ඉතාලියේ වීදියක චිත්‍ර අඳින අපේ රටේ සිනමා කටවුට් ඇඳපු සෙනෙවි

161

නාපෝලියට ගිය අපේ රණවිරු සැමරුම් සිතුවම් දැක්ම

යුද ජයග්‍රහණයෙන් පසු ප්‍රථම රණවිරු සැමරුම් චිත්‍ර ප්‍රදර්ශනය…

චිත්‍ර ප්‍රදර්ශනයෙන් ලැබුණු සියලු මුදල් ආබාධිත රණවිරුවන්ට…

ඉතාලි ජාතිකයෝ චිත්‍ර දැකලා පුදුම වුණා, සමහර අය දුක් වුණා…

මුලින්ම චිත්‍ර ඇඳලා තියෙන්නෙ සරසවිය පුවත්පතට…

කොටි ත්‍රස්තවාදය පරාජය කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරන සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්විණි. ඒ තිස් අවුරුද්දක් පුරාවට යුද ගිනි මැද දැවෙමින් තිබුණු මෙරට නොවේ. ඈත දුර රටක ඉතාලියේ නාපෝලි නගරයේ වීම සුවිශේෂත්වයකි. පසුගිය මැයි මස 21 වැනිදා මෙරට විවිධ ප්‍රදේශවල රණවිරු සැමරුම් පැවැත්වූ පසුබිමෙක නාපෝලි නගරයේ පියස්ස මස්සීනි සාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේ දී ‘ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක්’ පවත්වා තිබුණේ සෙනෙවිරත්න දසනායක ය.

හේ මෙරට දක්‍ෂ කලාකරුවෙකි. මාරවිල, කොස්වාඩිය ප්‍රදේශයේ ජීවත් වූ ඔහු පාසල් වියේ සිටම චිත්‍ර ඇඳීමට අති දක්‍ෂයෙකි. පාසල් අධ්‍යාපනයෙන් පසු සරසවිය පුවත්පතට නළු, නිළියන්ගේ පින්තූර ඇඳීම විනෝදාස්වාදය කරගෙන සිටි හේ පසුව සිනමා සමාගමට සම්බන්ධ වූයේ ය. ‘වැලිකතර’ චිත්‍රපටයේ ‘කටවුට්’ අඳිමින් සිනමා බෝඩ් ඇඳීම ආරම්භ කළ සෙනෙවිරත්න දසනායක වසර හයක් පමණ කාලයක් සිනමා බෝඩ් ඇඳීම වෘත්තීය කරගෙන සිටියේය. සිංහල, දෙමළ, හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට රාශියක බෝඩ් සිතුවම් කළ සෙනෙවිරත්න දසනායකට ‘වැලිකතර’ චිත්‍රපටයට ඇඳපු ප්‍රථම බෝඩ් එක සම්බන්ධයෙන් ඇත්තේ නොමැකෙන මතකයකි.

“සිනමා බෝඩ් එකකට මම මුලින්ම ඇන්දෙ ගාමිණී ෆොන්සේකයි, ජෝ අබේවික්‍රමයි එකට ඉන්න පින්තූරයක්. කහ පාට පසුතලයක ඇඳපු ඒ චිත්‍රය එවකට සිනමා සමාගමේ සභාපතිව සිටි කේ. ගුණරත්නම් මහත්තයා හරියට අගය කළා. ඒත් ටික කාලයක් යනකොට ප්‍රස්ථාර ක්‍රමයට ඇඳීම මට එපා වුණා. පස්සෙ මම වෙළෙඳ දැන්වීම් අඳින ආයතනයකට සම්බන්ධ වුණා. එම ආයතනයේ වැඩි කාලයක් රැඳුණේ නෑ. ඒ විදිහට වෙළෙඳ දැන්වීම් අඳින ආයතන කිහිපයක වැඩ කළා. අන්තිමේ මගේ කියලා ‘සෙනෙවි බතික්’ නමින් ව්‍යාපාරයක් ආරම්භ කළා. ව්‍යාපාරය වේගයෙන් දියුණු වුණා. සේවකයො සීයක් විතර වැඩ කළා. එවකට රටේ පැවැති යුද වාතාවරණයත් එක්ක ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ විශාල කඩා වැටීමකට ලක් වුණා. අපේ ආයතනයෙන් ලැබෙන ආදායමත් අඩු වෙන්න ගත්තා. ඊට පස්සෙ තමයි අපි ඉතාලියට එන්න තීරණය කළේ. මම ඉතාලියට ආවේ 2000 වර්ෂයේ දී…” ඉතාලියේ නාපෝලි නගරයේ සිට දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ සෙනෙවිරත්න දසනායක ‘රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයෙන්’ ඔබ්බට ගොස් ඔහුගේ ජීවිතයේ නොමැකෙන මතක එකිනෙක විස්තර කළේය. දුරකථනය විසන්ධි කිරීමට සිත් නොදෙන තරමට ඒ කතාව රසවත්ය. ඔහුගේ සුරතින් ඇඳපු රණවිරු චිත්‍ර ගැන විමසා බැලීමට අමතක වෙන තරමට සෙනෙවිරත්න දසනායකගේ අතීත මතක දෙසවනට මිහිරි විය. එහෙත් නොසිතූ විරූ ලෙස හටගෙන ඇති අසනීප තත්ත්වයෙන් පසු අද ගත කරන ජීවිතය ගැන හේ මතක් කරන විට සතුට දියවිණි. සිතුවම් අඳින වෙව්ළන වමතට දකුණතින් වාරු දීගෙන රණවිරු චිත්‍ර සියයක් නිර්මාණය කළ අයුරු හේ වචන කරනවිට ඔහු කෙරෙහි ඇති වූයේ අසීමිත ගෞරවයකි.

තිස් වසරක් පුරාවට කොටි ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු බෝම්බවලට ගොදුරු වී මිය ගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, මිනීමරු කොටි වෙඩික්කරුවකුට ගොදුරු වී දැයෙන් සමුගෙන ගිය ලක්‍ෂ්මන් කදීරගාමර්, මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියකුගේ බෝම්බයකට ගොදුරු වී මියගිය ඉන්දීය දේශපාලන නායකයෙක් වූ රජීව් ගාන්ධි ඇතුළු සිංහල, ද්‍රවිඩ දේශපාලන නායකයන් මෙන්ම විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, යුද බිමේ දී අත් පා අහිමි වී ජීවිත කාලයම ආබාධිතයන් බවට පත් වී සිටින වීරෝදාර රණවිරුවන් විශාල සංඛ්‍යාවකගේ පින්තූර සෙනෙවිගේ වෙව්ළන ඇඟිලි තුඩුවලින් සිතුවම් කර තිබේ. එමෙන්ම ජාත්‍යන්තරයේ කොටි ගෙරවිලි ඉදිරියේ එංගලන්තයේ දී නිර්භීතකම පෙන්නූ බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙන්ම මෙරට විශ්වවිද්‍යාල ළමයි කිහිපදෙනකුගේ ගැරහුමට ලක් වූ රණවිරුවන් පිරිස ඇතුළු මෙරට ඇති වූ ව්‍යසන තත්ත්වයන්වල දී අසරණ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට රට රකින විරුවන් කළ වික්‍රමයන් සෙනෙවිගේ තෙලි තුඩුන් අපූරුවට සිත්තම් වී තිබිණි. ප්‍රථම වතාවට යුද බිමේ දී දිවි පිදූ සෙබළිය ඉරේෂා නිල්මිණී ද සිල්වාගේ පින්තූරය ඇතුළුව වසරක් පුරාවට අසීරුවෙන් සිත්තම් කළ පින්තූර සියයකට ආසන්න සංඛ්‍යාවක් ‘රණවිරු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට’ ඉදිරිපත් කර තිබිණි. නාපෝලි පියස්ස මස්සීනි ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේ පැවැති එම චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ශ්‍රී ලාංකීකයන් මෙන්ම ඉතාලි ජාතිකයන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණීම ද විශේෂත්වයකි.

ඉතාලියේ වීදියක චිත්‍ර අඳින අපේ රටේ සිනමා කටවුට් ඇඳපු සෙනෙවි
ඉතාලියේ වීදියක චිත්‍ර අඳින අපේ රටේ සිනමා කටවුට් ඇඳපු සෙනෙවි

“අපි හිතුවට වඩා ප්‍රදර්ශනය සාර්ථක වුණා. එක දවසකට දෙදහසකට ආසන්න පිරිසක් ප්‍රදර්ශනය නැරඹුවා. ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයා වැඩිපුර දවසක් චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න කියලා පාසලේ ළමයින්ට විතරක් නරඹන්න සැලැස්සුවා. ඉතාලි ළමයි වගේම චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සියලුම ඉතාලි ජාතිකයන් පුදුමාකාර උනන්දුවකින් චිත්‍ර දිහා බලාගෙන හිටියා. සමහර අය චිත්‍ර දැකලා පුදුම වුණා. දෑත්, දෙපා අහිමි තරුණ විරුවෙක් රෝද පුටුවක සිටින පින්තූරය දැකලා ඉතාලි ජාතිකයන් දුක්වෙන හැටි අපි දැක්කා. ඉදිරිපත් කර තිබුණු සියලුම චිත්‍ර, ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණ, ලංකාවේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය ගැන ඉතාලි ජාතික භාෂා පරිවර්තකයෙක් විසින් සවිස්තරාත්මකව පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීමත් එක්ක ඉතාලි ජාතිකයන් සිංහල හමුදාව ගැන ලොකු ප්‍රසාදයකින් කතාබහ කරන අයුරු අපිට දැනුණා. සමහර ඉතාලි ජාතිකයන් පැය ගණන් ප්‍රදර්ශනය නැරඹුවා. ප්‍රදර්ශනය නැරඹූ සමහර සිංහල මිනිස්සු චිත්‍ර දිහා බලාගෙන අඬනවා දැක්කා. දැනට ඉතාලියේ ජීවත් වන විශ්‍රාමික යුද හමුදා සෙබළියක් ප්‍රදර්ශනය නරඹින් ඉකි ගසා හඬමින් මගේ දෑත් බදාගෙන ස්තුති කළා. ඒ වගේම නාපෝලියේ ඉන්න සිංහල මිනිස්සු ළඟ ජාතික හැඟීම ඉහළින්ම තියෙනවා…”

“උතුරු ඉතාලියේ මිලානො, නාපෝලි, රෝමය පසු කරගෙන දකුණට යනකම් සිංහල මිනිස්සු විශාල වශයෙන් ජීවත් වෙනවා. දකුණු ඉතාලියේ සිසිලියා දූපතේ කොටි හිතවාදී දෙමළ ජනතාව බහුතරය ජීවත් වෙනවා. අදටත් එල්.ටී.ටී.ඊ.යට මුදල් එකතු කරනවා. ඒත් නාපෝලිය සිංහල ගමක්. කොහේ ගියත් සිංහල ගෙවල්. සිංහල වෙළෙඳ සැල්. ලංකාවේ නොයෙක් ප්‍රදේශවල සිංහල මිනිස්සු මේ නගරයේ ඉන්නවා.

ඔවුන්ගෙන් බහුතරය චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ආවා. චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ඉතාලි ජාතිකයන් වගේම සිංහල ජනතාව හැකි උපරිමයෙන් ආධාර කළා. රුපියල් ලක්‍ෂ දොළහකට ආසන්න මුදලක් අපිට ලැබිලා තියෙනවා. ඒ ශතයක්වත් අපි ගන්නෙ නෑ. ඒ සියලුම මුදල් යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්ව අසීරුවෙන් ජීවත්වන පවුල් දෙකකට දෙන්න තීරණය කරලා තියෙනවා…” සෙනෙවිරත්න ද දැන් ආබාධිතයෙකි. හැත්තෑ එක්වැනි වියෙහි පසුවන වියපත් මිනිසෙකි. විශ්‍රාම වැටුපෙන් ජීවත්වන හේ ඉතාලියට ගිය කාලයේ සිට අදට ද නාපෝලි නගරයේ විදේශීය සංචාරකයන් රොද බැඳ සිටින වීථියක චිත්‍ර අඳින්නේය. ඉතාලියේ පැරැණි සිනමා නළු,නිළියන්ගේ කළු, සුදු චිත්‍ර අඳින සෙනෙවිරත්නව නොදන්නා කෙනෙක් නාපෝලියේ නැති තරම්ය. සත්ත්ව හම්වල අඳින එක චිත්‍රයකට ලංකා මුදලින් රුපියල් දහහත්දහසකට නොවැඩි මුදලක් අය කරන බව ද හේ අපට පැවසීය. එමෙන්ම නාපෝලි බෞද්ධ විහාරස්ථානයේ මෙන්ම විවිධ ආයතනවලට විවිධ පුද්ගලයන්ට චිත්‍ර ඇඳපු බව ද ඔහු පැවසුවේය.

“ඒත් දැන් නම් ඉස්සර වගේ චිත්‍ර අඳින්න බෑ. චිත්‍ර නොඇන්දට ජීවත් වෙන්න පුළුවන් තරමේ විශ්‍රාම වැටුපක් මට ලැබෙනවා. මම ඉතාලියට ඇවිත් වැඩ කළේ ආහාර නිෂ්පාදන ආයතනයක කම්කරුවෙක් විදිහට. ආරම්භයේ ඉඳලා හොඳ වැටුපක් ලැබුණා. චිත්‍ර ඇඳලත් හම්බ කළා. ඒත් අපි ඉතුරු කරගෙන නෑ. ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට උදව්, උපකාර කරගෙන මමයි, නෝනයි සතුටින් ජීවත් වෙනවා. අපිට හදන්න පරපුරක් නෑ. අපේ පරපුර ලංකාවේ දරුවො. අපිට පුළුවන් උපරිමයෙන් ලංකාවේ දුප්පත් දරුවන්ගේ නැණ පහන් ආලෝකවත් කරන්න උපකාර කරනවා. මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්නත් ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ දහයක් විතර මගෙන් වියදම් වුණා. පැන්ෂන් පඩිය ලැබුණු දවසට බෝඩ් දහයක්, ඊට සරිලන තීන්ත අරගෙන ටික, ටික තමයි චිත්‍ර ඇන්දේ. ඒ විදිහට මාසෙන්, මාසයට බඩු ටික, ටික අරගෙන චිත්‍ර ටික ඇන්දා. නිශාන්ත සෙනරත්, ලාල් ගමගේ ඇතුළු මෙරට ජීවත් වෙන ලංකාවේ කිහිපදෙනෙක් ප්‍රදර්ශනය සාර්ථක කරගන්න උපරිමයෙන් උදව් කළා. ඔවුන්ගේ කැපවීම නැති නම් මේ ප්‍රදර්ශනය මෙච්චර සාර්ථක කරගන්න බැරි වෙනවා…” සෙනෙවිරත්න දසනායකගේ ආදරණීය බිරිඳ නිශාන්ති ප්‍රනාන්දු ය. ඇගේ උපන් ගම ද මාරවිලය. සැප, දුක එක සේ විඳ දරාගෙන සෙනවිරත්නගේ සෙවනැල්ල සේ සිටින නිශාන්ති, සිතුවම් ඇඳීමට ලබාදෙන සහයෝගය වචනයෙන් විස්තර කිරීමට නොහැකි බව සෙනෙවි අප සමග පැවසුවේ ය. ඔහු සමග සාකච්ඡා කරන මොහොතේ ද නිශාන්ති ළඟින් හිඳගෙන අමතක වන අතීත මතක මෙන්ම පැවැති චිත්‍ර ප්‍රදර්ශනය සම්බන්ධයෙන් බොහෝ කරුණු මතක් කරදෙන අයුරු අපට ඇසිණි. එමෙන්ම ඇය, තම ආදරණීය සැමියාගේ රෝගී තත්ත්වය ගැන අප සමග වචන කිහිපයක් කතා කිරීමට ද අමතක නොකළා ය.

“පහුගිය කාලේ දවසක හිටි හැටියේ මහත්තයගේ එක අංශයක්ම පණ නැතිව කට පැත්තට ගිහින් තිබුණා. ඉතාලි රජයේ රෝහලකට ඇතුළත් කරලා ප්‍රතිකාර කළා. ඒ වෛද්‍යවරු දෙවිවරු වගෙයි. පුදුමාකාර කාරුණික බවක් තියෙන්නෙ. මහත්තයව සනීප කරලා ඇවිද්දවලා තමයි ගෙදර එව්වේ. පැත්තකට ගිහින් තිබුණු කට යථාතත්ත්වයට පත් කළා. නොණ්ඩියක්වත් නැති විදිහට පණ නැති කකුල සනීප කළා. ඒත් පණ නැති අතේ වේව්ළීම නැති වුණේ නෑ. තවම බෙහෙත් බොනවා. ඒ සියලුම බෙහෙත් නොමිලේ. ඉතාලියේ සෞඛ්‍ය සේවය නම් ඉස්තරම්. කියන්න වචන නෑ. අද මහත්තයා මේ තත්ත්වයෙන් ඉන්නෙ ඉතාලි රජයටත්, වෛද්‍යවරුන්ටත් පින්සිද්ධ වෙන්න. සෙසු රාජ්‍ය ආයතනවලත් නිලධාරීන් කාරුණාවන්තයි. ජාතික, විජාතික කියලා නෑ. හැමෝටම එක වගේ සලකනවා. ඒ වගේම ජීවත් වෙන්න හරිම පහසුයි. ලංකාවේ වගේ විශාල ජීවන වියදමක් නෑ. ගැටලුවකට තියෙන්නේ උණුසුම් කාලෙට ගින්දර වගේ රස්නෙයි. සීතල කාලෙට දරාගන්න බැරි තරමට සීතලයි…” නිශාන්ති පැවසූ ඒ වචන ටික ද පෙළගැසෙන කතාවට ඇවැසිය. එහෙත් ඇයගේ කතාවට තව ඉඩ දිය නොහැකි. එහෙයින් මම නැවත සෙනෙවිරත්නට පැනයක් යොමු කළෙමි.

“රණවිරු චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න හේතු වුණේ මොකක්ද…”

ඉතාලියේ වීදියක චිත්‍ර අඳින අපේ රටේ සිනමා කටවුට් ඇඳපු සෙනෙවි

‘අට පාස් ආමිකාරයෝ කියලා කැම්පස් ළමයෙක් රණවිරුවන්ට නරක විදිහට කතා කරන වීඩියෝ එකක් මම දැක්කා. ඒ වචන ටික කිව්වේ රැල්ලට දුවන නූගත් තරුණයෙක් නෙමෙයි, විශ්වවිද්‍යාල තරුණයෙක්. යුද්දෙ කාලෙ ලංකාවේ මිනිස්සු විඳපු දුක දන්න කෙනෙක් නම් එහෙම කතා කරන්නෙ නෑ. ඒත් තරුණ පරම්පරාවට කොටි ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය ගැන හරි හැටි දැනුමක් නෑ. තරුණ වයසෙ රණවිරුවො බංකර්වල හිරවෙලා කරපු ජීවිත කැප කිරීමට දැන් ගෞරවයක් නෑ. යුදබිමේ ඉන්න රණවිරුවො සපත්තු ගලවනකොට හම ගැලවෙනවා කියලා ඉතාලියේ සිංහල සංවිධානය හරහා අපි බෙහෙත් යවලා තියෙනවා. ලංකාවේ මිනිස්සු බේරිලා ඉන්නෙ අට පාස් ආමිකාරයෝ නිසා කියලා හැදෙන පරපුරට කියා දෙන්න ක්‍රමවේදයක් නෑ. ඒ නිසා අපිට පුළුවන් විදිහට අමතක වන බිහිසුණු මතකය අවදි කරමින් අපේ තරුණ පරම්පරාවට දැකබලා ගන්න සලස්වන්න ඕන කියලා මට හිතුණා. මේ චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන සූදානම් වුණේ පහුගිය අවුරුද්දෙ මැයි 21 වැනිදා. ඒත් එවකට ලංකාවේ පැවැති අරගලකාරී පසුබිම තුළ ඉතාලියේ රණවිරු සැමරුම් පවත්වලා ඵලක් නැති බව අපට තේරුණා. මෙවර සමකාමී පසුබිමක චිත්‍ර ප්‍රදර්ශනය පවත්වන්න ලැබුණු නිසා රණවිරුවන්ටත් ගෞවරයක් ලැබුණා. චිත්‍ර ප්‍රදර්ශනයටත් හොඳ ජනප්‍රියත්වයක් ලැබුණා. අපි මේ චිත්‍ර ප්‍රදර්ශනය මෙතැනින් නතර කරන්නෙ නෑ. ලෝකය පුරා අපට පුළුවන් දුරකට අරගෙන යනවා. ඒක ලේසි පහසු කටයුත්ත නෙමෙයි. උනන්දුව, කැපවීම, ජාතික හැඟීම තියෙනවා නම් මේවා ලොකු දේවල් නෙමෙයි…” සෙනෙවිරත්න දසනායකගේ අවසාන වචන කිහිපය අගනේය. උනන්දුව, නොපසුබට වීර්ය ඇති නම් කළ නොහැක්කක් නොවේ.

එවැනි වීර්යවන්ත ජාතිමාමක මිනිසුන් විසින් ඉතාලියේ නාපෝලි නගරයේ පැවැත්වූ මෙරට යුද ජයග්‍රහණයෙන් පසුව පැවැති ප්‍රථම රණවිරු චිත්‍ර ප්‍රදර්ශනය ගැන සටහනක් තැබීමට ලැබීම ද ගෞරවයකි. එමෙන්ම ‘ඉක්මනට මුල අමතක කරන’ මෙරට සමාජයෙන් මැකී යන තිස් අවුරුදු සාපලත් කොටි ත්‍රස්තවාදී යුද්ධය ඉතාලියේ ජීවත්වන සිංහල මිනිසුන්ගේ හෝ මතකයේ රැඳීම වාසනාවකි. වසර විසි, තිස් ගාණක සිට ඉතාලි රටේ ජීවත්වන ඔවුන්ට තිබෙන ‘ජාතික කැක්කුම’ මෙරට බහුතරයකට නොමැතිවීම රටේ කරුමයකි. එමෙන්ම 83 කළු ජූලිය ගැන අවුරුදු පතා චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූ මෙරට යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජාතික සංවිධානයක්, වෙන යම් සංවිධානයක් හෝ චිත්‍ර අඳින සුරත වෙව්ළන සෙනෙවිරත්න වැනි කෘතගුණ ඇති සිංහලයෙක් නොමැතිවීම කොතරම් නම් අභාග්‍යයක් ද? එහෙයින් ඉතාලිය වැනි දුර රටක ජීවත් වෙමින්, රෝගියෙක් ලෙස මේ කළ රණවිරු ප්‍රදර්ශනයට සෙනෙවිරත්න දසනායකට සහ ඔහුට ශක්තියක් වූ සියලුදෙනාට ජාතියක් වශයෙන් අප ස්තුති කළ යුතුය.

එමෙන්ම ත්‍රස්තවාදය පරාජය කොට රට ට නිදහස අත් කර දුන්න ද අදටත් බෙදුම්වාදය පරාජය කිරීමට අසමත්ව ඇති රටක ඉදිරියට ද නාපෝලි නගරයේ පැවැති ‘සිංහල රණවිරු සැමරුම්’ චිත්‍ර ප්‍රදර්ශනයක් මෙරට දී දැකබලා ගැනීමට අවස්ථාවක් ලැබේ ද යන්න අපට ඇත්තේ සැකයකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment