ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු කිරිමණ්ඩල මාවතේ ඉඩම් විකුණන්න හදනවා

122

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු කිරිමණ්ඩල මාවතේ යාන්ත්‍රික අංශය හා ක්‍රීඩාංගණය ඇතුළු ඒ ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණා දමන්න වර්තමාන පාලන අධිකාරිය සාකච්ඡා කරමින් පවතිනවා යැයි ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ශාඛාවේ එස්. ඒ. එන්. සමන්ත මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (02 වැනිදා) පෙරවරුවේ බොරැල්ල, එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඔහු එහිදී මෙසේ ද කීවේය.

කොළඹ නාගරික බල ප්‍රදේශයේ ඉතා ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් තියෙන මේ සංස්ථාවේ ඉඩම් පෞද්ගලික අංශය විකුණලා. ඒවායේ අතයට ගනුදෙනු සිද්ධ කරලා. ආයතනයට දේපළ අහිමි කරලා. ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ අපේ සංස්ථාවේ සේවකයන්ගේ අනාගතය ආයතනයේ සුරක්‍ෂිතභාවය නැති කරන්නයි. මේවා නොකළ යුතු වැඩ. ආයතනයේ යහපත වෙනුවෙන් ස්ථාවර සම්පත් ඒකරාශී කරලා ආයතනය, සේවකයන් සුරක්‍ෂිත කළ යුතු වුණාට වර්තමානයේ වෙන්නේ දිනෙන් දින ආයතනයේ දෛනික වියදම් කර ගන්න බැරි වෙනකොට ආයතනයේ ස්ථාවර වත්කම් විකුණන එක. එතකොට සංස්ථාවේ සේවකයන්ගේ සුරක්‍ෂිතභාවය අහිමි වෙනවා. මෙමගින් වෙන්නේ සංස්ථාව දිනෙන් දින විනාශ වීම සහ ආයතනයේ සේවකයන්ගේ සුරක්‍ෂිතතාව අහිමි වෙන එකයි.

මේ සම්බන්ධ පැහැදිලි සාක්‍ෂි සහ තොරතුරු අප සතුව තිබෙනවා. ඒ නිසා මෙන්න මේ වැඩසටහන් නතර වෙන්න ඕනෑ. අපි සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කරගෙන මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ මේ දේවල් කරන්න නෙවෙයි. යහපාලන ආණ්ඩුව කාලයේ මේ වගේම සංස්ථාව සතුව තිබුණු කිරිමණ්ඩල මාවතේ ඉඩම්, මුතුරාජවෙල ඉඩම් විකුණන්න හදනකොට අපේ ජාතික නිදහස් වෘත්තීය සේවක සමිතිය මැදිහත්වෙලා මේවා වළක්වා ගත්තා. එහෙම රැකපු ඉඩම් වර්තමාන පාලන අධිකාරිය නැවත සංස්ථාවට අහිමි කරනවා. මෙහෙම වෙනකොට අපට සිදුවෙනවා මේවා රටට කියන්න යැයි ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment