ඇෆ්ගනිස්ථානයට මොකද වෙන්නේ?

1016

කවුද මේ තලේබාන්වරු

”තලේබාන්” යනු ”පෂ්තෝ” භාෂාවෙන් ”ශිෂ්‍යයන්” යන තේරුම ගෙන දෙන වචනයකි. (පෂ්තෝ භාෂාව ඉන්දු – යුරෝපා භාෂා පවුලට අයත් නැෙගනහිර ඉරාන කලාපීය භාෂාවක් වන අතර එය ඇෆ්ගනිස්ථානයේ නිල භාෂා දෙකෙන් එකකි. අනික ”ඩාරි” භාෂාවයි.) ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක‍්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු සී.අයි.ඒ. අනුග‍්‍රහය යටතේ බිහිවූ ”මුජහිදීන්” ගරිල්ලා සංවිධානයේ අනුසාරයෙන් තලේබාන්වරු බිහිවූ බව වැඩි දෙනා පිළිගන්නා මතයයි. පාකිස්ථානයේ සාම්ප‍්‍රදායික ඉස්ලාමීය පාසල්වලින් අධ්‍යාපනය ලද නැගෙනහිර සහ දකුණු ඇෆ්ගනිස්ථානයේ ”පස්තූන් ගෝත‍්‍රික” කණ්ඩායම්වලට අයත් පිරිස්වලින් ගොඩනැගුන මෙම සංවිධානය ”ෂරියා නීතිය” ඇතුළු අන්තවාදී ආගමික මතයන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයකි. ක‍්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අතර වන ඓතිහාසික ගැටුමෙහි ඉස්ලාමයේ වර්තමාන ප‍්‍රකාශනය ලෙසද සැලකිය හැකි තලේබාන් සංවිධානය බටහිර ක‍්‍රිස්තියානි රටවල අංක එකේ සතුරෙකු ලෙසද සැලකේ.

තලේබාන් සංවිධානයේ මූලාරම්භය 1994 දී පමණ සිදුව ඇති අතර එය පස්තුන් ගෝත‍්‍රික බලකොටුවක් වන ”කන්දහාර්”හිදී සාමාජිකයන් 50 දෙනකුගෙන් ආරම්භවී තිබේ. මුජහිදීන් ගරිල්ලා අණදෙන නිලධාරියෙක් ලෙස දිගු කලක් කටයුතු කළ ”මුල්ලා මොහොමඞ් ඕමාර්” මෙහි පුරෝගාමීයා සහ ආරම්භක නායකයා විය. පාකිස්ථානයේ පිටුබලය ලබමින් වේගයෙන් වර්ධනය වූ තලේබාන් සංවිධානය 1996 දී ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගත් අතර 2001 දී ඇමෙරිකාව ප‍්‍රමුඛ නැටෝ හමුදා විසින් බලයෙන් පහ කරන තෙක් ඇෆ්ගනිස්ථානය පාලනය කළේය. මේ කාල සීමාවේ සෝවියට් – ඇෆ්ගන් සටන සඳහා ඇෆ්ගනිස්ථානය වෙත ගොස් සිටි ”ඔසාමා බිල් ලාඩන්” ඇෆ්ගනිස්ථානය තුළ පුහුණු කඳවුරු පවත්වාගෙන යමින් ජිහාඞ් සටන්කාමීන් පුහුණු කිරීමේ කටයුතු කරගෙන ගිය අතර තලේබාන් පාලනය ඒ සඳහා ඔහුට අවකාශ සහ අනුග‍්‍රහය දැක්වූ බව ප‍්‍රසිද්ධ රහසක් විය. 2013 වසරේදී තලේබාන් නායක මුල්ලා මොහොමඞ් ඕමාර් ක්‍ෂය රෝගයෙන් මියගිය නමුත් තලේබාන්වරු 2015 දක්වා වසර දෙකක් යනතෙක් එය හෙළිදරව් කළේ නැත. අනතුරුව ”අක්තාර් මන්සූර්” තලේබාන් නායකත්වයට පත්වූ අතර 2016 වසරේ ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන ප‍්‍රහාරයකින් ඔහු මියගිය පසු ”හිබතුල්ලා අකුන්සාඩා” තලේබාන් නායකත්වයට පත්විය. ඔහු 2016 සිට මේ දක්වා එම සංවිධානයේ උත්තරීතර නායකයා සහ අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව තලේබාන් සංවිධානයට පුහුණුවලත් සොල්දාදුවන් 60000 පිරිසක් ඇතුළුව ලක්‍ෂ දෙකක පමණ පිරිස් බලයක් තිබෙන බව සැලකේ.

9/11 ප‍්‍රහාරය සහ ඇමෙරිකාවේ
”ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය”

ඇෆ්ගනිස්ථානයට මොකද වෙන්නේ?

2001 සැප්තැම්බර් 11 වැනි දින අළුයම ”අල් ක්වයිඩා” සංවිධානයට අයත් ත‍්‍රස්තවාදීන් 19 දෙනකු ඇමෙරිකානු එක්සත් ජනපදයේ වාණිජ ගුවන් සේවාවන්ට අයත් ”බොයිං” 757 සහ 767 වර්ගයන්ට අයත් ගුවන් යානා හතරක් ගුවනේදී පැහැරගත් අතර ඉන් දෙකක් ”නිව්යෝර්ක් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ” නිවුන් කුළුණු දෙකේ ගැටීමට සලස්වන ලදී. තෙවැනි ගුවන් යානය ”පෙන්ටගනයේ” බටහිර කොටසට කඩා වැටීමට සලස්වනු ලද අතර සිව්වැනි ගුවන් යානය වොෂින්ටන් ඞී.සී. දෙසට පියාසර කරන අතර ”පෙන්සිල්වේනියාවේ” කෙතකට කඩා වැටී තිබුණි. එය ධවල මන්දිරය ඉලක්ක කරමින් ගමන් කරන්නට ඇති බව විශ්වාස කෙරේ. ප‍්‍රහාරයෙන් බිලියන ගණනක දේපල හානියක් වූ අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 3000 කට අධික විය. ඒ සියල්ලටමත් වඩා ඇමෙරිකාවේ හදවතටම එල්ල වූ ප‍්‍රහාරයෙන් ඇමෙරිකාව පමණක් නොව මුළු මහත් බටහිර ලෝකයේම අභිමානය සුණුවිසුණු වී ගියේ පහසුවෙන් යථාවත් කළ නොහැකි ලෙසිණි. ප‍්‍රහාරයෙන් වසර තුනකට වැඩි කාලයක් ඉක්ම ගිය 2004 ඔක්තෝම්බර් 29 වන දින අල් ක්වයිඩා නායක ඔසාමා බිල් ලාඩන් නොදන්නා ස්ථානයක සිට වීඩියෝ පටයක් නිකුත් කරමින් 9/11 ප‍්‍රහාරයේ වගකීම භාර ගන්නා ලද අතර ඇමෙරිකාවට සහ බටහිර ලෝකයට එරෙහි ”ශුද්ධවූ යුද්ධය” අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව කියා සිටියේය.

ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කිරීම

මෙම කාල සීමාවේදී ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය සතුව පැවතුන අතර ”ඔසාමා බිල් ලාඩන්” ප‍්‍රමුඛ අල් ක්වයිඩා සංවිධානය තලේබාන් පාලනයේ අනුග‍්‍රහය ලබමින් ලොව පුරා ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නියැළෙමින් සිටියේය. ඇමෙරිකාව විසින් පළමුව අල් ක්වයිඩා නායකයන් ඇමෙරිකාවට භාරදෙන මෙන් සහ ත‍්‍රස්තවාදී කඳවුරු වසා දමන මෙන් ඉල්ලා සිටි අතර තලේබාන් රජය ඊට එක`ග නොවීම හේතුවෙන් ආක‍්‍රමණික පියවරට එලැඹිණි. ඔක්තෝම්බර් 07 වැනිදා ඇමෙරිකානු ජනාධිපති

”ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්” ඇෆ්ගනිස්ථානයට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම නිවේදනය කළ අතර ”කන්දහාර්”,

”කාබූල්”, ”ජලාලාබාද්”, ”මසාර් ඊ ෂරීෆ්” සහ ”කොන්ඩූස්” යන ප‍්‍රදේශයන්හි පිහිටි අල් ක්වයිඩා සහ තලේබාන් කඳවුරු ඉලක්ක කරමින් ගුවන් ප‍්‍රහාර එල්ල කෙරිණි. පසුව එක්සත් රාජධානිය, නෙටෝ සංවිධානය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව, ජර්මනිය සහ ප‍්‍රංශය යන රටවල්ද හමුදා භට පිරිස් සහ සැපයුම් සපයමින් මෙහෙයුමට සහාය පලකරන ලදී.

පළමු ප‍්‍රහාරයෙන් දින 12 කට පසු භූමි ආක‍්‍රමණය සිදුවූ නමුත් මුහුණට මුහුණ සිදුවූ ගොඩබිම සටන් වැඩි ප‍්‍රමාණයක් සිදුවූයේ ”උතුරු සන්ධානයේ” තුවක්කුකරුවන් සහ තලේබාන් සටන්කරුවන් අතරය. නොවැම්බර් 12 වැනි දින වන තලේබාන් හමුදා සහ අල් ක්වයිඩා සටන්කාමීන් කාබූල් අගනුවරින් පසුබැස ගිය අතර දෙසැම්බර් මුල වන විට අවසන් බලකොටුව වූ ”කන්දහාර්” බිඳවැටීමට ලක් විය. මාස දෙකක් ඉක්ම යන විට ඇෆ්ගනිස්ථානයේ පාලනයෙන් තලේබාන් සංවිධානය පලවා හැරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදා සමත්වූ නමුත් ඔසාමා බිල් ලාඩන් අල්ලා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැත.

බිල් ලාඩන් පැනයෑම සහ ඝාතනය

ඇමෙරිකාව ප‍්‍රමුඛ සන්ධානයේ හමුදා තම අංක එකේ සතුරා අල්ලා ගැනීම පිණිස ඇෆ්ගනිස්ථානය පීරමින් සිටි නමුත් 2001 දෙසැම්බර් වන තෙක්ම බිල් ලාඩන් පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට හැකි වූයේ නැත. බිල් ලාඩන් ”ටෝරා බෝරා කඳුකරය”ට පලායන බවට ලැබුන තොරතුරු මත උතුරු සන්ධාන භටයන් ඔහු ලූහුබැඳ යන අතර දෙසැම්බර් 3 සිට 17 දක්වා කාලය තුළ අල් ක්වයිඩා සටන්කාමීන් සහ උතුරු සන්ධාන භටයන් අතර දරුණු සටන් ඇතිවේ. පසුව දැන ගැනීමට ලැබෙන්නේ බිල් ලාඩන් සියල්ලන් නොමග යවමින් දෙසැම්බර් 16 වැනි දින වන විට පාකිස්ථානයට පැන යෑමට සමත්ව ඇති බවයි. කෙසේ වෙතත් 2011 මැයි 02 වන දින ඇමෙරිකානු නාවික ”සීල්” භටයන් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පාකිස්ථානයේ ”ඇබොටබාද්” හි රහසිගතව රැදී සිටි බිල් ලාඩන් ඝාතනය කරන ලදී. එක්සත් ජනපද ජනාධිපති ”බැරැක් ඔබාමා” ජාතිය අමතමින් මේ බව නිවේදනය කළේය.

ඇෆ්ගනිස්ථානයෙන්
හමුදා ඉවත් කර ගැනීම

ඇෆ්ගනිස්ථානයට මොකද වෙන්නේ?

එක්සත් ජනපද හිටපු ජනාධිපති ”ඩොනල්ඞ් ට‍්‍රම්ප්” 2016 සිය මැතිවරණ ව්‍යාපාරයේදීම ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කරන බවට පොරොන්දුවක් ලබාදී තිබුණි. ඒ අනුව තලේබාන් සංවිධානය සමග සාම සාකච්ඡා වටයක් 2020 පෙබරවාරි 29 වන දින දෝහා කටාර්හිදී පැවැත්වෙන අතර එහිදී එක්සත් ජනපද තානාපති ”සල්මේ කලීල්සාඞ්” සහ තලේබාන් නියෝජිත ”මුල්ලා අබ්දුල් ගානි බරාදර්” අතර ගිවිසුමක් අත්සන් තැබේ. ඊට අනුව ඇෆ්ගනිස්ථානයේ රැ`දී සිටින එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම පසුගිය වසරේ ආරම්භ කර තිබුණ අතර 2021 මැයි 01 වැනි දින වන විට හමුදා ඉවත්කර ගැනීම අවසන් කිරීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් 2021 ජනවාරියේදී දිවුරුම් දුන් නව ජනාධිපති ජෝ බයිඩන් ට‍්‍රම්ප් පරිපාලනය විසින් අත්සන් කළ ගිවිසුම ප‍්‍රකාර මැයි 31 වන විට හමුදා ඉවත්කර ගැනීම අවසන් නොකරන බවත් ඒ වෙනුවට 2021 සැප්තැම්බර් 11 දින වන විට සිය හමුදා ඇෆ්ගනිස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන බවත් කියමින් නව සැලැස්මක් ප‍්‍රකාශයට පත්කරනු ලබයි. ඒ අනුව සැප්තැම්බර් ප‍්‍රහාරයට හරියටම වසර 20 ක් සපිරෙන දින ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කර ගැනීම සම්පූර්ණ වීමට නියමිත විය.

තලේබානුවන් වේගයෙන් ඉදිරියට

ඇමෙරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාවන්ගේ මෙහෙයුම් හමුවේ පාකිස්ථාන දේශ සීමාව ආසන්න කඳුකර පෙදෙස්වලට සීමාවී සිටි තලේබාන් සංවිධානය විදෙස් හමුදාවන්ගේ ඉවත්වීමට සමගාමීව ඇෆ්ගනිස්ථානයේ නගර සහ පාලන ප‍්‍රදේශ අල්ලා ගැනීමට ප‍්‍රචණ්ඩකාරී මෙහෙයුම් දියත්කර තිබුණි. විදෙස් හමුදා සහාය නොමැතිව සටනට මුහුණදෙන ඇෆ්ගනිස්ථාන රජයේ හමුදාවන්ට තලේබාන් ප‍්‍රහාරයන්ට මුහුණදීමට අසීරු බව පෙන්නුම් කරමින් තිබුණ අතර ඇතැම් ප‍්‍රදේශ සටනකින් තොරවම අත්හැර දැමීමට ඔවුන් කටයුතු කරන ලදී. තමන් අල්ලා ගන්නා ලද ප‍්‍රදේශයන්හි රජයේ සිරගෙවල් බිඳ තලේබානුවන් ඇතුළු සිරකරුවන් නිදහස් කිරීමට ඔවුන් කටයුතු කළ අතර මේ හේතුවෙන් කාබූල් කරා ඉදිරියට ඇදෙන තම භට පිරිස් ප‍්‍රමාණය වර්ධනය කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබුණි. ඒ අනුව තම පාලන ප‍්‍රදේශ ව්‍යාප්ත කර ගනිමින් වේගයෙන් ඉදිරියට ඇදුන තලේබාන් හමුදා ඇමෙරිකන් හමුදා ඉවත්කර ගැනීම සම්පූර්ණ වීමට නියමිත වූ සැප්ගැම්බර් 11 වන දිනට හරියටම දින 28 කට කලින් කාබූල් වෙත ළ`ගාවීමට සමත් වූයේ කිසිවකු අපේක්‍ෂා නොකළ පරිදිය.

කාබූල් වටලෑම සහ ඇෆ්ගනිස්ථාන රජය බිඳවැටීම

ඇෆ්ගනිස්ථානයට මොකද වෙන්නේ?

අගෝස්තු 14 වැනි දින වන විට තලේබානුවන් කාබූල් අගනුවර සම්පූර්ණයෙන්ම වටලා තිබුණි. රජයේ හමුදාවන්ට කාබූල්හී බලය රඳවා ගැනීම පිළිබඳ සුළු හෝ අවස්ථාවක් ඇති බවක් පෙනෙන්නට තිබුනේ නැත. විනාශකාරී ප‍්‍රහාරයක් බලාපොරොත්තුව වුවද තලේබාන් මාධ්‍ය ප‍්‍රකාශක ”සුහයිල් ෂහීන්” අනපේක්‍ෂිත ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කාබූල් වෙත ප‍්‍රහාර එල්ල කිරීමට තම සංවිධානය බලාපොරොත්තු නොවන අතර සාමකාමී බල හුවමාරුවක් අපේක්‍ෂා කරන බවයි. කෙසේ වෙතත් දැවැන්ත ”බග‍්‍රාම්” ගුවන් හමුදා කඳවුර සහ පර්වාන් රඳවා ගැනීමේ මධ්‍යස්ථානය තලේබාන්වරු විසින් යටත්කර ගන්නා ලද අතර එහි රඳවා සිටි සිරකරුවන් 5000 පමණ නිදහස් කිරීමට කටයුතු කරන ලදී. මේ අතර රජය සහ තලේබාන් නායකයන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවැති අතර තලේබාන් නියෝජනයෙන් යුතු අන්තර්වාර රජයක් පිහිටුවීමේ උත්සාහයක් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ක‍්‍රියාත්මක කෙරිණි. කෙසේ වෙතත් තලේබාන් සංවිධානය පූර්ණ බල හුවමාරුවක් බලාපොරොත්තු වූ බැවින් මෙම උත්සාහය බිඳ වැටිණි.

අගෝස්තු 15 වැනි දින ජනාධිපති ”අෂ්රෆ් ඝානි” සහ උප ජනාධිපති ”අම්රුල්ලා සාලේ” ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය වූ ”ආර්ග්” හී සිට හමුදා හෙලිකොප්ටර් මගින් අසල්වැසි තජිකිස්ථානය වෙත පලාගොස් ඇති බව මාධ්‍ය වාර්ථා කරන ලදී. රාත‍්‍රී 8.55 ට පමණ තලේබාන් තුවක්කුකරුවන් සමග ජනාධිපති මන්දිරයට ඇතුළු වූ තලේබාන් නායකයන් ජනාධිපති ඝානිගේ නිල කාර්යාලයේ මේසය මත සිය ස්වංක‍්‍රීය අවි තබාගෙන වාඩිවී සිටිමින් තලේබාන් පාලනය නිල වශයෙන් පිහිටුවූ බව නිවේදනය කළහ. ඒ හා සමගම ඇෆ්ගනිස්ථානයේ නිල නාමය ”ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට්ස්” වශයෙන් වෙනස් කර ඇති බවද නිවේදනය කෙරිණි. ඒ හා සමගම ආර්ග හි ලෙළදුන් ඇෆ්ගන් ධජය වෙනුවට තලේබාන් ධජය එහි ලෙළ දෙනු දකින්නට හැකිවිය.

රාත‍්‍රී 11.00ට පමණ පලාගිය ජනාධිපති ඝානි ෆේස්බුක්හී සටහනක් තබමින් ”ලේ වැගිරීමක් වළක්වා ගැනීමේ අපේක්‍ෂාවෙන් තමන් පලා ගිය බවත් කඩු සහ තුවක්කු බලයෙන් තලේබාන්වරු ජයග‍්‍රහණය කර ඇති බවත්” නිවේදනය කර තිබුණි.

ඇමෙරිකානුවන්ගේ පලායෑම

ඇෆ්ගනිස්ථානයට මොකද වෙන්නේ?

තලේබානු ආක‍්‍රමණයේ ”අදහාගත නොහැකි වේගය” හේතුවෙන් වඩාත්ම අර්බුදයට පත්වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය බව පෙනෙන්නට තිබේ. එක්සත් ජනපද හමුදා සහ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ඉවත්කර ගැනීමේ මෙහෙයුම සැලසුම්කර තිබුණේ සැප්තැම්බර් 11 වන දින අවසන් කෙරෙන පරිදිය. ඒ අනුව කාබුල්හී ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සහ සැලකිය යුතු ඇමෙරිකානු භට පිරිසක්ද තලේබානුවන් කාබූල් වෙත කඩා වදින විට එහි රැ`දී සිටියහ. ඒ අනුව මෙම පිරිස ආරක්‍ෂා සහිතව ඉවත්කර ගැනීමේ සැලසුම් සහගත ක‍්‍රියාන්විතය අසීරු සහ හදිසි පලායෑමක් බවට පරිවර්ථනය වූයේ මීට 46 වසරකට පෙර 1975 අපේ‍්‍රල් 30 වන දින වියට්නාමයේ සයිගොන්හිදී සිදුවූ නින්දා සහගත පලායෑමේ නාටකය නැවත සිහිගන්වමිනි.

ඒ අනුව මෙම පිරිස් ආරක්‍ෂා සහිතව ඉවත්කර ගැනීමේ හදිසි ක‍්‍රියාන්විතය ඇමෙරිකානු හමුදා විසින් අරඹන ලද අතර ඒ සඳහා කාබුල්හී ”හමීඞ් කර්සායී ජාත්‍යන්තර ගුවන් තොටුපළ” තම පාලනයට ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී. තලේබානුවන් විසින් ප‍්‍රචාරක කටයුතුවලදී ඇමෙරිකානු ධජ, නිල මුද්‍රා සහ ලියැකියවිලි වැරදි සහගත ලෙස භාවිතා කරනු ඇතැයි යන සැකය හේතුවෙන් ඒවා

ගිනිතබා විනාශ කරලීමට කටයුතු කරන ලද අතර රාත‍්‍රී 8.30 වන විට තානාපති කාර්යාලය ගිනි ගනිමින් තිබුන බව වාර්ථා විය. රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ”චීනුක්” ”බ්ලැක්හෝක්” සහ ”සී නයිට්” හෙලිකොප්ටර් මගින් ගුවන් තොටුපළ වෙත රැගෙන යන ලදී. එතැන් සිට එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගින් මෙම පිරිස කාබුල් නුවරින් පිටතට රැගෙන යන ලදී. මේ අතර ඇල්බේනියානු අග‍්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරන පිරිස් සඳහා සංක‍්‍රාන්ති මධ්‍යස්ථානයක් ලෙස ඇල්බේනියාව භාවිතා කිරීමට එක්සත් ජනපදය විසින් කරන ලද ඉල්ලීම තමන් පිළිගත් බවයි.

ඉවත්කර ගැනීමේ මෙහෙයම් සඳහා පැරෂුට් භට කණ්ඩායමක් සමග ඒ 400 ඇට්ලස් ගුවන් යානයක් කාබුල් වෙත යැවීමට ජර්මනිය විසින් පියවර ගත් අතර ඉතාලිය ඉන්දියාව ඇතුළු රටවල් රාශියක් තම තානාපති කාර්යමණ්ඩලය සහ තවත් පිරිස් ගලවා ගැනීම සඳහා විවිධ හදිසි සැලසුම් ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කළේය. ප‍්‍රංශය තම රාජ්‍යතාන්ත‍්‍රිකයන් ආරක්‍ෂිතව ඉවත්කරගත් බව නිවේදනය කර තිබේ.

මේ අතර තලේබාන් පාලනයෙන් පීඩාවට පත්වනු ඇතැයි භීතියට පත් ඇෆ්ගනිස්ථානුවන් විශාල වශයෙන් රටින් පලා යෑමට පටන් ගත් අතර කාබූල් නුවර ගුවන් තොටුපළට රැස්වූ මෙම පිරිස් හේතුවෙන් ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ විශාල තදබදයක් නිර්මාණය විය. කෙසේ හෝ ඇෆ්ගනිස්ථානයෙන් පැන ගැනීමේ අදහසින් ගුවන් යානාවලට ඇතුල්වීම සඳහා මෙම පිරිස් විවිධ ආකාරයෙන් උත්සාහ දැරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට ඇමෙරිකානු භටයන්ට සිදුව තිබුන අතර ජනයා අතර තෙරපීමෙන් අවම වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බව වාර්තා විය. විශාල පිරිසක් ගුවන් ගතවන සී 17 ගුවන් යානාවක් සමග දිවයන ආකාරය වීඩියෝ පටවල දකින්නට ලැබුන අතර ඇතැම් පිරිස් ගුවන් යානයේ තටුවල සහ පහළ කොටස්වල එල්ලී සිටිනු දකින්නට ලැබුණි. මෙම ගුවන් යානය ගුවනට නැ`ගීමේදී එහි එල්ලී සිටි පුද්ගලයන් දෙදෙනෙක් බිමට ඇද වැටෙන ආකාරයද වීඩියෝ පටවල දකින්නට ලැබුණි. එක්සත් ජනපද ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අනුව මෙම සිදුවීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනකු වත් මියගොස් ඇති බව කියවේ.

කාබුල් බිඳ වැටීම පිළිබඳ වගකීම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් භාරගත යුතුයැයි විවේචන එල්ලවන මෙහොතක පසුගිය සඳුදා ධවල මන්දිරයේ සිට මාධ්‍ය ඇමතූ බයිඩන් ජනාධිපතිවරයා ඇෆ්ගනිස්ථානයෙන් හමුදා ඉවත්කර ගැනීමේ තීරණය සමග තමන් තවදුරටත් නොසැලී සිටින බව ප‍්‍රකාශ කර ඇති අතර තම රජය ආරක්‍ෂා කර ගැනීමට නොහැකිවීමේ වගකීම ඇෆ්ගනිස්ථානයේ පැවැති රජය භාරගතයුතු බවත් ප‍්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ඔහු එහිදී පිළිගෙන ඇත්තේ තලේබානුවන්ගේ ඉදිරියට ඒම මෙතරම් වේගයෙන් සිදුවනු ඇතැයි තමන් අපේක්‍ෂා නොකළ බවයි. කාබුල්හී පිහිටි බොහොමයක් තානාපති කාර්යාල වසා දමා රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ඉවත්කරගෙන ඇති නමුදු පාකිස්ථානය, රුසියාව සහ චීන තානාපති කාර්යාල විවෘතව පවතින බව නිවේදනය කර ඇති අතර සිය තානාපති කාර්යාලය ”සම්පූර්ණයෙන්ම විවෘතව හා ක‍්‍රියාත්මකව” පවතින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මේ අතර ”ඇෆ්ගනිස්ථානයේ ජනතාව අත්නොහරින ලෙස තමා ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බව” එක්සත් ජාතීන්ගේ මහලේකම් ”අන්තෝනියේ ගුටෙරස්” ප‍්‍රකාශ කර ඇත. රටවල් රැසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් පාලනයෙන් ඉල්ලා ඇත්තේ කාබූල් හැරයෑමට කැමති තැනැත්තන්ට ඒ සඳහා අවකාශ ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් මේ වන විට කාබුල් ඇතුළු නගරවල සාමාන්‍ය තත්ත්වයක් පවතින බව වාර්තාවන අතර ආයුධ සන්නද්ධ තලේබාන් භටයන් වීදිවල රැකවල් ලා සිටින අයුරු දකින්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය හෙළිකරයි.

නන්දජීව සූරියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment