ඉතාලියේ පොම්පෙයි නගරයේ විනාශය ගැන හෙළිදරව්වක්

597

ක්‍රිස්තු පූර්ව 79 දී ලොවම කම්පාවට පත් කරමින් ගිනි කඳු පිපිරීමකින් විනාශ වී ගිය ඉතාලියේ පොම්පෙයි නගරයේ තිබී හසු වූ මළ සිරුරු හරහා එම ගිනි කඳු පිපිරීම සිදු වූ අවස්ථාවේ පොම්පෙයි නගරවාසීන්ගේ හැසිරීම පිළිබඳව කරුණු හෙළිදරව් කරගැනීමට බටහිර පර්යේෂකයන් පිරිසක් විසින් කටයුතු කරගෙන යන බව විදෙස් මාධ්‍ය පවසයි.

විසුවියස් ගිනි කන්ද පුපුරා යෑම හේතුවෙන් විශාල නගරවාසීන් පිරිසක් සමග පොළවට වැළලී ගිය ඉතාලියේ පොම්පෙයි නගරයේ තිබී සොයා ගත් මළ සිරුරු හරහා ‘ඩී. එන්. ඒ’ ජාන තාක්ෂණය යොදා ගනිමින් ගිනි කඳු පිපිරීම සිදු වූ අවස්ථාවේ නගරයේ පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව මෙන්ම එම අවස්ථාවේ නගරය කෙබඳු තත්ත්වයක තිබුණේද යන්න පිළිබඳව හෙළිදරව් කරගැනීම මෙම පර්යේෂකයන්ගේ අරමුණ බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම කාර්යය පර්යේෂකයන්ට පහසු වී ඇත්තේ විනාශ වී ගිය පොම්පෙයි නගරයේ තිබී සොයා ගත් ගිනි කඳු පිපිරීම සමග විසි වී ගිය උණුසුම් ලාවා (ලෝදිය) සිරුරු මත පතිත වීමෙන් මියගිය නගරවාසීන්ගේ සිරුරුවල ඇති ඩී. එන්. ඒ. අණු ඝන වූ ලාවා හේතුවෙන් ආරක්ෂා වී තිබීම බව පර්යේෂණයට සහභාගි වන දකුණු ඉතාලියේ සලෙන්ටෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ආචාර්ය සෙරීනා විවා පවසා තිබේ.

1933 වසරේදී පොම්පෙයි නගරයෙන් සොයා ගත් එසේ ඝන වූ ලාවා වලින් වැසී ගොස් තිබූ මළ සිරුරු දෙකක අස්ථිවල තැන්පත්ව තිබූ ‘ඩී. එන්. ඒ.’ ආශ්‍රයෙන් පර්යේෂකයන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ ක්‍රිස්තු පූර්ව 79 අගෝස්තු 24 වැනිදා පොම්පෙයි නගරයේ සිදු වූ ගිනිකඳු පිපිරීමෙන් පසු ජීවිතාරක්ෂාව පතා පලා නොගොස් පැවති රෝග තත්ත්වයක් හේතුවෙන් අදාළ පුද්ගලයන් දෙදෙනා ඔවුන් සිටි ස්ථානවලම සිට ඇති බවයි. එම ගිනි කඳු පිපිපිරීම සිදු වන අවස්ථාවේ අදාළ පුද්ගලයන් දෙදෙනා අසුන් ගෙන ආහාර ලබා ගනිමින් සිටි බවටද පර්යේෂකයන් අනාවරණය කරගෙන ඇත. දැනට මෙම මළ සිරුරු හරහා සොයාගෙන ඇති තොරතුරුවලට අනුව විසුවියස් ගිනි කන්ද පිපිරී යෑමත් සමගම ඉන් නිකුත්ව ඇති දැවැන්ත අළු හා ලාවා තොගය හේතුවෙන් පොම්පෙයි නගරය විනාඩි 20කට වඩා අඩු කාලයකදී විනාශ වී ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment