පොලිස් කොමිසම – මානව හිමිකම් කොමිසම විමර්ශන අරඹයි
ඉඩම මිලදී ගැනීමට දැරූ වෑයම ව්‍යර්ථ වීම නිසා මහියංගනය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසක් අභූත චෝදනා නඟමින් නඩු 38ක් පවරා සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කිරීමට පැමිණි පස්දරු මවකගේ හිසට අත්මාංචුවලින් සහ අතින් පයින් පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිලි පිළිබඳව ජාතික පොලිස් කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කොට තිබේ.
පසුගිය ජූලි 17 වැනිදා සිදුවී ඇති එම අමානුෂික පහරදීමෙන් අනතුරුව එම මව පොලිසියට රැගෙන ගොස් රඳවාගෙන සිටියදී අසාධ්‍යවීම නිසා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මහියංගනය රෝහලට ඇතුළත් කොට ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කොට තිබිණි. දින හයක් නේවාසිකව ප්‍රතිකාර ලබාගත් හේරත් මුදියන්සේලාගේ පොඩි කුමාරිහාමි නමැති එම කාන්තාව රෝහලට ඇතුළත් කොට ඇත්තේ මහියංගනය පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරියකගේ නම භාරකාරිය ලෙස නම් කරමින් බවත් පෙරකී පොලිස් සැරයන්වරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඊට පෙර සිදු කළ අඩත්තේට්ටම් රැසක් පිළිබඳව ඇය පැමිණිලි කොට ඇති බවත් මානව හිමිකම් සභා ආරංචි මාර්ග පවසයි. හිංසනයට ලක්වූ එම කාන්තාව මහියංගනය ජාතික පාසල අසල පිහිටි අක්කර පහක ඉඩම් කොටසක සිය දරුවන් සමග ජීවත්වී ඇති බවත් 1989 වසරේදී රජයේ ව්‍යාපෘතියක් සඳහා එම ඉඩම පවරා ගැනීම නිසා ඇයට වෙනත් ස්ථානයක පිහිටි පෙරකී ඉඩම් කොටස ලබාදී ඇති බවත් පැමිණිල්ලෙන් පවසයි.
එහි පදිංචිව සිටිමින් ඉඩමේ කෙළවරේ වැලි ගොඩ දැමීම සිදුකර ඇති බවත් 2006 වසරේ ජූලි 25 වැනිදා මහියංගනය පොලිසියට අනුයුක්තව සේවය කළ පෙරකී පොලිස් සැරයන්වරයා ප්රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම ඉඩම මිලදී ගැනීමට ඉල්ලීම් කර ඇතත් එයට අකැමැත්ත පළකිරීම නිසා තර්ජනය කළ පොලිස් නිලධාරියකුට ඇය ඉදලකින් පහරදී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
එම සිද්ධියෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ඇයට තර්ජනය කළ පොලිස් සැරයන්වරයා වෙනත් පොලිසියකට මාරු කර යවා ඇති බව පැවැසේ. 2014 වසරේදී එම සැරයන්වරයා මහියංගනය පොලිසියට යළි සේවයට පැමිණීමෙන් පසුව තවත් පිරිසක් සමග පැමිණ එම කාන්තාව වැලිගොඩ දැමීම සිදු කළ තොටුපළින් වැලිගොඩ දැමීම ආරම්භ කොට තිබූ බවත් සිය ඉඩම හරහා පැමිණ සිදු කරන එම අයුතු ක්‍රියාව වැළැක්වීම සඳහා ඇය එම මාර්ගය වසා දමා ඇති අතර ඉන් අනතුරුව අභූත චෝදනා නඟමින් මත්ද්‍රව්‍ය නඩු දෙකක් ඇතුළු නඩු 38ක් පැවරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක