ඉංගිරිය-පිටකොටුව බස් සේවකයාට පහරදුන් හෝමාගම රියදුරු හා කොන්දොස්තරගේ වැඩ තහනම්

770

පිටකොටුවේ සිට ඉංගිරිය බලා ධාවනය වූ මාර්ග අංක 125 පෞද්ගලික බස් රථයක රියදුරුට සහ කොන්දොස්තරවරයාට හෝමාගම නගර මධ්‍යයේදී පහරදුන් බව කියන මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව පෞද්ගලික බස් රථයේ රියදුරුගේ හා කොන්දොස්තරවරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ අංක 4 ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාර චානක ලංකානන්ද මහතා ‘දිවයින’ ට ඊයේ (06දා) පැවැසීය.

මීට අමතරව මාර්ග අංක 138 පෞද්ගලික බස් රථයේ ගමන් වාරය ද අත්හිටුවූ බවද ඒ මහතා කීය. මාර්ග අංක 138 මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ සේවකයන් බොහෝ දෙනකු විනයගරුකව කටයුතු කරන බවත්, එක්කෙනෙක් දෙන්නෙක් සිදුකරන මෙවැනි විනය විරෝධී ක්‍රියා නිසා සමස්ත 138 සේවකයන්ට කැළලක් සිදුවන බවත්, ඒ හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කළ බවත් ඒ මහතා කියා සිටියේය.

හයිලෙවල් මාර්ගයේ මාර්ග අංක 125 බස් රථ සේවක යුගලය හා 138 බස් රථ සේවක යුගලය අතර ඇතිවූ බහින්බස් වීමක් මෙම පහරදීමට හේතු වී ඇත.

පහර කෑමට ලක්වූ මාර්ග 125 බස් රථ සේවකයන් යුගලය රෝහල්ගත කර තිබේ.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ද පැමිණිලි කර තිබේ.

පහරදුන් 138 බස් රථ සේවකයන් අද (07දා) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි. ඒ අනුව හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා අජන්තා මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු


advertistmentadvertistment