ග්‍රාමසේවක හවුල් කරගෙන හොර හැඳුනුම්පතකුත් හදලා

පොලිසියෙන් බේරෙන්න බෝධිපූජාත් තියලා

තලවතුගොඩ උපන් ඒ. ඩබ්. කමණී චම්පිකා සැබවින්ම රූමත් තැනැත්තියක වූවාය. එක්වරක් දුටුවනම යළි යළිත් ඈ කෙරේ සිත ඇදී යන අමුතු ලස්සනක් ඈ තුළින් විද්‍යාමාන වූවාය. මේ නිසාම වැඩි කල් නොගොස් ඇගේ සිත දිනා ගන්නට සරත්චන්ද්‍ර සුමනසේකර සමත් විය. දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයට මුලදී කමණී චම්පිකාගේ දෙමාපියන් විරුද්ධ විය. ඕනෑම දෙමාපියෙක් උත්සාහ කරන්නේ තම දියණියට දිය හැකි උපරිම සැප සම්පත් දිය හැකි තරුණයකු විවාහ කර දීමටයි. නමුත් අවසානයේ දෙමාපියන්ගේ අකැමැත්තෙන් ඔවුන් තීරණය කරන්නේ එක වහලක් යටට වීමටය.

ඒ අනුව ඔවුන් දෙදෙනාගේ ආදරය මල්ඵල ගන්වමින් දෙදෙනා විවාහ වන්නේ කවුරු නැතත් අපිට අපි ඉන්නවා යන සිතිවිල්ල පෙරදැරි කරගෙනය. එසේ විවාහ වන යුවළ පදිංචියට යන්නේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවසකටය. එම නිවස සරත්චන්‍ද්‍ර සුමනසේකරට අයත් නිවසක් විය.

දෙදෙනා ඉතා ආදරයෙන් මෙම නිවසේ වාසය කළේ කිසිවකුට කරදරයක් නොවන අයුරිනි. කමණී චම්පිකා ඒ වනවිට විදුලිබල මණ්ඩලයේ ඉංග්‍රීසි ලඝු ලේඛිකාවක ලෙස සේවය කළාය. ඇය තම වෘත්තියට ගැළපෙන ලෙස ඉතා ලස්සනට ඇඳ පැළඳගෙන දුටුවන්ගේ සිත් වශී කරවන ආකාරයෙන් රැකියාවට යෑමට පුරුදුව සිටියාය. මේ ලස්සන යුවතිය දෙස ඒ වන විටත් එම කාර්යාලයේ ඉතා කඩවසම් තරුණයකුගේ ඇල්ම බැල්ම වැටී තිබිණි. සරත්චන්‍ද්‍ර හා කමණී නීතියෙන් බැඳුනත් ඇයගේ සිත ඇයටත් හොරෙන් මේ විදුලි ඉංජිනේරුවරයාගේ මන බදින රූප කාය වෙත ඇදී ගියේ තරුණ වයසේ ඇතිවන රාගය මුසු ආදර වදන් හමුවේය.

කැලණියේ පදිංචිකරුවකු වූ ඩබ්. අමරසිරි විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කරන අතරතුර ඔහුට නිරන්තරවම කමණී හා ඔහුගේ කාර්යාල කාමරයේදී තනි වෙන්නට අවස්ථාව උදාවිය. මේ වනවිට අමරසිරිත් විවාහ වී සිටි අතර මේ දෙදෙනාටම කාර්යාල කාමරයේ තනිවී දොඩමළු වන විට තමන් විවාහකයන් බව අමතක වී තිබිණි.

කමණීගේ සැමියා වූ සරත්චන්‍ද්‍ර ඒ වනවිට ලංගම වේලා සටහන්කරුවකු ලෙස සේවය කළේය. නිතර කේන්ති ගෙන හැඩි දැඩි මැරයකු මෙන් සැර පරුෂ ලීලාවෙන් කටයුතු කරන සරත්චන්‍ද්‍රට වඩා ආදරයෙන් කාර්යාල කාමරය තුළ කතාබහ කරන අමරසිරි වෙත කමණීගේ සිත ඇදී ගියේ ඇයටත් හොරාය.

මුලින් මුලින් ගෙදර දොර ආගිය තොරතුරු කතාබහ කරමින් ආරම්භ වූ මේ හාදකම වැඩි කල් නොගොස්ම ඉන් එහාට ගිය කායික සම්බන්ධයක් දක්වාම ඇදී ගියේය. කාර්යාල කාමරය ඒ සඳහා උචිත නොවන බව වටහා ගත් දෙදෙනාම ඒ සඳහා තෝරා ගත්තේ කමණී ඒ වනවිට පදිංචිව සිටි නිවසයි. එසේ තනිවන විට දෙදෙනාට අවට ලෝකය පිළිබඳ කිසිදු හැඟීමක් නොවූයේ ඒ වනවිට ඔවුන් ඔවුන්ගේ ලෝකවල පතුලටම කිමිඳී සිටි නිසාය.

කෙසේ හෝ කාර්යාල කාමරයෙන් පටන්ගත් ආදර කතාව කාර්යාලයේ හිතමිතුරන්ගේ කනට යන්නට වැඩි කලක් ගතවූයේ නැත. එතනින් නොනැවතුණු මේ ආදර කතාව කමණීගේ සැමියා වූ සරත්චන්‍ද්‍රගේ කනට ද ගියේ කැස්ස මෙන්ම ආදරය ද කිසිදා සැඟවිය නොහැකි කරුණක් බව පසක් කරමිනි.

1989 ජනවාරි මස 13 වැනිදා උදෑසන කමණී සුපුරුදු පරිදි රැකියාවට යන්නට සූදානම් වූවාය. නමුත් කමණීගේ ආදරයේ සියලු තොරතුරු ඒ වනවිට අකුරක් නෑර දැනගෙන සිටි සරත්චන්‍ද්‍ර ඇයට රැකියාවට යෑමට ඉඩ දුන්නේ නැත. සරත්චන්‍ද්‍ර කමණීට පහරවල් කිහිපයක් ගසා ඇය බියගන්වා මේ ආදර කතාවේ අනිත් සියලු තොරතුරුත් ඇය වෙතින් අනාවරණය කර ගත්තේය. සරත්චන්‍ද්‍රගේ හැටි දන්නා නිසාම කමණී අකුරක් නෑර සරත්චන්‍ද්‍රට සියලු කරුණු පවසන්නට වූයේ වෙන කරන්නට දෙයක් නැති බව අවබෝධ කරගත් නිසාය. එසේ බියවැද්දූ කමණී ලවාම දුරකථන ඇමතුමක් අමරසිරි වෙත ලබාදුන් සරත්චන්‍ද්‍ර කමණීට පවසන්නේ නිවසේ කිසිවකු මේ අවස්ථාවේ නොමැති බැවින් පෙම් ලෝකයේ කිමිදීමට වහා පැමිණෙන ලෙස පවසන ලෙසයි.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටි අමරසිරිට මෙය ඉහේ මලක් පිපුනා මෙන් විය. මිටින් හල කුරුල්ලකු මෙන් අමරසිරි පියඹා ගියේ නීත්‍යානුකූල ප්‍රේමයට වඩා අනියම් ප්‍රේමයේ රස වැඩි යැයි සිතුනු නිසාය.

කල්තියාම කමණිවත් මෙම ක්‍රියාවට කැමති කරවාගෙන සරත්චන්‍ද්‍ර නිවසේ මුල්ලකට වී පොල්ලක් ද රැගෙන සැඟව සිටින්නේ තම ගොදුර පැමිණෙන තෙක්ය. වෙනදා මෙන්ම තහනම් ගහේ ගෙඩිවල රස විඳින්නට පැමිණි අමරසිරිට සියල්ල අවබෝධ වනවිට ප්‍රමාද වැඩිය. නිවසේ මුල්ලක සැඟව සිටි සරත්චන්‍ද්‍ර ඒ වනවිටත් අමරසිරිගේ හිසට පොලු පහරක් එල්ල කර අවසානය.

ඉංජිනේරුවා මැරූ අභිරහස අවුරුදු 34කට පස්සේ එළියට…ඝාතකයා මාට්ටු…

වහා ක්‍රියාත්මක වූ සරත්චන්‍ද්‍ර අමරසිරිව ඝාතනය කොට කෑලිවලට කපා වෙන් කරන්නේ කමණීගේ ද උදව් උපකාර ඇතුවය. කලක් අමරසිරිගේ පපුවට තුරුළු වී පෙම් සුව විඳි කමණීට වෙන කරන්නට දෙයක් නැති තැන තම නීත්‍යානුකූල සැමියාගේ අණට කීකරු වී තම අනියම් සැමියා ඝාතනය කොට කෑලිවලට කපා ප්ලාස්ටික් බැරලයකට දමන්නේ ආදරය හා වෛරය අතර ඇත්තේ කෙස් ගසක පමණ වෙනසක් බව පසක් කරමිනි.

මරා කෑලිවලට කපා බැරලයක අසුරා එම වත්තේම පැරණි ළිඳක වළ දමන අමරසිරිගේ සිරුර දෙස මොහොතක් බලා සිටි ඔවුන් සිතන්නේ යළි කිසිදු දිනක මේ අභිරහස හෙළි නොවනු ඇතැයි කියාය. කෙසේ වෙතත් මෙම ස්ථානයේ තවත් මොහොතක් හෝ රැඳී සිටීම අවදානම් යැයි සිතුනු නිසා දෙදෙනාම වහාම එම නිවසින් පිටව යන්නේ බොරැල්ල ප්‍රදේශයේ කුලී නිවසකටය. කුලී නිවසේ දෙදෙනා කාලය ගතකරන්නේ කිසිත් සිදු නොවූ ආකාරයෙනි.

මේ අතරතුර විදුලි ඉංජිනේරු අමරසිරි මහතාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කරන්නේ තම සැමියා පෙරදින රැකියාවට ගියත් තවමත් නිවසට නොපැමිණි බවයි. ඒ විදුලි ඉංජිනේරුවරයා සේවය කළ කාර්යාලය පිහිටි පොලිස් බලප්‍රදේශය වන කොම්පඤ්ඤවීදිය පොලිසියටය. ඒ අනුව ක්‍රියාත්මක වන කොම්පඤ්ඤවීදිය පොලිසිය මුලින්ම යන්නේ අමරසිරි මහතා සේවය කළ කාර්යාලයටය. එහිදී දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලූ පොලිසියට අමරසිරිගේ නිල රථය කාර්යාල භූමියේ ගාල්කර ඇති ආකාරය දැක ගන්නට ලැබිණි. තවදුරටත් කාර්යාලයේ සේවකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වන්නේ විදුලි ඉංජිනේරු අමරසිරි සහ එම කාර්යාලයේම රැකියාව කළ කමණී අතර අනියම් සම්බන්ධයක් පැවති බවත් මේ වනවිට අමරසිරි මෙන්ම කමණී ද අතුරුදන්ව ඇති බවයි.

එතැන් පටන් කමණී පිළිබඳ තොරතුරු සොයා බලන පොලිසියට අනාවරණය වන්නේ කමණී පදිංචිව සිටි නිවසේ ලිපිනය හා දුරකථන අංකය අමරසිරිගේ දින පොතේ සටහන් කර ඇති බවයි. ඒ අනුව එම ලිපිනයට යන පොලිසියට පෙනී යන්නේ එම නිවස දින කිහිපයක සිට වසා දමා ඇති බවයි. එසේම එහි පදිංචිව සිටි යුවළ ද මේ වනවිට අතුරුදන්ව ඇති බවයි.

පොලිසිය ඔවුන් පිළිබඳ දීර්ඝ විමර්ශනයක් සිදු කරන අතර අවසානයේ කෙසේ හෝ ඔවුන් දෙදෙනා පොලිසියට කොටුවන්නේ අපරාධයක් කර සැඟව සිටිය නොහැකි බව පසක් කරමිනි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අපරාධයේ සියලු කරුණු අනාවරණය වන අතර ඔවුන් වළ දැමූ අමරසිරිගේ සිරුරද ගොඩගනු ලැබුයේ සරත්චන්‍ද්‍ර සහ කමණී දුන් තොරතුරුවලට අනුවය.

විදුලි ඉංජිනේරුවරයාගේ ඝාතනයට අදාළව විමර්ශන කටයුතු සිදු කළ පොලිසිය ඔවුන් දෙදෙනා ඉදිරිපත් කරන්නේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයටය. මාස හයක රක්‍ෂිත බන්ධනාගාරගත වීමකින් පසුව ඔවුන් දෙදෙනා ඇප ලබා පිටව යන්නේය. ඒ 1990 වසරේදීය.

නමුත් ඔවුන් දෙදෙනා අධිකරණයෙන් ඇප ලබා පිටව යෑමෙන් පසු ඉදිරි නඩු කටයුතු සඳහා ඉදිරිපත් වන්නේ නැත. එහිදී වැඩිදුර තොරතුරු සෙවීමේදී පෙනී යන්නේ ඔවුන් ඇප ලබා ගැනීමට අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයාගේ නම් ගම් පවා ව්‍යාජ ඒවා බවයි. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇප ලබාගත් ඔවුන් එතැන් සිට වසර 34ක් යන තෙක් අතුරුදන් වී සිටී.

ඒ සඳහා ඔවුන් භාවිත කර ඇත්තේ පනාගොඩ වැලිපිල්ලෑව පදිංචිව සිට මියගිය පුද්ගලයකුගේ උප්පැන්නයෙන් සකස් කළ හැඳුනුම්පතකි. මියගිය පුද්ගලයාගේ උප්පැන්නයට මොහුගේ මුහුණ යොදා ජාතික හැඳුනුම්පතක් සකස් කර ඇත්තේ එවකට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ සහයෙනි.

මේ පිළිබඳ නඩු විභාගය 2019 වසරේදී අවසන් වී ඇති අතර එම නඩුව මෙම චූදිතයන් නොමැතිව විභාග වූ අතර එහිදී තීන්දු වී ඇත්තේ මෙම දෙදෙනාට මරණීය දණ්ඩනය ලබා දෙන ලෙසයි.

පසුගිය පෙබරවාරි 09 වැනිදා දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එක්දරු මවක වූ ඒ. ඩබ්. කමණී චම්පිකා නමැත්තියව අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය මාස ගණනාවක් තිස්සේ සිදුකළ දුරකථන විශ්ලේෂණ වාර්තා ආදිය පාදක කරගෙන මෙහි ප්‍රධාන සැකකරු වන සරත්චන්‍ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැත්තා පූගොඩ මණ්ඩාවල පිහිටි පෞද්ගලික ආයතනයක ආරක්‍ෂක නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

බිරිඳ අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු තමාගේ කලින් වාසස්ථානය වූ දැඩිගමුව අතහැර පූගොඩට පැමිණ ඇති අතර නිරන්තරව මොහු පොලිසියට හසු නොවන්නැයි පින්දහම්වල නිරතව සිට ඇති අතර පොහෝ දිනවල සිල් සමාදන් කටයුතුවල ද නිරතව ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සැරයන් සම්පත් (70701) මහතා කටයුතු කර ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment