ඈන් ෆ‍්‍රෑන්ක් ඇතුළු පවුල පාවා දුන්නේ යුදෙව් නොතාරිස් බව හෙළිවේ

901

එෆ්. බී. අයි. විශේෂ නියෝජිත වින්සන්ට් පැන්කෝක් සේවයෙන් විශ‍්‍රාම ලැබීමෙන් පසුව විශේෂ කටයුත්තකට අත ගැසුවේය. ඒ ඈන් ෆ‍්‍රෑන්ක් සහ ඇගේ පවුලේ අය නාසීන්ට පාවා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සෙවීමටය. දෙවන ලෝක යුද සමයේදී හිට්ලර් විසින් යුදෙව්වන් සංහාරය කරමින් ලොව පුරා භීෂණය පැතිරූ ආකාරය පිළිබඳව ප‍්‍රකාශ කෙරෙන ප‍්‍රධාන සාක්ෂියක් ලෙස ඇනා ෆ‍්‍රෑන්ක් නම් දහතුන් හැවිරිදි දැරියගේ දිනපොත ලොවම ප‍්‍රකට වී තිබේ. 1944 වසරේ අගෝස්තු හතරවැනිදා නාසි හමුදා විසින් ඈන් ඇතුළු පවුලේ සියලූ දෙනා අත්අඩංගුවට ගනී. මොවුන් අත්අඩංගුවට ගෙන වධකාගාරවලට රැගෙන ගිය පසු ඈන් හා ඇගේ සහෝදරිය බෙල්සන් වධකාගාරයේදී 1945 වසරේ මාර්තු මාසයේදී ටැයිෆස් උණ රෝගය වැළඳී මරණයට පත්වෙයි. ඇගේ මව කුසගින්නේ මියගිය අතර 1945 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව නැවත නිදහස්ව පැමිණීමට ඉතුරු වන්නේ ඈන්ගේ පියා වන ඔටෝ ෆ‍්‍රෑන්ක් පමණි.

ඈන් ෆ‍්‍රෑන්ක් ඇතුළු පවුල පාවා දුන්නේ යුදෙව් නොතාරිස් බව හෙළිවේ

ඈන්ගේ දිනපොත ඇරඹෙන්නේ ඇගේ 13 වන උපන් දිනය දවසේයි. එය අවසන් වන්නේ 15 වන උපන් දිනයෙන් ටික දවසකට පසුවයි. මුල් කාලයේදී යොවුන් වියේ තරුණියන්ට අවේණික විවිධ අත්දැකීම් ඉදිරිපත් කරන ඇය නාසින් විසින් නෙදර්ලන්තය ආක‍්‍රමණය කිරීමත් සමඟ තම දිනපොත යුද්ධය ආශ‍්‍රිත කරුණු සටහන් කර ඇත. දිනපොතේ විස්තර කෙරෙන වසර දෙකක කාලය තුළ නාසින්ගේ මහා මිනිස් සංහාරය පිළිබඳව භයානක හා සංකීර්ණ ලෙස විස්තර කර තිබේ. 1944 වසරේ අගෝස්තු පළමු වැනිදා කිසිදු විස්තරයක් නොමැතිව දිනපොත අවසන් වන අතර ඊට දින තුනකට පසුව ඇය අත්අඩංගුවට පත්වෙයි.

ඈන් ෆ‍්‍රෑන්ක් ඇතුළු පවුල පාවා දුන්නේ යුදෙව් නොතාරිස් බව හෙළිවේ


වින්සන්ට් පැන්කොක් සහ ඉතිහාසඥයින්, අපරාධ විද්‍යාඥයන් සහ දත්ත විශේෂඥයන් 20ක් පමණ ඇතුළත් කණ්ඩායමක් ඈන් ෆ‍්‍රෑන්ක් සැඟවුණු ස්ථානය හෙළිදරව් කිරීමේ ප‍්‍රධාන සැකකරු ලෙස සාපේක්ෂව නොදන්නා චරිතයක් වන යුදෙව් නොතාරිස් ආර්නෝල්ඞ් වැන් ඩෙන් බර්ග් හඳුනා ගත්හ. මේ කටයුත්ත සඳහා ඔවුන් වසර හයක් පුරා පරීක්ෂණ කර ඇත. ඇම්ස්ටර්ඩෑම්හි යුදෙව් කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස වැන් ඩෙන් බර්ග්ට යුදෙව්වන් සැඟවී සිටි ලිපිනයන්ට ලබා ගැනීමට හැකිවූ අතර ඔහුගේ පවුල බේරා ගැනීම සඳහා මේ ලිපින නාසීන්ට ලබා දී ඇති බව මේ පරීක්ෂණයේදී හෙළිව තිබේ. යුදෙව් කවුන්සිලයේ අනෙකුත් සාමාජිකයන් 1943 දී පිටුවහල් කරන ලද අතර, වැන් ඩෙන් බර්ග්ට නෙදර්ලන්තයේ රැුඳී සිටීමට හැකි විය. ඔහු 1950 දී මිය ගියේය.

 ඈන් ෆ‍්‍රෑන්ක් පදනම මෙම විමර්ශනයට සම්බන්ධ නොවූ නමුත් පර්යේෂණ කණ්ඩායමට එහි

 ලේඛනාගාරයෙන් තොරතුරු ලබා දුන්නේය. එහි අධ්‍යක්ෂ රොනල්ඞ් ලියෝපෝල්ඞ් පැවසුවේ මෙම පර්යේෂණය ‘‘වැදගත් නව තොරතුරු සහ වැඩිදුර පර්යේෂණ සඳහා සුදුසු වන සිත් ඇදගන්නා උපකල්පනයක් ජනනය කර ඇති” බවයි. එහෙත් තවත් සමහර ප‍්‍රවීණයන් පවසන්නේ ආර්නෝල්ඞ් වැන් ඩෙන් බර්ග් එරෙහි සාක්ෂි තීරණාත්මක නොවන බවයි. ඈන් ෆ‍්‍රෑන්ක් සිය දිනපොත ලියනු ලැබුවේ ලන්දේසි භාෂාවෙනි. එය ලොව පුරා නොයෙක් භාෂා වලට පරිවර්තනය වී ඇත. මේ කෘතිය ඇසුරෙන් නිපදවූ චිත‍්‍රපටයට ඔස්කාර් සම්මාන හිමිවිය.

 *  චතුර පමුණුව


advertistmentadvertistment