ඉතා ඉක්මණින් රටට ඉඩම් පරිහරණ ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි

246

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ආචාර්ය ලලිතා දිසානායක ගොඩමුන්න

ශ‍්‍රී ලංකාව ඉදිරි වසර කිහිපය තුළ දැඩි ආහාර අර්බුදයක් අභියස සිටින බවට අනතුරු අඟවා ඇතිමුත් රටේ සංවර්ධනය උදෙසා ඉදිකිරීම් සිදුවන අන්දම නම් අපූරුය. ලොව නවීන තාක්ෂණය යොදවා නවීන පන්නයට ගොඩනැගිලි ඉදිකරන්නේ නිසි භූමි පරිහරණයක් ඔස්සේ ද යන්න දැන් දැන් විද්වත්හු පර්යේෂණ සිදු කරමින් සිටිති. ඊට මූලික හේතු ලෙස දක්වා ඇත්තේ මේ තාක් රටේ පහත් බිම් පමණක් ජලයෙන් යටවී ගංවතුර, සෝදාපාළු ඇති ව තිබුණ නමුත් මේ වන විට කඳුකරයේද ගංවතුර තත්ත්වයන් ඇති වී තිබීමය. සුළු වර්ෂා තත්ත්වයකදී පවා ගංවතුර තත්ත්වයන් ඇතිවීම හේතුවෙන් ජන ජීවිත අඩාල වන්නේ, නිවාස ඇතුළු වාසස්ථාන ජලයෙන් යටවීම, වගා බිම් ජලයෙන් යටවීම ඇතුළු ව්‍යසනයන් රැුසක් සිදුවෙමින් සොබාවික විපත් සාමාන්‍ය සිදුවීම් ගාණට පත්කරමිනි. මෙය දිගින් දිගටම සිදුවීම මත කෘෂි කර්මාන්තයට එල්ල වන්නේ දැඩි බලපෑමකි. සෙසු කාරණාද ඇතුළුව අක‍්‍රමවත් භූමි පරිභෝජනයේ අතුරු ඵලයක්ද සමග රට තුළ ආහාර අර්බුදයක් ඇතිවීම සමස්ත ජනතාවටම සිදුවන අගතියකි. එබැවින් සංවර්ධන ක‍්‍රියාවලිය සහ අක‍්‍රමවත් භූමි පරිභෝජනය සම්බන්ධයෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ආචාර්ය ලලිතා දිසානායක ගොඩමුන්න මහත්මිය සමග කළ සාකච්ඡාවකි මේ.

ප‍්‍රශ්නය – අක‍්‍රමවත් භූමි පරිභෝජනය එහෙමත් නැතිනම් පරිහරණය යනු කුමක්ද?

පිළිතුර – මිනිසා විසින් භූමිය පරිහරණය කරන ආකාරය භූමි පරිභෝජනය නැත්නම් පරිහරණය ලෙස හඳුන්වනවා. එම පරිහරණය ස්වභාවික සම්පත්වලට හානි කරන ලෙස පරිහරණය කිරීම අක‍්‍රමවත් භූමි පරිභෝජනය ලෙස හඳුන්වන්න පුළුවන්.

ශ‍්‍රී ලංකාවේ වගේම සමස්ත ලෝකයේ භූමි පරිභෝජනය පොදුවේ සෑම පුද්ගලයකුටම බලපෑමක් ඇති කරනවා. යම්කිසි පුද්ගලයෙක් භූමිය පරිහරණය කරන ආකාරය අනුව එය ආහාර සුරක්ෂිතතාවයට දේශ සීමා නම් කිරීමට, දේශපාලන ව්‍යුහයට, ස්වාභාවික උපද්‍රවවලට, කෘෂිකාර්මික කටයුතුවලට, විදේශීය සෘජු ආයෝජනවලට දේශගුණික විපර්යාසයන්ට ඇතුළු සමස්ත සොබාදහමේ ක‍්‍රියාවලියටම බලපෑමක් එල්ල කරනවා.

එය යහපත් බලපෑමක් හෝ අයහපත් බලපෑමක් විය හැකියි. අයහපත් බලපෑමක් සිදුවන සෑම අවස්ථාවකම එය අක‍්‍රමවත් භූමි පරිභෝජනයක්. අතීතයේ ශ‍්‍රී ලංකාවේ භූමි පරිහරණය පිළිබඳ විමසිල්ලෙන් බලන කල ඉතා පැහැදිලිව දක්නට ලැබෙන්නේ රාජ රාජාධින් විහාර පන්සල් ආදිය ඉදිකොට ඇති ක‍්‍රමවත් භූමි පරිහරණයයි. අදට වුණත් ඊට අදාළ සාක්ෂි රටපුරා දක්නට ලැබෙනවා. බොහෝ වෙහෙර විහාරස්ථාන ඉදි කොට ඇත්තේ ගල් තලාවක් මත. ඊට එකම හේතුව සෙසු ඉඩම් කෘෂි කර්මාන්තය වෙනුවෙන් යොදවා මිනිසාගේ ආහාර සුරක්ෂිතතාවය පවත්වාගෙන යාමයි. තවත් විදිහකට බලනවිට දක්නට ලැබෙන්නේ වනාන්තර ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් ගත් වෙහෙසයි.

ප‍්‍රශ්නය – භූමිය අක‍්‍රමවත් ලෙස පරිහරණය කිරීමට සිදු වන්නේ ඇයි…?

පිළිතුර – වර්තමාන ශ‍්‍රී ලංකාව දෙස විමසිල්ලෙන් බලන විට භූමියේ අගය සහ භූමි අවශ්‍යතාවය දැඩිව දැනෙන යුගයක් ලෙස නම් කරන්න පුළුවන්. අතීතයේ ඉඩම් පරිහරණය සහ වර්තමානය ඉඩම් පරිහරණය අතර දැඩි වෙනසක් මේ වන විට දක්නට ලැබෙනවා. අධික ජනගහන වර්ධනයත් සමග මිනිස් තදබදය නාගරික ප‍්‍රදේශවල සැලකිය යුතු මට්ටමෙන් ඉහළ ගොස් තිබෙනවා. ජන ඝනත්වය වැඩි වීමේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස භූමි පරිහරණය වර්ධනය වී තිබෙනවා. වසර 1970 වැනි කාලයේ දී නගරවල වර්ග කිලෝමීටරයක් තුළ ජන ඝනත්වය එකසිය අනූ නව දෙනෙකුට පමණ සීමා වී තිබුණා.

නමුත් මේ වසර 2022 වන විට එය වර්ග කිලෝමීටරයක් තුළ 342 ක පමණ ජන ඝනත්වයක් ඇති බවට දත්ත වාර්තා තහවුරු කොට තිබෙනවා. මෙය කොළඹ, මහනුවර, ගම්පහ, කළුතර වැනි ප‍්‍රධාන නගරවල ඊටත් වඩා වැඩි අගයක් ගන්නා බවක් පෙන්නුම් කරනවා. උදාහරණයක් විදිහට කොළඹ නගරයේ වර්ග කිලෝමීටරයක් තුළ තුන් දහස් හාරසිය දාහතක් වැනි ජන ඝනත්වයක් දක්නට ලැබෙනවා. මහනුවර නගරයේ වර්ග කිලෝමීටරයක් තුළ 715 පමණ ජන ඝනත්වයක් තියනවා. ඒ සියල්ලක්ම සිදුවන්නේ ජනගහන වර්ධනය වැඩිවීම මත.

බොහෝ පුද්ගලයන් තමන්ගේ ප‍්‍රධාන නිවස අවට කෘෂිකාර්මික ඉඩම්, නිවාස ඉදිකිරීම හෝ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම සඳහා යොදවා තිබෙනවා. එපමණක් නොවෙයි, කුඹුරු ඉඩම් ගොඩ කරමින් ඒවා තුළද ජනාවාස ඉදි කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ සියල්ලක්ම අක‍්‍රමවත් භූමි පරිභෝජනය නැතිනම් අක‍්‍රමවත් භූමි පරිහරණය ලෙස නම් කරන්න පුළුවන්.

බොහෝ විට මිනිසාගේ වැරදි ආකල්ප මත මෙලෙස ස්වභාවික සම්පත් අක‍්‍රමවත් ලෙස පරිහරණය කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරය ගැන නොසිතා තමන්ගේ අපේක්ෂා මුදුන්පත් කරගැනීමට කටයුතු කිරීමත් හේතුවක්. නමුත් වගකිවයුතු බලධාරීන් දේශපාලනඥයින් ඇතුළු පරිසර සංවිධාන හෝ පරිසර අමාත්‍යංශය මැදිහත්වීමෙන් ලංකාවාසි සමස්ත ජනතාවගේ අවබෝධය වැඩි කරවීම පිණිස එසේත් නැතිනම් භූමියේ අගය පිළිබඳ ආකල්ප වර්ධනය කිරීම උදෙසා වැඩසටහන් ක‍්‍රියාත්මක කළ හැකිව තිබෙනවා. තමන් විසින් අක‍්‍රමවත් ලෙස භූමිය පරිහරණය කිරීමෙන් සිද්ධ වන්නේ තමන්ට ස්වාභාවික විපත් ඇතිවීමයි යන්න ජනතාවට අවබෝධයක් ලබාදීම බලධාරීන්ගේ වගකීමක්. මේ අතර ස්වාභාවිකව ආරක්ෂා කළ යුතු කෘෂිකාර්මික ඉඩම් කුඹුරු ඇතුළු අගය සහිත භූමිය රැුක ගැනීමට නීති රීති දැඩි කිරීම වගකිව හැකි රජයකම යුතුකමක්. නමුත් එවැන්නක් අද සිදුවන බවට සාධක නැහැ.

මේ වන විටත් එහි ආදීනවයන් සමස්ත ජනතාව භුක්ති විඳිමින් සිටිනවා. මන්ද සුළු වැසි තත්ත්වයකදී පවා කුඩා නගර පවා දැන් ජලයෙන් යට වීමේ ප‍්‍රවණතාව වැඩියි. ලංකාවේ භූමියෙන් තෙත් කලාපයට වියළි කලාපයට සහ අතරමැදි කලාපයට වෙන් වූ ඉඩම් පිළිබඳ දත්ත වාර්තාවක් රජය සතුව තිබෙනවා. මේ පිළිබඳව පුළුල් ලෙස විග‍්‍රහ කොට බැලීමේදී තෙත්බිම් ආශ‍්‍රිතව වැඩි ජනගහනයක් ජීවත්වන බව සනාථ වෙනවා. භූමිය යනු සීමිත සම්පතක්.

ශ‍්‍රී ලංකාවේ භූමියේ 40% ක කෘෂිකාර්මික කටයුතු සිදු වෙනවා. තවත් සියයට තිහක් වනාන්තර වෙනුවෙන් වෙන්කොට තිබෙනවා. ඉතුරු 30% වෙනත් කාර්යයන් වෙනුවෙන් වෙන්කොට තිබෙනවා. වෙනත් කාර්යයන් වෙනුවෙන් වෙන් කොට ඇති ප‍්‍රදේශය ජනාවාස ව්‍යාපාරික ස්ථාන ඇතුළු සෙසු කටයුතු සඳහා යොදාගත යුතු වුවත්, මේ වන විට කෘෂිකර්මාන්තය සඳහා වෙන් කොට ඇති

40% ක ප‍්‍රමාණයෙන් වැඩිකොටසක් ජනාවාස හෝ ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙය අදූරදර්ශී පාලන ක‍්‍රමයේ එක් පැතිකඩක්. මන්ද දිගින් දිගටම මෙවැනි අක‍්‍රමවත් භූමි පරිහරණයන් සිදුවුවහොත් රටේ භූමියෙන් ජනතාවට ලැබෙන්නේ අයහපත් ප‍්‍රතිඵල පමණයි.

ප‍්‍රශ්නය – කුමන නීති රෙගුලාසි පැවතියත් කුඹුරු ඉඩම් ගොඩ කිරීම දිගින් දිගට ම සිදු වනවා. ඒ වළක්වාලීමටවත් නීතිය ක‍්‍රියාත්මක නොවන්නේ ඇයි?

පිළිතුර – එය රටේ සහ රටේ ජනතාවගේ අවාසනාව. කුඹුරු ඉඩමක් කියන්නේ තෙත්බිමක්. තෙත් බිමක ජලය උරා ගැනීමේ ශක්‍යතාවය ඉහළ අගයක් ගන්නවා. නමුත් මේවායේ පාරගම්‍යතාවය මේ වන විට අඩු වී තිබෙනවා. වතුර

උරාගැනීම අඩු වීම නිසා මතුපිට පාංශු සමග ජලය වෙනත් තැනකට ගලාගෙන යනවා. මෙය පාරිසරික හානියක්. උදාහරණ ලෙස රත්නපුර, කෑගල්ල, මහනුවර, ගම්පහ, කොළඹ වැනි නගර සංවර්ධනය කිරීම සඳහා තෙත්බිම් බහුල ලෙස භාවිත කොට තිබෙනවා. නිවාස ගොඩනැගිලි මං මාවත් දීර්ඝ කිරීමේ සීග‍්‍රතාවය ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා. මේ භූමිය අපාරගම්‍යතාවයකින් යුක්ත වීම ඔස්සේ ක්ෂණික ගංවතුර මට්ටම් ඇතිවීමේ තත්ත්වය වළක්වන්න ක‍්‍රමයක් නැහැ. නුවරඑළිය නගරයේ පවා වරෙක ජලයෙන් යට වූයේ මෙවැනි අක‍්‍රමවත් සංවර්ධන කටයුතු නිසා. දිගින් දිගටම සාකච්ඡුා කරන අකුරණ නිතර ජලයෙන් යට වීමට ප‍්‍රධානතම හේතුවත් මේකයි.

රට තුළ සිදුවන තවත් ප‍්‍රබලතම අක‍්‍රමවත් භූමි පරිහරණය සිදුවන්නේ මහවැලි කලාපය තුළ යි. අතීතයේ මහවැලි ඉඩම් බෙදා දෙනු ලැබුවේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන ජනතාව වෙනුවෙන්. නමුත් මේ වන විට පාරම්පරිකව ඔවුන්ගේ දරු පරපුර මහවැලි ඉඩම් ගොඩකරමින් ජනාවාස ඉදි කිරීමේ නියැලී සිටිනවා. මේ තත්ත්වය වළක්වාලීමට රජය පියවර ගන්නේ නැහැ. එය ඉතා දරුණු ව්‍යසනකාරී තත්ත්වයක පෙර නිමිත්තක්.

මහවැලි ඉඩම් ආරක්ෂා කිරීම යන අරමුණ දැන් එහි ඉන්න ජනතාවට මතක නැහැ. මහවැලි ඉඩම් පර්චස්වලට බෙදමින් කට්ටි කරමින් විකිණීමත්, ජනාවාස සඳහා බෙදා දීමත් දැන් දිගින් දිගටම සිදුවෙනවා ඒ අනුව පසේ සාරවත් බව නැතිවී ලවණීකරණය වැඩිවෙමින් කෘෂිකාර්මික අස්වනු අඩු වන තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.

ප‍්‍රශ්නය – ස්වභාවික සම්පත්වලට මෙවැනි ව්‍යසනයන් ඇති වන විට එය ශාක හා සත්ත්ව ප‍්‍රජාවට සෘජුව බලපානවා නේද?

පිළිතුර – මුලින්ම කී පරිදි අක‍්‍රමවත් භූමි පරිහරණයෙන් ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. ශාක හා සත්ව ප‍්‍රජාව ස්වභාවික පරිසරයෙන් සමුගන්නවා. මොකද ඔවුන්ට ජීවත්වීමේ සුදුසු පරිසරයක් නොමැති වීම මත වඳ වී යෑමේ තර්ජනයකට ලක් වෙනවා. ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල වීම මත වියළි කලාපීය ජල හිඟය ප‍්‍රබල ලෙස මතුවීමට ඉඩ තිබෙනවා. ඒ ඔස්සේ සත්ත්ව ප‍්‍රජාවට පමණක් නොවෙයි නැවත එය කෘෂිකර්මාන්තයට සෘජුව බලපානවා. කඳුකරයේ රසායනික පොහොර භාවිතයෙන් හා අක‍්‍රමවත් භූමි පරිහරණයෙන් සෝදාගෙන එන මඩ සහිත ජලය ගංගා ඇළ දොළට එක්වීමෙන් පහත් බිම්වල අධික රසායනික සංයුතියෙන් යුක්ත ජලය සහ පාංශු කාණ්ඩ රැඳී තිබීමක් ද සිද්ධ වෙනවා. ඒ ඔස්සේ අධික රසායනික සංයුතියකින් යුත් ජලය සහ ලවණීකරණය නැවත ප‍්‍රබල ලෙස මතු වෙන ජල හිඟකම ජනතාවට කෘෂිකර්මාන්තයටත් විදුලිබල උත්පාදනයටත් ප‍්‍රබල ගැටලූවක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉතා හොඳ තත්ත්වයේ උසස් ජෛව විවිධත්වයකින් යුත් තෙත්බිම් වනාන්තර බටහිර ගාටිස් සහ ශ‍්‍රී ලංකාවේ ඇති බවට ජාත්‍යන්තරය හඳුනාගෙන තියෙනවා. එය ශ‍්‍රී ලංකාවට විදේශිකයින් පැමිණීමට මහත් රුකුලක්. නමුත් ක‍්‍රමවත් සහ අදූරදර්ශී පාලනය ජන පීඩනය සාරවත් භූමියක් ආක‍්‍රමණය කරන කටයුතු රක්ෂිත වන පද්ධති ඇතුළු ස්වභාවික සම්පත් අනිසි ලෙස පරිහරණය මත විශාල ලෙස සත්ව හා ශාක සංහාරයක් සිද්ධ වෙනවා.

තෙත් කලාපයේ 1915 වසර වනවිට 70% ක පමණ පැවැති කඩොලාන හා කුඩා ශාක මේ වන විට විනාශ වී තිබෙනවා. නාගරික යටිතල පහසුකම් සංවර්ධනය සහ පුළුල් නගර සංවර්ධන ව්‍යාපෘති, අධිවේගී මාර්ගය ඉදිකිරීම් වැඩි ජනාවාස ඉදිකිරීම් සහ නිර්මිත පරිසර පද්ධති කිරීම් මත මේ වන විට රටෙන් වැඩි කොටසක අක‍්‍රමවත් භූමි පරිභෝජනයක් සිද්ධ වෙන බව නැවත මතක් කර දිය යුතුයි.

ප‍්‍රශ්නය – මෙය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා දැන්වත් පැහැදිලි නිසි ක‍්‍රියාමාර්ග ගත නොහැකි ද කෙටියෙන්ම කියතොත් ලංකාවේ මේ වන විට ඉතිරිව තිබෙන සාරවත් භූමි කොටස් හෝ ආරක්ෂා කර ගැනීම සඳහා ක‍්‍රියාමාර්ග ගත නොහැකි ද?

පිළිතුර – ඉතා හොඳ පාලන ක‍්‍රමයක් යටතේ දැනට පවතින ඉඩම් හෝ රැක ගැනීමේ ක‍්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා රජය පුද්ගලික අංශයත් යන දෙකොට්ඨාසයම ඊට මැදිහත් විය යුතුයි. නගරාශ‍්‍රිත කුඹුරු ඉඩම් වැඩි මිලකට විකිණීම වහාම නතර කළ යුතුයි. එසේම කුඹුරු ඉඩම් ගොඩ කිරීම ද වහාම නතර කළ යුතුයි. නාගරික තදබදය අවම කිරීමේ සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා බලය ඇත්තේ මධ්‍යම රජයට. දේශපාලන වාසි තකා නගරයේ කුඩා බිම් කඩවල්වල පවා ගොඩනැගිලි හෝ වෙනත් නිවාස ඉදි කිරීමට අවසර ලබා නොදිය යුතුයි. පරිසර නීති රාමුව ඉඩම් සම්බන්ධයෙන් දැඩි කළ යුතුයි. ඒ අනුව රක්ෂිත භූමි ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් සහ ශාක සත්ව කොටස් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පවතින නීති හෝ දැඩිව ක‍්‍රියාත්මක කළ යුතුයි.

මේ වන විට පාලකයන්ට හෝ නිලධාරීන්ට පරිසර හෝ භූමිය සම්බන්ධයෙන් ඇති නීති පිළිබඳ දැනුමක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එබැවින් මුලින්ම සිදුකළ යුත්තේ මෙම පිරිසට පාරිසරික නීතිරීති පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දීම. පරිසර අංශය හෝ ඉඩම් පරිහරණ අංශ හෝ ස්වභාවික සම්පත් ජෛව සම්පත් ආරක්ෂා කිරීමේ හෝ එවන් ඕනෑම ආයතනයකට සේවකයෙක් බඳවා ගැනීමේ දී ඊට අදාළ නීතිරීති කෙටුම්පත් සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දී රැුකියාවට ප‍්‍රවිෂ්ට කරගත යුතුමයි. ඉදිරියටත් එසේ සිදු නොවුණහොත් මේ රටේ භූමිය හෝ ස්වභාවික සම්පත් ඉතිරි වන්නේ නැහැ. ඒ හැරුණ විට රජයත් පුද්ගලික අංශයත් මේ සඳහා එක්ව කටයුතු කළ යුතුමයි.

කිසියම් ඉදිකිරීමක් හෝ භූමි පරිහරණයක් සම්බන්ධයෙන් අවසර ඉල්ලා සිටින්නේ නම් ඊට අදාළ පාරිසරික නීති පිළිබඳව ජනතාවට අවබෝධයක් සහ ක‍්‍රියාත්මක වීම පිළිබඳ දැනුමක් ලබාදිය යුතුයි. ජල රේඛා පිළිබඳ ඉඩම් නිර්ණය කිරීමක් මේ වනතුරු සිදු වී නැහැ. එබැවින් ප‍්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ පාරිසරික සීමා නිර්ණය සිදු කිරීමයි. මේ සීමා ආශ‍්‍රිතව ගඟට, ඇළට, දොළට, පාරට රක්ෂිතයට හෝ නාගරික භූමියට වෙන්විය යුතු ඉඩම් සීමා නිර්ණයන් ඔස්සේ සලකුණු කොට ඒ සඳහා දැඩි නීති රෙගුලාසි යෙදිය යුතුයි. ශ‍්‍රී ලංකාවේ පරිසර ප‍්‍රශ්න හෝ භූමි ප‍්‍රශ්න විසඳාලීමට නම් ඉඩම් පරිහරණය පිළිබඳ නීති නිසි පරිදි ක‍්‍රියාත්මක විය යුතුයි.

සැකසුම – සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment