ඇෆ්ගනිස්ථානයේ බිඳවැටීම තලේබාන් පාලනය සහ ශ‍්‍රී ලංකාව

347

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි අවසන් ඇමරිකානු යුද සෙබළා ලෙසට ඇමරිකානු හමුදාවේ අසූ එක් වන ගුවන් මෙහෙයුම් බලකායේ ප‍්‍රධානියා වූ මේජර් ජනරාල් ක‍්‍රිස් ඩොනහාවූ ඇෆ්ගන් භූමියෙන් පිටව ගියේ දෝහා ගිවිසුමට අනුව ඇෆ්ගනිස්ථානයෙන් පිටවීමට ඇමරිකානු හමුදාවට ලබාදී තිබූ 2021 අගෝස්තු 31 වන දින මධ්‍යම රාත‍්‍රියේ දොළහේ පැය ළඟාවීමටත් පැය විසිහතරකට ප‍්‍රථම වීම සුවිශේෂය. එසේ අවසන් ඇමරිකානු සෙබලා (Last American Soldier) 2021 අගෝස්තු තිස්වන දින මධ්‍යම රාත‍්‍රියේ කාබුල් නුවර ”හමීඞ් කර්සායි” ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවනට නැඟුණු ඇමරිකානු ක්‍- 17 වර්ගයේ ගුවන් යානයෙන් ඇෆ්ගන් භූමියෙන් පිටත්ව ගියේ මේ වන විට වර්ග කිලෝමීටර් 440 කට පමණක් සීමා වූ ”පන්ෂීර්” නිම්නය හැර සමස්ත ඇෆ්ගන් දේශයේම ආධිපත්‍ය තලේබාන් පාලනය ට පවරා දෙමිනි. මෙම පිටවීමත් සමගම පුරා විසි වසරක් මුළුල්ලේ ඇමරිකානු ජනතාවගේ බදු මුදල් වන ඩොලර් ටි‍්‍රලියන තුනක් විනාශ කරමින් ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය තුළ ස්ථාපිත කිරීමට උත්සාහ කළ ඇමරිකානු හිතවාදී පාලනය නමැති මිනී පෙට්ටියේ අවසාන ඇණයද ශක්තිමත් ලෙස සවි වූ අතර දැන් ඉතිරිව ඇත්තේ එම මෘත දේහයට ගෞරවාන්විත භූමදානයක් ලබාදීම පමණි.

ඇෆ්ගනිස්ථානයේ බිඳවැටීම තලේබාන් පාලනය සහ ශ‍්‍රී ලංකාව


ඇමරිකාව ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය සිදු කරනු ලැබුවේ 2001 වර්ෂයේ නිව්යෝර්ක් නුවරට එල්ලවුණු 9/ 11 ප‍්‍රහාරයේ මහ මොළකරු වූ ඔසාමා බින් ලාඩන් ඇතුළු අල්කයිඩා ත‍්‍රස්ත ජාලය විනාශ කිරීමටත් ඒවන විට අල්කයිඩා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන්ට ක්ෂේම භූමියක් ලෙස ඇෆ්ගනිස්ථානයේ ස්ථාපිත ව පැවැති තලේබාන් පාලනය පෙරළා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් ඇෆ්ගනිස්ථානය තුළ බිහි කිරීමත් අරමුණු කොට ගෙනය

 1980 දශකයේ එවකට සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව (USSR) ලෙස පැවැති සෝවියට් දේශය ද තම එළිපත්තේ පිහිටි ඇෆ්ගනිස්ථානය තුළ තමාට හිතවත් රජයක් බිහිකිරීම සඳහා ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළ අතර ඒ අවස්ථාවේ සෝවියට් හමුදාවට පහරදී පලවා හැරීම සඳහා ඇෆ්ගනිස්ථානය තුළ බිහිව තිබූ Mujahedin ගරිල්ලා සංවිධානයට අවශ්‍ය සියලූ පහසුකම් පකිස්ථානය ඔස්සේ සපයා සෝවියට් ගැති ”නජිබුල්ලා” පාලනය පෙරළා දමා පළමුව මුජහදීන් පාලනයත් දෙවනුව එම පාලනය දැඩි මතධාරී තලේබාන්වරුන් අතට පත්වීම සිදුවූයේත් ඇමෙරිකානු සහාය හේතුවෙනි.

 මෙම විෂම චක‍්‍රය මෙවර විරුද්ධ පැත්තට කැරකී ඇතැයි මැදහත් දේශපාලන විචාරකයන්ගේ මතයයි. මෙවර ඇමරිකානු ගැති අෂ්රෆ් ගානි රජය බිඳ දැමීමට තලේබාන් සංවිධානයට අවශ්‍ය සහාය පකිස්තානය ඔස්සේ චීනය විසින් ලබාදුන් බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් අතර මතයක් පළ වෙමින් පවතී. මෙවර තම රටෙහි එක් දේශ සීමාවක්වූ ”වකාන් පටුබිම් තීරුවට” (Wakhan Corridor) සීමාවන ඇෆ්ගනිස්ථානය තුළ චීන හිතවාදී රජයක් බිහිකර තම එක තීරුවක් එක මාවතක් (One belt-One road)  සංකල්පය වඩාත් ශක්තිමත් කිරීමට වර්තමාන චීන පාලකයන් හිතුවා වන්නට පුළුවන.

ඇෆ්ගනිස්ථානයේ බිඳවැටීම තලේබාන් පාලනය සහ ශ‍්‍රී ලංකාව


කෙසේ වෙතත් වසර විස්සක් පුරාවට ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන තුනකට අධික මුදලක් වැය කර ඇෆ්ගන් දේශය තුළ ස්ථාපිත කිරීමට ඇමරිකානුවන් උත්සාහ කළ පාලනය මේ වන විට බිඳ වැටී ඇති අතර 1975 වියට්නාමයේ සිදු වූ සයිගොන් බිඳවැටීම හා සංසන්දනය කිරීමේදී කාබුල් බිඳවැටීම සහ සයිගොන් බිඳවැටීම අතර පවතින එකම වෙනස වන්නේ ඇමරිකානුවන් ඇෆ්ගනිස්ථානය හැරයෑම කටාර් රාජ්‍යයේ දෝහා නුවරදි දෙපාර්ශ්වය විසින් අත්සන් කරන ලද ගිවිසුමකට අනුව යම් තාක් දුරට නීතිමය ආවරණයක් සහිතව ගෞරවාන්විත ලෙස සිදුවීම්ය. එහෙත් දෝහා ගිවිසුමට ඇතුළත් කරුණු රාශියක් 2021 අගෝස්තු 15 වන දිනෙන් ආරම්භ වූ තලේබාන් පාලනය තුළ මේ වන විටත් අමු අමුවේම උල්ලංඝනය කරන තත්ත්වයක් නිරීක්ෂණය වන අතර විශේෂයෙන් ඇෆ්ගන් භූමිය තුළ අල්කයිඩා සහ අයි.එස්.අයි.එස් ඇතුළු ජාත්‍යන්තර ත‍්‍රස්තවාදීන්ට පෝෂණය වීමට ඇති ඉඩකඩ ඇහිරීම වැනි ප‍්‍රධාන කරුණු සම්බන්ධව තලේබාන් පාලනය ක‍්‍රියා කරන ආකාරය ඉදිරියේදී අපි විමසිලිමත්ව බලා සිටිය යුතු කරුණුවේ.

 ඇෆ්ගනිස්ථානය තුළ බිහිවී ඇති තලේබාන් පාලනයේ ප‍්‍රධාන කොටස්කරුවන් කිහිප දෙනෙකි ඇෆ්ගන් තලේබාන්වරු, පාකිස්ථානු ටී ටී පී (Teherek e Taliban Pakistan) සංවිධානයට සම්බන්ධ තලේබාන්වරු මෙන්ම පකිස්තානය තුළ ක‍්‍රියාත්මක තවත් දරුණු ගරිල්ලා සංවිධානය වන හඛානි ජාලය ද (Haqani Network) මේ අතර ප‍්‍රධාන තැනක් ගනී. ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කොට ක‍්‍රියාත්මක වූ අල්කයිඩා සංවිධානය එහි නායක ඔසාමා බින් ලාඩන් ඝාතනයෙන් පසු තරමක් අක‍්‍රීය භාවයක් පෙන්නුම් කරන අතර එහි නව නායකයා ලෙස කටයුතු කරන ”අයිමන් අල් සවාහිර්” ද ඇමරිකානු ඩ්‍රෝන ප‍්‍රහාරයක් හේතුවෙන් මේ වනවිට ඝාතනය වී ඇති බවට තහවුරු නොකරන ලද ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අයි එස් අයි එස් සංවිධානයේ දකුණු ආසියානු ව්‍යුහය (South Asian version of ISIS)ලෙස සැලකෙන අයි එස් කේ පී (Islamic state of Korozan Province) සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ මේ වන විට ඉතා ක‍්‍රියාශීලීව කටයුතු කරමින් සිටී. පසුගිය අගෝස්තු 26 වැනි දින කාබුල් ගුවන්තොටුපළ අසල ස්ථාන දෙකක දී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් එල්ල කරමින් තලේබාන් සටන්කාමීන් විසි හත් දෙනෙක්, ඇමෙරිකානු සෙබළුන් දහතුනක් ඇතුළු 125කට ආසන්න සිවිල් වැසියන් ඝාතනය මෙම සංවිධානය විසින් සිදුකරන ලද ප‍්‍රහාරයක් ලෙස සැලකෙන අතර ඔවුන් කාබුල් නගරයට කිලෝමීටර් 90ක් පමණ නැගෙනහිරට වන්නට පිහිටා ඇති නන්ගර්හාර් ප‍්‍රදේශය තුළ ඉතා ශක්තිමත් ලෙස ක‍්‍රියා කරමින් සිටී. ස්ථිර ජාතිකත්වයක් හඳුනාගෙන නොමැති අරාබි ජාතිකයකු වන ආචාර්ය සහාබ් අල් මුහාජීර් මේ වන විට මෙම ත‍්‍රස්ත සංවිධානයට නායකත්වය සපයන බව වාර්තා වේ. තලේබාන්වරුන් මෙන්ම ISIS ත‍්‍රස්තවාදීන් ද ඉස්ලාම් ධර්මය මුල් කොටගෙන කටයුතු කරන නමුත් ඔවුන් අතර පවතින ප‍්‍රධානම වෙනස්කමක් වන්නේ තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය තුළ ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් කටයුතු කරන ජාතිකවාදීන් වන අතර ISIS ත‍්‍රස්තවාදීන් මුළු ලොවම ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණින් කටයුතු කරන ජාත්‍යන්තරවාදීන් වීමයි. මේ වන විට මෙම දෙපාර්ශ්වයම ඇෆ්ගන් භූමිය තුළ අවි අමෝරාගෙන සිටින තත්ත්වයක් නිරීක්ෂණය වේ.

 දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාවට ප‍්‍රධාන තර්ජනයක් වී ඇති ISKP ත‍්‍රස්තවාදීන් මේ වන විට සිය සංවිධාන ජාලය ඉන්දියානු බටහිර වෙරළේ පිහිටි ශ‍්‍රී ලංකාව සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන කේරළ සහ කර්ණාටක ප‍්‍රාන්තයන් දක්වා ව්‍යාප්ත කර ඇත. 2020 මාර්තු විසි පස් වැනි දින කාබුල් නගරයේ පැරණි කොටසේ පිහිටා ඇති ”ගුරුද්වාර්” ප‍්‍රදේශයේදී අවි ආයුධවලින් සන්නද්ධ ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් සිවිල් පුරවැසියන්ට එල්ල කරන ලද ප‍්‍රහාරයක් හේතුවෙන් සිවිල් පුරවැසියන් 25 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර සාමාන්‍ය වශයෙන් ඉන්දීය ජාතිකයන් වැඩි ප‍්‍රමාණයක් පදිංචි මෙම ප‍්‍රදේශය තුළ එල්ල කරන ලද මෙම ප‍්‍රහාරය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව අතර එක් ඉන්දීය ජාතිකයකු ද සිටි අතර තුවාල ලැබූ ඉන්දීය ජාතිකයන් 6 දෙනෙකු පසුව රෝහල් වෙත පිටත් කර යවා ඇත. ප‍්‍රහාරය සිදු කළ ත‍්‍රස්තවාදී කණ්ඩායමට ඇෆ්ගන් හමුදාව විසින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන අබු කාලිඩි අල් හින්දි නමැත්තා ඝාතනය වූ අතර මෙම පුද්ගලයා ඉහත අන්වර්ථ නාමයෙන් පෙනී සිටි ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ වැසියකුවූ මොහොමඞ් මුජහීඞ් බව පසුව හඳුනා ගන්නා ලදී. ඉන්දියානු හමුදාව කාශ්මීරයේ මුස්ලිම් ජනතාව හමුවේ සිදුකරන ප‍්‍රහාරයන්ට පිළිතුරු ලෙස මෙම ප‍්‍රහාරය සිදු කළ බව ISKP ත‍්‍රස්ත සංවිධානය විසින් ගුරුද්වාර් ප‍්‍රහාරයේ වගකීම භාරගනිමින් ප‍්‍රකාශයක් නිකුත් කළ අතර මේ වන විටත් ISKP සංවිධානය හා සම්බන්ධ ඉන්දීය මුස්ලිම්වරු සියයත් එකසිය විස්සත් අතර ප‍්‍රමාණයක් ඇෆ්ගන් භුමිය තුළ ක‍්‍රියාකාරීව සිටින බවට විදේශීය ඔත්තු සේවා ආරංචි මාර්ග ප‍්‍රකාශ කර සිටී.

 ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධ සැලකිලිමත් වන විට මෙම තත්ත්වය පහසුවෙන් බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ. අයි එස් ත‍්‍රස්තවාදීන් සමඟ සිරියානු සටන් පෙරමුණේ සටන් කළ ශ‍්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් සංඛ්‍යාව තිහත් හතළිහත් අතර වූ බව 2018 වර්ෂයේ දී කරුණු අනාවරණය වූ අතර මෙම පිරිසගෙන් බහුතරයක් තුර්කි වීසා බලපත‍්‍ර යටතේ ඉස්තාන්බුල් නගරයට ගොස් එතැනින් සිරියානු දේශසීමාව හරහා ISIS සංවිධානයට සම්බන්ධ වූ බවට එකල තොරතුරු වාර්තා විය. එබැවින් මේ වන විට දකුණු ආසියානු කලාපයේ ක‍්‍රියාකාරී තත්ත්වයේ පසුවන ඉස්ලාමීය ත‍්‍රස්තවාදී සංවිධානයක් වන ISKP සංවිධානය සිය ජාලය ඉන්දියානු බටහිර වෙරළට දිගු කර ඇති ආකාරය සලකන විට එම ජාලයේ අක්මුල් ශ‍්‍රී ලංකාව වෙත ද පැතිරීමේ අවදානම පහසුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ. පාස්කු ප‍්‍රහාරය සිදු කළ සහරාන් ඇතුළු කල්ලිය සහ කේරළය කේන්ද්‍රකොටගත් ඉන්දියානු ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් අතර තිබූ සම්බන්ධතා ජාලය මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙස සැලකේ.

 ඉතා කුඩා සංවිධානයක් ව පැවති අයි.එස්.අයි.එස්. සංවිධානය ඉතා කෙටි කලක් තුළ රාජ්‍යයක් නියෝජනය කරන බලගතු සංවිධානයක් බවට පත්වීමේ තත්ත්වය මෙහිදී අප විසින් ඉතා සැලකිල්ලට ගත යුතුය. ඇමරිකානු මැදිහත්වීමෙන් ඉරාකයේ සදාම් හුසේන් පාලනය බිඳ දැමීමෙන් පසු ඇමරිකාව ගනු ලැබූ අවිචාරවත්ම තීරණයක් ලෙස සැලකුණේ සදාම් හුසේන්ගේ බාත් පක්ෂයට අනුබද්ධ ඉරාක හමුදාවේ සේවය කළ ලක්ෂ එකහමාරකට ආසන්න අවි පුහුණුව ලත් හමුදා සෙබළුන් සහ නිලධාරීන් සේවයෙන් පහකිරීම ය. ඉතා හොඳ හමුදා පුහුණුවක් සහ ප‍්‍රායෝගිකව සටන් බිමේ සටන් කර හොඳ පලපුරුද්දක් ලබා සිටි මෙම පිරිසගෙන් 80% කටත් වැඩි කොටසක් ISIS සංවිධානය සමග එක්වීම එම සංවිධානයේ ක්ෂණික ප‍්‍රසාරණයට හේතු වූ අතර එම පුහුණු හමුදා සෙබළුන්ගේ සේවය ලද අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන් 2012 වසර වන විට සිරියාවේ ”ඇල්ෆෝ” නගරයේ සිට ඉරාකයේ ”මොසූල්” නගරය දක්වා වූ භුමි ප‍්‍රමාණයෙන් මහා බි‍්‍රතාන්‍යට සමාන රාජ්‍යයක් ඉස්ලාමීය අධිරාජ්‍යය (Islamic Califate) ලෙස නම්කර එවකට ISIS නායකයා වූ අල්-බග්ඩාදි එම රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙස පත් කිරීම ද සිදුවිය.

 මෙම ඉස්ලාමීය රාජ්‍යය 2018 දක්වා පුරා වසර හයක් පැවති අතර මේ වන විටත් බිඳී ගිය එම රාජ්‍යයේ නෂ්ටාවශේෂ සිරියාව මෙන්ම ඉරාකය තුළ ද තැනින් තැන ම වරින් වර මතු වෙමින් පවතී.

 මෙම තත්ත්වය මේ වනවිට ඇෆ්ගනිස්ථානය තුළ ද මතුව ඇති අතර අමෙරිකානු සහාය යටතේ පිහිටුවා තිබූ ලක්ෂ තුනක භට පිරිසකගෙන් සමන්විත ඇෆ්ගන් නිල හමුදාව මේ වන විට අක‍්‍රීයව පවතී. ඔවුන් සතුව තිබූ ආයුධ සහ පුපුරන ද්‍රව්‍යයන්ට කුමක් සිදු වූයේද යන්න නිවැරදි සංගණනයක් මේ වන විටත් කිසිවකු සිදු කර නැත. ඔවුන් කිසි විටෙකත් තලේබාන් පාලනයට සම්බන්ධ විය හැකි බවට අනුමාන කළ නොහැක. අවි පුහුණුව ලත් එම පිරිසේ මීළඟ නවාතැන අනිවාර්යෙන්ම ත‍්‍රස්ත සංවිධානයක් විය හැකි අතර එය බොහෝ විට ඇෆ්ගනිස්ථානය තුළ මේ වන විට බලවත්ව සිටින ISKP ත‍්‍රස්ත සංවිධානය විය හැකි බවට ත‍්‍රස්ත කටයුතු සම්බන්ධව ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගේ මතයයි.

 ඇමරිකාව සහ තලේබාන් සංවිධානය අතර අත්සන් කෙරුණු දෝහා ගිවිසුමට අනුව ඒ වනවිට ඇෆ්ගන් බන්ධනාගාරවල රඳවා සිටි තලේබාන් සංවිධානයට සම්බන්ධ සටන්කරුවන් පන්දාහක් (5000) නිදහස් කිරීම 2020 මාර්තු මාසයේ දී සිදු කරන ලදී. මෙම යෝජනාවට එවකට ඇෆ්ගන් ජනාධිපතිවරයා ව සිටි ”අෂ්රෆ් ගානි” දැඩි ලෙස විරුද්ධ වූ නමුත් ඒ අවස්ථාවේදී ඇමරිකාව විසින් ඇෆ්ගන් රජය වෙත එල්ල කරන ලද බලපෑම හමුවේ අකමැත්තෙන් වුවද බන්ධනාගාර ගත එම පිරිස නිදහස් කිරීමට ඇෆ්ගන් රජයට සිදුවිය. මෙසේ නිදහස් කරන ලද පිරිසට තලේබාන් සටන්කාමීන්ට අමතරව කලාපයේ මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියුතු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැුසක් ද සිටින බවටත්, ඔවුන්ගෙන් තලේබාන්වරුන්ට ලැබෙන විශාල මූල්‍යමය ආර්ථික වාසි හේතුවෙන් ඔවුන් නිදහස් කිරීමට තලේබාන්වරුන් ඉල්ලා සිටින බවටත් ඇෆ්ගනිස්ථානයේ හිටපු උප ජනාධිපති දැඩි තලේබාන් විරෝධියකු ලෙස ප‍්‍රකට අමරුල්ලා සාලේ ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ හෙළිදරව් කරන ලද්දේ දෝහා ගිවිසුමේ අනිත්‍යානුකූල භාවය සම්බන්ධව කරුණු දක්වමිනි. එහෙයින් තලේබාන් පාලනය තුළ දකුණු ආසියානු කලාපයට මත්ද්‍රව්‍ය සපයන මර්මස්ථානයක් ලෙස සැලකෙන ”රන් චන්ද්‍රවංකයේ” (Golden Cresent) ක‍්‍රියාකාරීත්වයද තලේබාන් පාලනය තුළ වඩාත් ප‍්‍රබල විය හැකි අතර එම තත්ත්වය ශ‍්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියානු උප මහාද්වීපයේ ද මත්ද්‍රව්‍ය මර්දනයට විශාල බලපෑමක් එල්ල කරන ප‍්‍රබල සාධකයක් වනවා නිසැකය.

 ඇෆ්ගනිස්ථානයේ අෂ්රෆ් ගානි රජය බිඳ වැටී තලේබාන් පාලනයක් ස්ථාපිත වීමත්, ඇමරිකානු හමුදා හස්තයෙන් ඇෆ්ගනිස්ථානය පූර්ණ ලෙස නිදහස් වීමත් සලකා බැලීමේදී එම තත්ත්වය ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම ඒ හා බද්ධව පවතින මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී අවි ජාවාරම වැනි අන්තර්ජාතික අපරාධ (Transnational Crimes) විෂයයන් අරබයා සිදුකළ හැකි පරිවර්තනයන් අති විශාලය. ශ‍්‍රී ලංකාව තුළ පසුගිය කාලයේ සිදු වූ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති සිදුවීම් ජාලය මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ද සම්බන්ධව සලකා බැලීමේදී ඇෆ්ගන් බල පෙරළිය තුළ අපේ රටේ ආරක්ෂාවට ද එල්ල විය හැකි තර්ජන සම්බන්ධව වෙනත් කවරදාටත් වඩා දැඩි විමසිල්ලෙන් පසු වීමට සියලූම ඔත්තු සේවා මෙන්ම ආරක්ෂක අංශයන්ට සිදුවනු නොඅනුමානය.

ඇෆ්ගනිස්ථානයේ බිඳවැටීම තලේබාන් පාලනය සහ ශ‍්‍රී ලංකාව

ප‍්‍රියන්ත ජයකොඩි
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ‍්‍රාමික)

advertistmentadvertistment
advertistmentadvertistment