඞ් ඕමාර් පෙනහලූ පිළිකාවකින් මියගියේය. ඒ සමඟ නායකත්වය සඳහා සංවිධානය තුළ ගැටුම් ඇති වූ අතර පසුව මුල්ලාහ් මන්සූර් එහි නායකත්වයට පත්විය. නමුත් 2016 දී එක්සත් ජනපද හමුදා එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් ඔහු ද ඝාතනය විය. මොහමඞ් ඕමාර් සමඟ එක්ව තලේබාන් සංවිධානය ආරම්භ කළ අබ්දූල් ගානි බරාදර් තවම ජීවතුන් අතර සිටින අතර ඔහු මේ වන විට කාබුල් වෙත පැමිණ ඇත. මුල් තලේබාන් රජයේ දෙවැනියා ලෙස ද කටයුතු කළ බරාදර් නව තලේබාන් පාලනයේ දේශපාලන නායකයා වනු ඇති බව වාර්තා වේ. තලේබාන් නිර්මාතෘවරයාගේ පුත‍්‍රයා වන මුල්ලා මොහමඞ් යාකූබ් සන්නද්ධ නායකයා ලෙස කටයුතු කරන අතර මේ සියලූ දෙනාටම වඩා සිරජ්ජුදීන් හකානි නම් සන්නද්ධ නායකයාට සංවිධානය තුළ කැපීපෙනෙන බලයක් ඇති බව වාර්තාවෙයි. කෙසේ නමුත් මේ සියලූ නායකයන්ට ඉහළින් සිටින උත්තරීතර තලේබාන් නායකයා හිකතුල්ලා අකුන්සාඩා නම් ඇෆ්ගන් මවුලවිවරයෙකි. මේ වන විට පූර්ණ කාලීන සටන්කරුවන් 85,000කගෙන් තලේබාන් සංවිධානය සමන්විත බව නේටෝ සංවිධානය ඇස්තමේන්තු කර තිබේ. විරුද්ධවාදීන්ගෙන් පළි නොගන්නා බවට තලේබාන් මාධ්‍ය ප‍්‍රකාශකයා පොරොන්දු වුව ද සංවිධානයේ පහළ සාමාජිකයන් සිය සුපුරුදු ම්ලේච්ඡුත්වය ප‍්‍රදර්ශනය කරන අවස්ථා කිහිපයක් පිළිබඳව වාර්තා විය. ඇමෙරිකානු හා නේටෝ හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කළ පිරිස් දඩයම් කිරීමේ කටයුතු තලේබාන් සංවිධානය විසින් මේ වන විටත් අරඹා ඇති බව ද , හිටපු ආරක්ෂක සාමාජිකයන් සොයා ගෙයින් ගෙට ගොස් සෝදිසි කරන බව ද වාර්තා වේ. ම්ලේච්ඡු ඝාතන කිහිපයක දර්ශන සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

  • ISIS-K කණ්ඩායම

මේ අතර මුදාගැනීමේ මෙහෙයුම් නිමාවීමට දින කිහිපයකට පෙර කාබුල් ගුවන්තොටුපළේ සිදු වූ බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් ඇෆ්ගනිස්තාන අර්බුදය වෙනස්ම මුහුණුවරක් ගෙන ඇත. මේ ප‍්‍රහාරය සිදුකරන ලද්දේ IS හෙවත් Islamic State සංවිධානයට අනුබද්ධ ISIS-K නම් කණ්ඩායමක් වන අතර ප‍්‍රහාරයෙන් අඩුම තරමින් පුද්ගලයන් 175ක්වත් මියගොස් ඇති බව වාර්තාවේ. මියගිය එක්සත් ජනපද හමුදා සාමාජිකයන්ගේ ගණන 13කි.

ISIS-K යනු පැරණි ISIS සංවිධානයේ නවතම දිගුවයි. එහි KPයන්නෙන් හැඳින්වෙන්නේ Khorasan Province හෙවත් කොරාසන් පළාතයි. ඉරානයෙන් වැඩිකොටසකුත් ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය ද ඇතුළත් කලාපයේ තිබූ පැරණි ඉස්ලාම් අධිරාජ්‍යය සිහිවීම සඳහා මෙම කොරාසන් නාමය ඊට ලබා දී ඇත. මෙම සංවිධානය ආරම්භ කර තිබෙන්නේ 2015 වසරේ එවකට පකිස්තානු තලේබාන් සංවිධානයෙන් කැඞී ආ පිරිසක් විසිනි. කෙසේ නමුත් කැපීපෙනෙන ලේ වැගිරීමක් කර ඉස්ලාම් අන්තවාදීන්ගේ සිත් දිනා ගැනීමට පසුගිය සතිය වනතුරු ඔවුන්ට හැකි වූයේ නැත. අද මෙම ත‍්‍රස්තවාදීන් උවමනාවටත් වඩා තම අරමුණ ඉෂ්ට කරගෙන ඇත. මෙම සංවිධානය ආරම්භ කළ මුල් යුගයේදී විරුද්ධවාදීන් මරා දමමින් ඉදිරියට ඒමට උත්සාහ කළත් තලේබාන් සංවිධානයේ ක‍්‍රියාකාරීත්වය හමුවේ ඔවුන්ට පසුබැස යෑමට සිදුවිය. ISIS-K සංවිධානය සමන්විත වෙන්නේ තලේබාන්වරුන්ගෙන් කැඞී ගිය සන්නද්ධ නායකයන්ගෙන්, පාකිස්තානුවන්ගෙන් හා උස්බෙක් ජාතිකයන්ගෙනුයි. එවැනි පිටස්තර අලූත් චණ්ඩියෙකුට තම කලාපයේ සෙල්ලම් දැමීමට තලේබාන්වරු කෙසේවත් ඉඩ නොදෙන බව පැහැදිලියි.

කෙසේ නමුත් කාබුල් ගුවන්තොටුපළේ ISIS-K ත‍්‍රස්තවාදීන් විසින් සිදුකළ මහා මිනිස් සංහාරයෙන් පසු එක්සත් ජනපදය උභතෝකෝටිකයකට මුහුණ දෙන බව නම් පැහැදිලිය. ඇෆ්ගනිස්තානයේ පාලනය බොහෝ කලක සිට පැවතුනේ ‘‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය” යන සංකල්පයෙනි. දැන් තමන් සහාය ලබා දෙන්නේ කාටදැයි ඉතා ඉක්මනින් තීරණය කිරීමට එක්සත් ජනපදයට සිදුව ඇත. තලේබාන් සංවිධානයට මෙන්ම තමන්ට ද එරෙහි ISIS-K සංවිධානය කිසිවිටෙකත් ඇමෙරිකාවේ මිතුරකු වීමට ඉඩක් නොමැත. එසේම තලේබාන්වරුන්ට විරුද්ධ ඇමෙරිකාවට හිතවත් පන්ජ්ශීර් බලකාය ඇමෙරිකාවේ සතුරකු වීමටත් ඉඩක් නොමැත. නමුත් එක්සත් ජනපදයේ සතුරා ISIS-K නම්, ඒ නිසාම තලේබාන්වරුන් තම මිතුරන් කරගැනීමට ඇමෙරිකාවට සදාචාරාත්මකව හැකිද යන්න ගැටලූවකි.

  • තලේබාන් පාලනයේ ගෝලීය බලපෑම

මේ අතර තලේබාන් සංවිධානය ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමේ ඔවුන්ගේ ආශාව පෙන්නුම් කර ඇත. මින් වසර විස්සකට පෙර පැවති ගරිල්ලා උපක‍්‍රම තුළින් කඩාවැටී ඇති රාජ්‍යයක් මෙහෙයවීම කළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුය. නමුත් තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මූලික විශ්වාසයන්ට අනුගත වීමට ඔවුන්ගේ නායකයින් කෙතරම් දුරට සූදානම්ද යන්න තවමත් පැහැදිලි නැත.

ඩොලර් ටි‍්‍රලියන 2.2කටත් වඩා වියදම් කරමින් හා තම සෙබළුන්ගේ ජීවිත පූජා කරමින් සිදුකරන ලද දීර්ඝකාලීන යුද්ධය නිමා කිරීමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට යම් සැහැල්ලූවක් ලැබෙනු ඇත. රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමෙන් නොවුනත් බොහෝ විට ක්‍ෂ් සංවිධානය හරහා එක්සත් ජනපදය තලේබාන් නායකයන් සමඟ රහසිගත එකඟතාවන්ට පැමිණ ඇති බව කරුණු පෙළගැසෙන ආකාරයෙන් මොනවට පැහැදිලි වේ. වඩාත් වැදගත් වන්නේ තම මාතෘභූමියට ප‍්‍රහාර එල්ල කිරීමට ඇෆ්ගනිස්තානය භාවිතා කිරීමට කිසිදු ඉඩක් නැති බවට වූ බයිඩන් මහතාගේ ප‍්‍රකාශයයි. කුමක් හෝ හේතුවක් නිසා එක්සත් ජනපදයේ ආසියානු සගයා වන ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ බලපෙරළිය පිළිබඳව එතරම් කලබල වී නැත. බාහිර වශයෙන් ඇමෙරිකානු ආර්ථිකයට මෙන්ම අභ්‍යන්තර වශයෙන් ඩිමොක‍්‍රටික් ඡුන්ද පදනමට ද මෙම ඉවත්වීම සුභවාදී ආකාරයෙන් බලපානු ඇති බව ඇමෙරිකානු දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වී ඇති දේශපාලනඥයකු වූ බයිඩන් මහතා තක්සේරුකර ඇති බව පෙනෙන්නට තිබේ.

ඇමෙරිකාව ඉවත් වී ගිය ද තලේබාන් සංවිධානය යටතේ පාලනය වන ඇෆ්ගනිස්තානය එහි අසල්වැසියන්ට, කලාපයේ අනෙකුත් රටවල් වලට පමණක් නොව ලෝක දේශපාලනයටත් සිදුකරනු ඇතැයි අපේක්ෂිත බලපෑම සුළුපටු නැත. අතීතයේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක‍්‍රියාකළ කණ්ඩායමකට මේ වනවිට නවීනතම ගුවන්යානා ද සහිත හමුදා බලයක් ලැබී ඇත. චීනයේ මූලෝපායික උපක‍්‍රම සියල්ල තලේබාන් හිතවාදී පාකිස්තානය සමඟ ඒකාබද්ධව සිදුකරනු ඇතැයි අපේක්ෂිතය. ඒ නිසා පාකිස්තානය මේ බලතුලනයේ ප‍්‍රමුඛතම වාසිය ලබාගන්නා පාර්ශ්වය බව නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වෙතත් චීනය හා රුසියාව මධ්‍යම ආසියාවේ බිහිවන මූලධර්මවාදී ඉස්ලාම් රාජ්‍යය පිළිබඳව උපායමාර්ගික ඇසකින් නිරීක්ෂණය කරනු ඇති බව පැහැදිලිය. ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයට තමන්ගේ එළිපත්තේ සුන්නි අන්තවාදී පාලනයක් පැවතීම ඒ තරම් හිතකර වන්නේ නැත. අනිත් අතට ඇෆ්ගනිස්තානයෙන් පලා එන සරණාගතයන් ද දේශසීමා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ද එහි අසල්වැසියන්ට පමණක් නේාව ශ‍්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ අනෙකුත් රටවල්වලට ද ඉතා දැඩි බලපෑමක් ඇති කරනු නියතය.

  • ශානක ලියනගම
advertistmentadvertistment