ඉක්මන් වී ජය ගන්න බැහැ කියා මං අනෙක් අයට කිව්වා – තරගයේ වීරයා සධීර කියයි

2796

නෙදර්ලන්තය සමග තරගය පන්දු වාර 40 කින් 42 කින් අවසන් කිරීමට නොහැකි බවත් ඒ සඳහා අවසාන පන්දු වාර එක දෙක වන තෙක් අපට සටන් කරන්නට සිදුවනු ඇති බවත් තමන් අනෙක් පිතිකරුවන්ට පිටිය මැද දී කියා සිටි බව එම තරගයේ වීරයා වූ සධීර සමරවික්‍රම පැවසීය.

එම තණ තීරුවේ පන්දුවට පහරදීම ගොඩක් අමාරු වුණු බවත් තණ තීරුව පන්දු යවන්නන්ට විශාල සහායක් ලබා දුන් අවස්ථාවක සංයමයෙන් ලකුණු රැස් කිරීම නිසා එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බවත් සධීර පවසා සිටියේය.

කණ්ඩායමක් ලෙස තරගාවලියට ප්‍රවේශ වීම සඳහා ජයග්‍රහණයක් අවශ්‍යව තිබූ අවස්ථාවක ලබාගත් මෙම ජයග්‍රහණය මගින් කණ්ඩායමේ ආත්ම ශක්තිය වර්ධනය වන බවත් සධීර පැවසීය.

“අපිට ජයග්‍රහණයක් ඕන වෙලා තිබුණේ. ඒ දෙය අද ලබා ගන්න පුළුවන් වුණා. කණ්ඩායමේ හැමෝගෙම සහාය මේ ජයග්‍රහණය තුළ තිබෙනවා.”

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ සධීර පැතුම් නිශ්ශංක, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා සමග අර්ධ ශතක තුනක් ඉක්මවා ගිය සම්බන්ධතා පැවැත්වීමට සමත් වූයේය.

“මම අපේ පිතිකරුවන්ට කියපු දෙයක් තමයි තරගය ඕවර් 40 න් 42 න් අපිට අවසන් කරන්න බැහැ කියලා. මම ඔවුන්ට කිව්වා අපිට අන්තිම ඕවර් එක දෙක වෙනකන් සටනක් දෙන්නට වෙයි කියලා. ඒ තණතීරුව අලුතෙන් එන පිතිකරුවකුට ඉක්මනට හැඩ ගැසෙන්න පුළුවන් තණ තීරුවක් නොවේ. ඒ නිසා අපි පුළුවන් හැම වෙලාවෙම තනි ලකුණු සහ ලකුණු දෙකේ ඒවා ලබා ගන්න උත්සාහ කළා. විශේෂයෙන් චරිත් අසලංක සමග පන්දුවට පහර දුන් අවස්ථාවේ ඒ උපක්‍රමය අපි ගොඩක් භාවිතා කළා”

තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන විට සධීර නොදැවී ලකුණු 91 ක් ලබා සිටි අතර ශතකය වාර්තා කිරීමට නොහැකි වීම පිළිබඳව කනගාටු වෙනවා දැයි මාධ්‍ය විසින් නඟන ලද පැනයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

“තරගයේ ජයග්‍රහණය තමයි වැදගත් වුණේ. ඒ නිසා ශතකය අහිමි වීම පිළිබඳව කනගාටුවක් නැහැ. ශතකයක් ගන්නවාට වඩා ජයග්‍රහණය වටිනවා. අපි ජයග්‍රහණ පිපාසයෙන් සිටි කණ්ඩායමක්”

නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී සධීර මෙම අදහස් පළ කළේය.
කුෂාන් සුබසිංහ ලක්නව් නුවර සිට

advertistmentadvertistment
advertistmentadvertistment