ඉතිහාසගත ලියුමක් සමග සතියක්

383

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉතාමත්ම තීරණාත්මක සිදුවීම් කිහිපයක් සිදු වූ දින කීපයක් ලෙස පසුගිය සතියත් ගෙවීගොස් අවසන්ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට එරෙහිව මේ රටේ විවිධ වෘත්තිය සමිති, ශිෂ්‍ය සංවිධාන, කතෝලික හා ඉස්ලාම් ආගමික ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළේ මීට මාස ගණනාවකට පෙර පටන් වූවත් ඒවා ක්‍රමානුකූලව හා විධිමත්ව පෙළ ගැහෙන්නට වූයේ “ගෝඨා ගෝ හෝම්” නමින් ආරම්භ වූ උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාන්විතය ඔස්සේ බව පැහැදිලිය. මාර්තු 31 වැනි දා රාත්‍රියේ සිදු වූ මිරිහානේ වූ ජනාධිපතිවරයාගේ නිවස වටලෑමේ සිද්ධිය මේ සියල්ලෙහි කේන්ද්‍රස්ථානයක් විය.

ඒ වන විට රටපුරා බුර බුරා ඇවිළෙමින් තිබූ ගින්නක් බඳු ගෑස් පෝලිම්, ඩීසල් පෝලිම්, පෙට්රල් පෝලිම් හා ලාම්පු තෙල් පෝලිම් නිසා මේ රටේ මධ්‍යම පන්තිය ද ගොවි කම්කරු පන්තිය මෙන්ම පාරට බැස තැනින් තැන අසංවිධානාත්මක ව සංවිධානය වූ උද්ඝෝෂණවලදී
ගෝඨාභය ගෙදර යා යුතු බව අනතුරු අඟවමින් සිටියහ.

ගෝඨාභය රාජපක්ෂට ධුරය අතහැර හෝ හැකි අයෙකුට භාරදී ගෙදර යන්නට කියා රට පුරා තැනින් තැන සුළු සුළුවෙන් ආරම්භ වූ උද්ඝෝෂණවලට මහා පොදු වටිනාකමක් ලැබුණේ මාර්තු 31 වෙනදා සිද්ධිය පාලනය කිරීමට රජය අරගනු ලැබූ තීන්දු තීරණ කිහිපයත් සමගයි.

ඊට ප්‍රතිචාරයක් ලෙස සංවිධානය වූ ශිෂ්‍ය සංගම් හා තරුණ ව්‍යාපාර “ගෝඨා ගෝ හෝම්” නමින් තේමා පාඨයක් ඔස්සේ සංවිධානය වී “නිර්පාක්ෂික අරගලය” නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ රටේ හා රටින් පිට ගෝඨාභය පාලනයට එරෙහිව පෙළ ගැසෙන සෑම සියලු බලවේගයක් ම එක වහලක් එකට මුණ ගැහෙන්නට හැකි පොදු කඳවුරක් නිර්මාණය කර ගනිමිනි. මේ පොදු කඳවුර අප්‍රේල් 9 වැනිදා සිට “ගෝඨා ගෝ ගම” යනුවෙන් කොළඹ ගෝල්ෆේස් පිටිය කෙළවරේ ජනාධිපති ලේකම් කාර්යාලය අබියස ගෝඨාභය රාජපක්ෂම විරෝධතාකරුවන් වෙනුවෙන් වෙන්කර තිබූ භූමිභාගයේ ස්ථාපිත විය.

එතැන් පටන් රජයට හා ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සංවිධානය වූ සියලු විරෝධතා ව්‍යාපාර මෙහෙයවූ මෙහෙයුම් මූලස්ථානය වූයේ මෙම ගෝඨා ගෝ ගම කඳවුරු භූමියයි.

කවුරු කොහොම කිව්වත් මෙම කඳවුරු භූමියේ සිටි අරගලකරුවන් අතරින් බහුතරය සිටියේ නිර්පාක්ෂිකව වුවත් පෙරටුගාමී පක්ෂය, එය විසින් මෙහෙයවන ලද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ජවිපෙට අයත් සමාජවාදී කලා සංගමය, මුස්ලිම් තරුණ සංවිධාන, කතෝලික පියතුමන්ලා ඇතුළු තරුණ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ බහුජන ව්‍යාපාර 18ක් මෙම අරගල බිමේ ක්‍රියාකාරීව සිටියහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සෘජුවම දේශපාලන කරළියේ සිටින පක්ෂ මේ සඳහා දායක කර නොගෙන ඔවුන්ගේ ද සහයෝගය ඇතුව හෝ නැතුව ක්‍රියාත්මක වෙන පොදුජන සංවිධාන ඔස්සේ මෙම අරගල බිම ඉදිරියට ගෙන යෑමටය.

මෙම අරගල බිම රජයට ඉදිරියේදී බරපතළ අභියෝගයක් වන බව දැන රාජ්‍ය ආරක්ෂක උපදේශකවරු මෙය ඉවත් කර දමන්නට කියා ජනාධිපතිවරයාට කොපමණ උපදෙස් දුන්නත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බටහිර රටවල දක්නට ලැබෙන පොලිටිකල් කානිවල් (political carnival) සංකල්පයේ ගෙනහැර පාමින් ඒවාට කරදර නොකරන්නැයි අණ කර සිටියේය.

ඇතැමුන් මෙවිට කීවේ නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරවෙන් කපන්නට ඉඩ තබාගත යුතු නැති බවය.

එහෙත් පසුගිය මැයි 9 වැනි දා සිදු වූ ඛේදවාචකයත් සමඟම ගෝඨා ගෝ ගමට නැති වටිනාකමක් එක්කාසු විය. අපරාධකරුවන්ගේ ප්‍රහාරවලට ලක්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඇතුළු කිහිප දෙනෙක් මියගියත් රටේ ජනතාව ඒ සියල්ල කිරා මැන බලා අනුකම්පාව හා පක්ෂපාතිත්වය දැක්වූයේ අරගලකරුවන් වෙතය.

ඒ අතර රටේ දේශපාලන කරළියේ ලොකු බල ඓම අවස්ථාවේ ඉදිරිපත් වී රටේ වගකීම භාර ගන්නට පෙරමුණට ආ එකම දේශපාලනඥයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහම පමණි.

රනිල්ගේ පැමිණීමත් සමගම කවුරු කෙසේ කීවත් රටේ සමාජ දේශපාලන කරළියේ ලොකු පරිවර්තනයක් සිදුවිය. එතෙක් අරගලයට නන් ආකාරයෙන් සහයෝගය ලබාදෙමින් රජයට එරෙහිව කැරලි ගසමින් සිටි රටේ ව්‍යාපාරික පැලැන්තිය හා මධ්‍යම පන්තිය අරගලයෙන් ඈත්වී නිෂ්ක්‍රීය වන්නට වූහ.

ඇතැම් පාර්ශ්ව මෙම සිද්ධිය අර්ථ ගැන්වූයේ රනිල් පැමිණි පසු එතෙක් කලක් අරගල භූමියට නොමිලේ ලැබුණු බුරියානි පාර්සල් ටික නතර වූ බවය. එහි ඇත්ත නැත්ත කෙසේ වුවත් රනිල් පැමිණි පසු රටේ තිබූ අර්බුද හා විරෝධතා යම් තරමකින් සංසිඳුණු බව නම් ඇත්තය.

එහෙත් ගෝඨා ගෝ ගම සිට ක්‍රියාත්මක කළ ගෝඨා ගෝ හෝම් අරගලයේ කිසිදු වෙනසක් නොවීය. අරගල භූමිය රනිල්ගේ ක්‍රියාකලාපය නිහඬව බලා සිටිමින් දීප ව්‍යාප්තව අරගලය සංවිධානය කළහ.

මැයි මස 9 වැනිදා ගෝල්ෆේස් ඛේදවාචකය සිදු වීමත්, එදිනම තීරණාත්මක ලෙස එතෙක් අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් යන සිද්ධීන්ට අනුරූපව ජුනි මස 9 වැනිදා ද තවත් වැදගත් සිදුවීමක් සිදු විය. ඒ වූ කලී රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයකු වන බැසිල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවෙනුත් සමුගන්නට තීරණය කිරීමයි.

මෙම සිද්ධියෙන් පසුව අරගලකරුවන්ගේ අවධානය යොමු වූයේ කෙසේ හෝ ඊළඟ නම වන දා උදා වන විට රටේ තවත් දැනෙන පෙරළියක් සිදු කර ජයග්‍රහණය කිරීමට ය.

ඒ සඳහා තම අනුග්‍රාහක භවතුන් හා රට පුරා වෙසෙන බලවේග සමග සාකච්ඡා කළ අරගලකරුවෝ ජූලි 9 වැනිදා වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් යන දෙදෙනාම දේශපාලනයෙන් පන්නා දැමීමේ මෙහෙයුම ආරම්භ කළේ “ගෝඨා – රනිල් ගෝ හෝම්” සටන් තේමාව යටතේය. ඔවුන් ඒ සඳහා දීප ව්‍යාප්තව සටන් පෙරමුණ බලගන්වමින් සිටියහ.

ජූලි 9 වැනිදා වන විට මහා සෙනගක් කොළඹට ඒකරාශී කර ජනාධිපතිවරයාට අගමැතිවරයාට හා රජයේ පාලන මර්මස්ථානවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බව කල්තියා තොරතුරු නිරීක්ෂණ කළ රජයේ බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලය වෙත ඒ පිළිබඳ අනතුරු අඟවන්නට විය.

රජය මෙහිදී මුලින්ම සූදානම් වූයේ කොළඹට ඒකරාශී විය හැකියි කියන මහ සෙනඟ පාලනය කිරීමට නීතිමය බාධකයක් නිර්මාණය කරන්නට ය. ඒ සඳහා පොලිසිය උත්තරීතර අධිකරණයේ සහය පැතුවත් කොළඹට සෙනඟ ඒකරාශී වීම වළක්වන ආකාරයේ මොනම තීන්දුවක්වත් ලබා දෙන්නට අධිකරණය කැමති වන්නේ නැත.

මේ අතර රජයේ ඇතැම් ආරක්ෂක බලධාරීන්ගේ අඩු තක්සේරුව නරකට හිටියේය. ඔය කියන තරම් මහ සෙනගක් ජුලි නම වැනිදා මේ ඩීසල් පෙට්රල් රටේ නොමැති වාතාවරණයක් තුළ කොළඹට පැමිණේ යැයි ඔවුන් විශ්වාස කර තිබුණේ ම නැති තරම් ය.

ඒ කෙසේ වුවත් යම් සෙනගක් කොළඹට පැමිණියහොත් නිසැකවම කොළඹ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය පාර්ලිමේන්තුව ආදී පාලන මර්මස්ථාන වටලනු ඇතැයි කියා අනුමාන කළ ආරක්ෂක අංශ ඒ සදහා යම් ආරක්ෂක වැඩපිළිවෙළක් සංවිධානය කරන්නට අමතක නොකළහ.

නව වැනි සෙනසුරාදා තීරණාත්මක විජයග්‍රාහී දිනයක් ලෙස ජයග්‍රහණ රැසක් අත්පත් කර ගන්නට අරගලකරුවෝ බලාපොරොත්තුවෙන් සිටියහ. සැබැවින්ම ඒ සඳහා මහජනතාව කොළඹට ඒකරාශී කිරීමේ කටයුත්ත කරනු ලැබූයේ ගෝඨා ගෝ ගම සිටි නිර්පාක්ෂික අරගලකරුවන් පමණක්ම නොවේ. ජනතා විමුක්ති පෙරමුණ ද එහි සෑහෙන වැඩ කොටසක් තම සාමාජිකත්වය හරහා දීප ව්‍යාප්තව රටේ කරමින් සිටියහ. අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපෙ නායකයෝ ජනාධිපති අගමැති ගෙදර එළවීමේ සටනට සජීවීව සහභාගිවන්නට කොළඹට එන්නැයි රටපුරා සිටින පොදු ජනතාවට ආරාධනා කර සිටියහ.

ඒ අතරේම සටනට සහභාගි වූ පිරිස් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ද සිටියහ. ගෝඨාභය ගෙදර පැන්නීමේ මහා අරගලයට තමන්ද පාරට බසින බව කී මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප නායකයෝ තම සාමාජිකත්වයට ද කොළඹට එන්නට ආරාධනා කර සිටියහ.

සමගි ජන බලවේගයේ නායකයෝ ඊට එහා ගියහ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනියවුන් රජයට එරෙහිව දක්වන ලද ප්‍රතිරෝධය සුළුපටු නොවීය.

කොටින්ම කිව්වොත් එම දිනවල මේ නිර්පාක්ෂික අරගලයට දායකත්වය දක්වන්නැයි කියමින් ජනතාවට ආරාධනා කිරීම සඳහා පක්ෂ නායකයින් අතර ලොකු තරගයක් ද වී යැයි කීම අතිශයෝක්තියක් වන්නේ නැත.

● ජනතාව හැර නොයන්න ජනපති දැඩි තීන්දුවක…

තමන්ට සිය ධුරය අතහැර දේශපාලනයෙන් සමුගන්නැයි කවුරුන් කෙසේ කීවත්, අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස දේශපාලනයෙන් සමු ගන්නට තමන් තුළ සූදානමක් නැතැයි කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ මීට සති කීපයකට පෙර ය.

ඔහු දැඩි ස්ථාවරයක සිටියේ තමන් රට වෙනුවෙන් භාරගත් වගකීම අවසානය තෙක් ඉටු කරන්නට අවශ්‍ය බව කියමිනි. ඔහු සිය පුද්ගලික සුඛවිහරණය සඳහා රාජ්‍ය සම්පත් භාවිතා කළේ නැත. ඔහු ජීවත් වූයේ තම පුද්ගලික නිවසේය. අවශ්‍ය රාජකාරි කටයුතුවල දී පමණක් රජයේ වාහන, රජයේ ඉන්ධන භාවිත කළත් වාහන භාවිතාව ඉතා අවම මට්ටමක පවත්වාගෙන යන්නට ඔහු ක්‍රියා කළේය. ඔහු මහා ආරක්ෂාවක් පවත්වාගෙන ගියේ නැත. අන් නායකයින් මෙන් හිතවතුන් පිරිවරාගෙන විදේශ සංචාර ගියේ ද නැත. ඔහුගේ පාලන කාලය තුළ ඩොලරයකින්වත් ණය ගත්තේ ද නැත. ඔහු උත්සාහ කළේ මේ රටේ නිෂ්පාදනය වැඩි කොට නිෂ්පාදන ක්‍රියාවලිය තුළින් ආදායම් ලබා සංචාරක ව්‍යාපාරය වැනි සේවාවන් දියුණු කොට විධිමත් විදේශ රැකියා වැඩපිළිවෙළක් ඇති කොට විදේශ මුදල් ඉපයීමේ වැඩපිළිවෙලවල් එකින් එක දියුණු කරන්නටය.

මේ රට ඩොලර් බිලියන පනස් ගණනක ණය තිබුණා යැයි කීවත් ඉන් එක ඩොලරයක්වත් තමන්ගේ කාලයේ ණයට නොගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විපක්ෂයේ බලවේග තමන්ට කොමිස් ගත්තා යැයි කියා හෝ හොරකම් කළා යැයි කියා කරන චෝදනා ප්‍රතික්ෂේප කර සිටියේය.

එහෙත් දූෂිත රාජපක්ෂ පාලන සමය අවසන් කළ කළ යුතු යැයි කියමින් ඉකුත් 8 වැනි සිකුරාදා රාත්‍රියේ පටන් අරගලයට සහභාගී වන්නන් කොළඹ පැමිණියහ. නම වැනිදා පාන්දර වෙනවිට පිට පළාත්වලින් කොළඹට පැමිණීම සඳහා බස් රථ හා කෝච්චි නොමැති තත්ත්වයක් තිබුණත් ජනතා පෙරළි හා උද්ඝෝෂණ හමුවේ නතර කළ කෝච්චි හා බස්රථ යළිත් ලබා දෙන්නට ප්‍රවාහන බලධාරීන්ට සිදුවිය.

අවසානයේ මහා ජන ගඟක් ලෙස කොළඹ ගෝල්ෆේස් පිටිය වටරවුම අසලට දිවයිනේ නන් දෙසින් පැමිණි අරගලකරුවන් පිරිස ජනාධිපති මාවත චැතම් වීදිය ආදී පාරවල් තුනකින් ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණියහ.

ජනාධිපති මන්දිරයේ විසල් යකඩ ගේට්ටුවල දොරගුළු විවර විය. ඒ වන විටත් යම් යම් පැතිබැමිවලින් තරුණ අරගලකරුවන් ඇතුළු වෙමින් සිටියහ. එසේ ඇතුළු වූ සමහර අරගලකරුවන් ආරක්ෂක අංශවලින් පහර කා තුවාල ලබා සිටියහ.

සෙනසුරාදා උදේ පටන් අරගලයේ මුහුණුවර තරමක සාහසික බවක් ගෙන තිබුණි. සටන්කාමීත්වයේ උපරිමයටම පැමිණ සිටි තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙහෙයවීමට සංවිධානාත්මකව අරගලයේ යම් යම් නායකයෝ කීපදෙනෙක් වෙහෙසමින් සිටියහ. අතනින් මෙතෙන්ට මෙතනින් අතෙන්ට යන්න යැයි කියමින් ෆේස්බුක් ලයිව් විකාශයන් දියත් කරමින් අරගලයේ සමහර නායකයෝ අරගලකරුවන් වෙත අණ දෙමින් සිටියහ. වියරු වැටී සිටි අරගලකරුවෝ ඔවුන්ගේ අණ පරිදි ඒ ඒ ආයතන අල්ලා ගන්නට වූහ.

පළමුවෙන්ම ජනාධිපති මන්දිරය අල්ලා ගත් ඔවුන්ගේ දෙවන ඉලක්කය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඉන්පසුව අරලියගහ මන්දිරයට යන්නැයි අරගලයේ ඇතැම් නායකයෝ ලබාදුන් විධානයක් සමගම අරගලකරුවෝ පැමිණ අරලියගහ මන්දිරය ද වට කොට අල්ලා ගත්හ.

මේ අතරතුර අරගලයට සහාය දක්වන්නට පැමිණෙන්නේ යැයි කියමින් කල්තියා ප්‍රකාශ නිකුත් කරමින් සිටි අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් කොහේදැයි විමසා බැලූ පිරිසක් ද සිටියහ. ඒ වන විට සැබැවින්ම අරගල භූමියට පැමිණ සිටියේ සරත් ෆොන්සේකා හා රාජිත සේනාරත්න ඇතුළු කිහිප දෙනෙක් පමණි. සරත් ෆොන්සේකා යම් සැලකිය යුතු ආරක්ෂාවක් සමග පැමිණ සිටියත් අරගල බිමේ ඒ මේ අත ඇවිදිමින් සැරිසරන්නට ඔහු උත්සාහ ගත්තේ නැත. ඒ අරගල භූමියේ විවිධ මානසික මට්ටම්වල පිරිස් සිටින බව, එල්ටීටීඊ ඉතිරි පහදුවූ කාඩරයන් පවා සිටිය හැකි බව හමුදා පුහුණුවෙන් ලත් දැනුමෙන් සරත් ෆොන්සේකා හා ඔහුගේ ආරක්ෂක උපදේශකයින් දැන සිටියහ. එමනිසා ඔවුන් සෙනග අතර සැරිසරනු ලැබුවේ ඉතාමත්ම කල්පනාකාරීව ය.

එහෙත් මේ අරගලකරුවන් සියල්ලෝම තම බුක්තියට යටත් පිරිසක් යැයි සිතූ පිරිස් බය නැතුව ඒ මේ අත සැරි සරන්නට වූහ. දොස්තර රාජිත සේනාරත්න ඒ අතර සිටි අයෙකි. ඔහු අරගලයේ තරුණ තරුණියන් ලබාගත් විජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව ජනතාව අතරට ගොස් ඔවුන් හා කතා බහ කරමින් සිටියේ මොහොතකි. ඔහුට ජනාධිපති මන්දිරය පැත්තට යන්නට අවශ්‍ය විය.

එහෙත් ඔහුට යෑමට හැකි වූයේ එක දුරක් පමණි. අරගලකරුවන් අතර සිටි දාමරිකයින් පිරිසකගේ ග්‍රහණයට ඔහු හසු විය. ආරක්ෂකයින් කිහිප දෙනාගේ දක්ෂතාවය නොවන්නට දොස්තර රාජිත සේනාරත්නටත් අත් වන්නේ මැයි නව වැනිදා අමරකීර්ති මන්ත්‍රීවරයාට අත්වූ ඉරණම නොවේ යැයි කිව හැකිද.

අරගලකරුවන් ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ මං මාවත්වල සිය බලය තහවුරු කර ගැනීමෙන් පසුව කාගේදෝ මෙහෙයවීමකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අත්පත් කරගන්නට ද ගොස් සිටියහ. සෙනසුරාදා අවසාන සිදුවීම වූයේ එයයි. අරගලකරුවෝ දිගින් දිගටම ආරක්ෂක අංශ හා ඇති කරගෙන තිබූ ගැටුමක අවසන් ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහගේ කොළඹ පස් වෙනි පටුමගේ තිබූ පුද්ගලික නිවාසය එහි ඇතුළාන්තයේ වූ මිල කළ නොහැකි අනර්ඝ පොත්පත් හා ඡායාරූප එකතුව ද සමග ගින්නෙන් විනාශ වී යෑමය.

පහුගිය 9 වැනි සෙනසුරාදා රාත්‍රිය වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොහේ ගියේ දැයි බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. බොහෝදෙනෙක් අනුමාන කළේ ඔහු නිසැකවම බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ තිබෙන හමුදා මූලස්ථානයේ ආරක්ෂාව සහිතව සිටින බවය.

ඒ අතර ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස අරගලකරුවන් ගෙන් හා මේ රටේ විවිධ පාර්ශ්වවලින් එල්ල වුණු බලපෑම දැඩි එකක් විය. විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හතළිස් 47 කින් සමන්විත කණ්ඩායමක ලිපියකින් ද ඔහුට ඒ සඳහා ආරාධනයක් කර තිබුණි. ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිසක් ඊට අත්සන් තබා තිබිණි.

ධුරයෙන් ඉවත් වන්නයි ජනාධිපතිවරයාට දිගින් දිගටම ලැබුණු පීඩනය සුළුපටු නොවීය. පීඩනය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ ලබන දහතුන් වැනි දා තමන් ඒ වෙනුවෙන් නිසි තීන්දුවක් ගනු ලබන බවකි.

මේ අතරතුර තවත් බොහෝ දේවල් සිදුවිණි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට ලියුමක් දුන්නේය. මනුෂ හා හරින් යන ඇමැතිවරු දෙදෙනා ද ඉල්ලා අස්විය. සෙසු ඇමැතිවරු ද ඒ හා අනුසාරයෙන් ඉල්ලා අස්වන බව පෙනිණි.

පසුගිය සතියේ සෑම පක්ෂයක් අතරම සාකච්ඡාවල නිමක් නොවීය. සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර දිගින් දිගටම සාකච්ඡා පැවැත්විණි. එම සාකච්ඡාවලදී අගමැතිකම එක පාර්ශ්වයකටත් ජනාධිපතිකම තව පාර්ශ්වයකටත් බෙදාගැනීමට අදහස් හුවමාරු වුවත් එකඟතාවක් ඇති වුණේ නැත. මේ අතරතුර පොදුජන එක්සත් පෙරමුණේ ද සාකච්ඡා තිබිණි. ජනාධිපති ඉල්ලා අස් විය යුතු නැතැයි ඇතැමුන් කීහ. ජනාධිපති ඉල්ලා අස්වී රනිල්ට ජනාධිපතිකම භාරදී කවුරුන් හෝ අගමැතිකමට පත් කළ යුතු බව ඔවුන්ගේ යෝජනාව වූහ. අගමැති කවුද කියා ඔවුන් අතරද හරි එකඟතාවක් නොවූහ. ඇතැම්හු කීවේ අලහප්පෙරුම වැන්නෙක් අගමැතිකමට යෝජනා කිරීම යෝග්‍ය බවය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, චම්පිකගේ 43 කණ්ඩායම, විමල් වීරවංශලාගේ වාසුලා ගේ කණ්ඩායම, සමගි ජන බලවේගය අතරද ඉතා තීරණාත්මක සාකච්ඡාවක් ඇති විය. ජනාධිපති ඉල්ලා අස් වූ පසුව ඒ ජනාධිපතිකමට සජිත් ප්‍රේමදාස සුදුසු බව සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර එක පයින් කියා සිටියේ තර්කයක් ද ඉදිරිපත් කරමිනි.

“මේ රටේ හැටනව ලක්ෂයක් ඡන්දය දුන්නු ගෝඨාභයගෙ ජනවරම දැන් අහෝසියි. හැබැයි අමතක කරන්න නරකයි පනස් පනස්පන් ලක්ෂයක් ඡන්දය දුන් කෙනෙකුත් ඉන්නවා කියලා. එයා තමයි ඊළඟට ජනාධිපති වෙන්න නියම සුදුස්සා.”

“හැටනව ලක්ෂයේ ජනවරම අහෝසි නම් ඒත් එක්කම ලැබුණු පනස්පන් ලක්ෂයේ ජනවරම විතරක් අහෝසි නොවී තියෙන්නෙ කොහොමද…” රංජිත්ගේ තර්කයට ප්‍රති තර්කයක් ලෙස නැඟුණු ඒ කතාවට උත්තරයක් නොවීය.

තර්ක විතර්ක මැද ඒ සාකච්ඡා ද එතරම් පල දැරුවේ නැත. දින කිහිපයක්ම ඔවුන් එකතු වී සාකච්ඡා කිරීමෙන් පසුව අවසානයට පැමිණිය හැකි ළඟම එකඟතාව වූයේ ඩලස් අලහප්පෙරුම ජනාධිපති ලෙස නම යෝජනා කර සජිත් ප්‍රේමදාස අගමැති ලෙස යෝජනා ස්ථිර විය යුතු බවය.

ඒ පිළිබඳව ද ඔවුන් අතර අවසන් එකඟතාවක් වූයේ නැත.

මේ අතර තවත් සිද්ධි කීපයක් විය. බැසිල් රාජපක්ෂ මහතා මේ අල්ලපනල්ලේ විදේශ ගතවීමට උත්සාහ කළත් ගුවන් මගින් පිරිසකගේ හා ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ යම් පිරිසකගේ විරෝධතාවය මත එම ගමන අවලංගු විය. කටකතාවක් පැතිර ගියේ ඒ සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගතවීමට එදා උත්සාහ දරා ආපසු හැරී ආ බවය.

ඒ කතාව ඇත්තක් නොවූවත් ජනාධිපතිගේ විදේශගතවීම ඊට පසුදා බොරුවක් නොවීය. ජනාධිපතිවරයා ගොස් තිබුණේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයිනට ය. මාලදිවයිනෙන් පසුව සිංගප්පූරුවටත් එතනින් පසුව තවත් ගමනාන්තයකටත් ඔහු යෑමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග පවසන ලැබූහ.

ඒ අතර ශ්‍රී ලංකාවේ ජනතාවට අහන්නට ලැබුණු වැදගත්ම ආරංචිය වූයේ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඒ පිළිබඳ කරුණු දැනුම් දීම ඊළඟ 13 වැනිදා ලියුමකින් කථානායකවරයා වෙත දන්වන බව ය. අරගලකරුවෝ ප්‍රමුඛ රටේ ජනතාව පසුගිය සතියේ මහත් අපේක්ෂාවෙන් බලාපොරොත්තු වූ ලිපියක් ලෙස ඒ ඉල්ලා අස්වීම ඉතිහාසගත විය.

දහතුන් වැනි දා කොළඹ වටලන්නට ආ අරගලකරුවන් ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් දෙදෙනාම ඉල්ලා අස්වී පාලනය මහජන පදනමකින් බලයට එන කණ්ඩායමකට ලබාදෙන්නැයි බලකර සිටියහ. දෙනවා කී අස්වීමේ ලිපිය ඒ වන විටත් ජනාධිපතිවරයා කථානායකවරයා වෙත ලබාදී තිබුණේ නැත. ඒ නිසා කථානායකවරයා දිගින් දිගටම අපහසුතාවයට පත්විය. අරගලකරුවෝ කථානායකගේ නිවස වටලන්නට ද යෝජනා කර සිටියහ.

එහෙත් ඒ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතළිස් වැනි වගන්තියේ ඇති විධිවිධානයක් අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව ධුරයේ වැඩ බලන්නට පත්ව සිටියහ. ඒ පත්වීම නීත්‍යානුකූල බව මේ රටේ ඉතා විශිෂ්ට ගණයේ නීතිවේදීහු පවා අනුමත කර තිබිණි. පසුගිය සඳුදා 360 වැඩසටහනට පැමිණියේ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ද මේ පිළිබඳ විචිකිච්ඡාවක් පළ කළේ නැත. ඔහු කීවේ ව්‍යවස්ථාවට අනුව මේ රටේ මූලික නීතියට අනුව සියල්ල සිදු විය යුතු යැයි කියාය.

එහෙත් අරගලකරුවෝ හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක වන ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය මේ පත්වීම් දෙකම ප්‍රතික්ෂේප කර සිටියහ. 13 වැනිදා දහවල් මහා සටනකින් පසුව අරගලකරුවෝ ජනාධිපති කාර්යාලය සේම අග්‍රාමාත්‍ය කාර්යාලය ද සිය ග්‍රහණයට අරගත්හ. ඒ හා සමානවම අරගලකරුවන් පිරිසක් ගුවන් විදුලිය හා රූපවාහිනිය අත්පත් කරගැනීමට ද ගොස් තිබුණහ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනම පැත්තකින් අරගලයට නායකත්වය දෙන්නට පටන් ගෙන තිබිණි. උදේ පටන් විවිධ මාධ්‍යයන් ඔස්සේ කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවසානයේ ජනතාව පාර්ලිමේන්තුවත් අත්කර ගත යුතු බව ද යෝජනා කළේය.

“මේ වන විට රාජපක්ෂවරුන් සතු බංකර් ඔක්කොම ඉවරයි. තව ඉතිරි වී තියෙන්නෙ එකම බංකරයයි. ඒ තමයි පාර්ලිමේන්තුව.” කියමින් ජනතාවගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමු කර සිටියහ.

ඒ අතර පාර්ලිමේන්තුවට යන පාරේ දහතුන් වැනිදා හවස ජනතා විමුක්ති පෙරමුණ වෙනම උද්ඝෝෂණයක් සංවිධානය කළහ. එය සංවිධානය කළ ලාල්කාන්ත හා සුනිල් හඳුන්නෙත්ති එකහෙළාම කියා සිටියේ ජනතාව දැන් රොද බැඳ පැමිණ රාජපක්ෂලාගේ අවසාන බල කඳවුර වන පාර්ලිමේන්තුව අල්ලාගත යුතු බවකි. ඒ සඳහා වහාම පාර්ලිමේන්තුව දෙසට එන්නැයි ඔවුහු ජනතාවට මෙන්ම අරගලකරුවන්ට ප්‍රබල ඉල්ලීමක් කළහ. අරගලකරුවන් අතර සිටි පෙරටුගාමී පක්ෂයේ නායකයෝ මේ පිළිබඳ සැලකිලිමත් වූහ.

රනිල් වැඩබලන ජනාධිපති ධුරයේ වැඩ භාර ගෙන ඊළඟට ගැසට්වලින් නිකුත් කරනු ලැබූ අණ පනත් කිහිපයක් සමගම අරගලකරුවන්ගේ පොරපිටිය පැත්තෙනුත් එක්තරා කැළඹීමක් ඇති කර තිබිණි. ගෝඨාභය මෙන් රනිල් බලය අතේ තියාගෙන නිකං බලා සිටින්නකු නොවන බව අරගලකරුවෝ දැන සිටියහ.

එහෙත් ඒ වන විට අරගලකරුවෝ දැන හෝ නොදැන පාර්ලිමේන්තු අභියසට ගොස් සිටියහ.

පාර්ලිමේන්තුව පැත්තට එන අරගලකරුවන් වළක්වන්නට ආරක්ෂක අංශ වැඩබලන ජනාධිපතිවරයාගේ අණ පරිදි සියලු විධිවිධාන තර කර තිබිණි. පාර්ලිමේන්තුවට යන පාරේ දහතුන් වැනිදා හවස මහා ගැටුම ඇති වූයේ මේ අභ්‍යන්තර අර්බුදය ද අතරතුරයි. අරගලයේ එක් පිරිසක් මේ පාර්ලිමේන්තු පාරේ ගැටුමට වගකිව යුතු බවත් තවත් පිරිසක් එම ගැටුම වළකන්නට උත්සාහ කළ බවත් පොදු ජනතාව වෙත සන්නිවේදනය වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි විය. මේ ගැටුම නිසා හමුදා භටයින් කීපදෙනකුට අරගලකරුවන් අතරින් එක් කොටසක පිරිසක් අමානුෂික ලෙස පහර දී තිබීම තුළ අරගලය ඇතුළාන්තයේ ද ප්‍රශ්න මතුවිය. අනවශ්‍ය ලෙස හමුදාව කුපිත කර ගත යුතු නැති බවයි සමහරකු කීවේ.

දාහතර වැනිදා පස්වරුවේ බොහෝ දෙනා බලාපොරොත්තු වෙමින් සිටි ලිපිය කථානායකවරයා වෙත ලැබිණි. ඒ අනුව පහළොස් වැනිදා දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව මේ රටේ අටවන ජනාධිපතිවරයා ලෙස වැඩ බලන්නට දිවුරුම් දුන්නේය.

එදා උදේ සිට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ එක්ව මේ පිළිබඳ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කර සිටියහ.

සිකුරාදා උදේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට එක්විය යුතු පොහොට්ටු දේශපාලනයේ අනාගතය ගැන සාකච්ඡා කරමින් සිටියහ. ප්‍රසන්න රණතුංග මෙහිදී එක්තරා කාරණාවක් ගැන විස්තර කළේය.

“දැන් විපක්ෂයේ එකඟතාවක් තියෙනවා මීළඟ ජනාධිපති හා අගමැති පත් කිරීම ගැන. සමගි ජන බලවේගයත් ඩලස් ලත් ශ්‍රී ලංකා එකත් මේ ගැන කතාබහ කරලා ඉවරයි. ඩලස් ජනාධිපතිකමටත් සජිත් අගමැතිකමටත් යෝජනා කරන්නයි යන්නේ… හැබැයි මම නම් සජිත් අගමැතිකමට යෝජනා කරනවට පුද්ගලිකව කැමති නෑ. මොකද අපි මන්ත්‍රීවරු 52 ගේ ගෙවල් ගිනිතැබූ එකට වගකිව යුතු අය සජබෙ ඉන්නවා. බැරි වෙලාවත් සජිත් අගමැති වුණොත් අපට තියෙන ආරක්ෂාව මොකද්ද…”

පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් මෙහිදී සජිත් ගැන අවිශ්වාසය පළ කර සිටියහ. එහෙත් නාලක ගොඩහේවා සහ චන්න ජයසුමන ඒ යෝජනාව ගැන සුබවාදීව කතා කළේ ඩලස් අලහප්පෙරුම ගැන විශ්වාසයක් තබන්න යැයි යෝජනා කරමිනි.

ඔවුන් දිගින් දිගටම මේ පිළිබඳ තර්ක කරමින් කතාබහ කරමින් සිටින බව අපට දැනගත හැකි විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment