ඉතිරි ටික මොළෙන්ම කරමු

1139

රට මේ වන විට ඇත්තේ ඉතා අසීරු තැනකය. එක පැත්තකින් ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ සාමාන්‍ය ජන ජීවිතය එහෙම පිටින්ම කඩා වැටී ඇත. අනෙක් පැත්තෙන් දැඩි දේශපාලන අස්ථාවරත්වයකට රට පත්ව ඇත. මේ නිසා ජනතාව දැඩි අපේක්ෂා භංගත්වයක පසුවේ.

අරගලකරුවන් බලාපොරොත්තු වූ ආකාරයට ඊයේ (14) වනතුරුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී නොසිටි අතර, ඔහු මේ වන විට හොර රහසින් පැන ගොස් රටින් බැහැරව ජීවත් වේ. දැන ගන්නට ඇති පරිදි ඔහුගේ ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත ලිඛිතව ලබාදී ඇති බව කියනු ලබන නමුත් කථානායකවරයා එය සනාථ කරන්නේ නැත. අරගලකරුවන්ගේ තවත් ඉල්ලීමක් වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ තනතුරෙන් ඉල්ලා අස්වීම වෙනුවට, අගමැති තනතුරේ සිටිමින්ම ජනාධිපති තනතුරේ වැඩබැලීම ද ඔහු සිදුකරන නිසා අරගලය තව තවත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, අග්‍රාමාත්‍ය කාර්යාලය පවා දැඩි සටනක් දී අරගලකරුවන් විසින් අත්පත් කරගන්නා ලදී. ඔවුන්ගේ එකම ඉල්ලීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම තනතුරු අතහැර යෑම අත්‍යවශ්‍ය බව පවසන නමුත් ඒ කාරණා දෙකම තවමත් ඉටුවී නැත.

මේ දේශපාලන අස්ථාවරත්වයේ ඍජු බලපෑම ඇත්තේ නැවත ජනතාවටමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගැනීමට නියමිත එකඟතා දිනෙන් දින කල් යන බැවින් ඉන්ධන, ගෑස්, පොහොර ඇතුළු රටට අත්‍යවශ්‍ය දෑ ලබාගැනීමේ ප්‍රශ්නය මොහොතින් මොහොත උග්‍රවන බව පෙනේ.

එසේම, අරගලයේ ජයග්‍රහණ බෙදාගැනීමට කටයුතු කරන කණ්ඩායම් හා රටේ බල පෙරළියක් ඇතිකිරීම සඳහා විවිධ දේශපාලන කණ්ඩායම් විසින් ගෙන යනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන් දේශපාලනය පොරපිටියක් බවට පත්වෙමින් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. නොහොත් බොහෝ කණ්ඩායම් හෝ දේශපාලන පක්ෂ මේ අව් අස්සේ බොර දියේ මාළු බෑමක් සිදුකරනු දකින්නට ලැබේ.

රටට මේ මොහොතේ සැබෑ දේශපාලන වෙනසක් හා ක්‍රමවේදයේ වෙනසක් (System Change) අවශ්‍ය බව සැබෑය. ඊට මේ ජනතා අරගලය වැදගත් මෙහෙයක් දැනටමත් ඉටුකර ඇත. රට ඉල්ලන සැබෑ වෙනස සිදුවන ඊළඟ මොහොත දක්වා අරගලය ජීවමාන විය යුතුව තිබිය යුතු අවස්ථාවක රට දැන් පවතී. නමුත්, දේශපාලන අවස්ථාවාදී බව නිසා සහ සැලසුමක් නැතිව උද්වේගකර බව නිසාම සිදුකරන ඇතැම් ක්‍රියා නිසා අරගලය අලවී යන තැනට වැඩ සිදු වුවහොත් මාස 3 කට වැඩි කාලයක් තිස්සේ සිට කරන ලද ජනතා ජයග්‍රහණ ගඟට කැපූ ඉණි මෙන් සැඟවී යන්නට ඉඩ තිබේ. පාර්ලිමේන්තුව අසලදී සිදුව ඇති විරෝධතාව සහ එහිදී යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී ඔවුන්ගේ අවි උදුරාගෙන යෑම එවන් නොමනා කටයුත්තකි. එබැවින් මේ මොහොතේ අරගලයට සැබෑ නායකත්වයක් ලැබිය යුතු වනවා සේම, එම නායකත්වය තුළ අරගලයේ අපේක්ෂා සාක්ෂාත් කරගැනීම සඳහා අරගලය මෙහෙයවීම ද අරගල නායකත්වයට පැවරෙන භාරදූර වගකීමකි. ඒ සඳහා මොහොතක්වත් ප්‍රමාද නොවිය යුතුය. මන්ද ලෝක භූ දේශපාලනය විසින් හා අවස්ථාවාදී දේශපාලකයින් හා එවන් දේශපාලන ව්‍යාපාර ද මේ දෙස ඇස ගසාගෙන සිට අරගලයේ ජයග්‍රහණ උදුරා ගත හැකි වන නිසා ය.

එම නිසා වඩා හොඳ සැලසුමකින් යුක්තව, ඉතා හොඳ ඉවසීමකින් හා වඩා හොඳ සංයමයකින් යුක්තව අරගලයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්නට කටයුතු කරන මෙන් අරගල නායකයන්ගෙන් ඉල්ලා සිටින්නට අප කැමතිය.

රටට අද අවශ්‍යව ඇත්තේ පළමු කොටම ජාත්‍යන්තරය පිළිගන්නා, ස්ථාවර පාලනයකි. එසේම, රටට ලැබෙන මුදල් හා ආධාර මෙන්ම, රටේ මුදල් හා සම්පත් අවභාවිත නොකරන, අල්ලස, දූෂණය, හොරකම, මැරකම, වංචාව නැති සැබෑ සංවර්ධන පාලන ව්‍යුහයකි. ඒ සඳහා පළමුව පාලකයින් ආදර්ශය සැපයිය යුතු අතර, ඊට ගැළපෙන නිලධාරී හා රාජ්‍ය සේවක පද්ධතියක් රට තුළ නිර්මාණය කරගැනීම ද අවශ්‍යය. මන්ද දැන් සිටින මේ සියල්ලෝම දූෂිතයින් ලෙස සැලකෙන නිසාය. එබැවින් රට ඉල්ලන, ජනතාව ඉල්ලන ඒ විප්ලවය රටට ලැබිය යුතුම ය. ඒ සඳහා වූ ජනතා නැගිටීමට අප හිස නමා ආචාර කරන අතර, ඒ විප්ලවය සාක්ෂාත් වන තුරු අරගලය නිර්පාක්ෂික හා අව්‍යාජ වීම වැදගත් වන අතර, දූෂිත පාලකයින් එක් පිලකත්, අරගලය හා අරගලකරුවන් එක් පිලකත් යන පිල් දෙක හැරෙන්නට තවත් පිල් බෙදීමක් සිදු නොවිය යුතුම ය. එනම්, පොදු සතුරා හඳුනාගෙන ඊට පහරදීම හැරෙන්නට අරගලයට මේ මොහොතේ තවත් න්‍යාය පත්‍ර තිබීම අවශ්‍ය නොවන බව අපගේ අදහසයි. අප අපේක්ෂා කළ රට තනන්නට හැක්කේ එසේ එක්සත්ව හා එක්සිත්ව කටයුතු කිරීමෙන් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment