ඉතාලි  රැකියා පෙන්වා  ටෙලි නළුවා කෝටි ගණන් ගරලා

2235

ව්‍යාජ වීසා බලපත්‍ර සකස් කර ඉතාලියේ රැකියා ලබාදෙන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් ඉපයූ චිත්‍රපට ටෙලිනාට්‍ය සහාය නළුවකු මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

තිදෙනකුගෙන් සමන්විත මෙම සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුව සහ කිරිබත්ගොඩ ප්‍රදේශවලදීය.

මෙම කල්ලිය මෙහෙයවූ රංගන ශිල්පියා ටෙලි නාට්‍ය චිත්‍රපට ගණනාවක සහාය නළුවකු ලෙස රංගනයේ යෙදී ඇති අතර මොහු ප්‍රධාන පෙළේ නාලිකා කීපයකම  රැකියාව කළ පුද්ගලයෙකි.

ප්‍රධාන සැකකරු ඉතාලියේ රැකියා දෙන බව කියමින් එක් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න මුදලක් ලබාගෙන ඇති බව හෙළිවී ඇත.

මේ වනවිට මෙම සංවිධානාත්මක කල්ලියට ගොදුරුවූ පුද්ගලයන් 20කට ආසන්න පිරිසක් අවිස්සාවේල්ල ඇතුළු පොලිස් ස්ථාන කීපයකට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ප්‍රධාන සැකකරු කැසිනෝ ක්‍රීඩාවට තදින් ඇබ්බැහි වූවකු වන අතර මොහු ඇතැම් දිනවල රුපියල් කෝටියක පමණ මුදලක් ඔට්ටු තබමින් කැසිනෝ ක්‍රීඩාවේ නිරතවී ඇති බව පොලිසිය පවසයි.

මෙම සංවිධානාත්මක කල්ලියට හසුවූ පුද්ගලයන් විශාල පිරිසක් අවිස්සාවේල්ලෙන් වාර්තා වන නිසා විමර්ශන කටයුතු සඳහා ඔවුන් අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇත.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment