ඉතිහාසය භ‍්‍රමණය වෙයි (නෑ, පරිභ‍්‍රමණය වෙයි)

198

ඉතිහාසය වෙනස් වී තිබේ. සාමාන්‍යයෙන්, ලංකාවේ දේශපාලන ඉතිහාසයට අනුව වර්ජකයන්ට සහ උද්ඝෝෂකයන්ට පහර දෙන්නේත් ඔවුන්ගේ ඔළු පලන්නේත් වාමාංශිකයන් නොව දක්ෂිණාංශිකයන් ය. 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව 80 ජූලි වැඩ වර්ජනයේදී දහස් ගණනකට රැුකියා අහිමි කර එම වර්ජකයන්ගේ උද්ඝෝෂණවලට පහර දී මිනිසුන්ගේ ඔළු පලා වෘත්තීය සමිති නායක අලවි මව්ලානාගේ බඩ පලා විශාල විනාශයක් කළේය. කපන ලද බඩෙන් මව්ලානා ගේ අතුනුබහන් එළියට පැමිණි අතර ඔහු සියතින් කැපුම් තුවාලය වසා තද කරගෙන සිටියදී සෙස්සෝ ඔහු රෝහලට ගෙන ගියහ. ජේ.ආර්.ගේ ගෝලයන් එක්තරා උද්ඝෝෂණයකදී මහාචාර්ය සරච්චන්ද්‍රට පහර දී ඔහු බිම හෙළා කකුල් දෙකෙන් ඇදගෙන යද්දී තවත් පිරිසක් ඔහු කාණුවක් තුළට දමා තදකරගෙන සිටියහ. ඒ දුෂ්ට මිනිස්සු, ඒ උද්ඝෝෂණයට එක්වූ බෞද්ධ භික්ෂුවකගේ මුඩු හිස පැලූහ. එකල උද්ඝෝෂකයන්ට පහර දීම සඳහා බයිසිකල් චේන් යොදා ගන්නා ලදී. එය ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ පර්යේෂණයකි. බයිසිකලයක ක‍්‍රියාකාරිත්වය සඳහා මෙන්ම මිනිසුන්ට පහරදීම සඳහා ද බයිසිකල් චේන් යොදාගත් මේ රටේ පළමුවන අවස්ථාව එයයි. මේ නිසා උද්ඝෝෂකයන්ට පහර දීමේ කළු පැල්ලම මෑත දේශපාලන ඉතිහාසයේදී වැඩිපුරම වැදුනේ ජේ. ආර්. ජයවර්ධන ගේ ආණ්ඩුවට ය.

ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිව සිටියදී වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වුණේ නැත. කිසියම් වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයක් මෙහෙය වීමේ පළමු සාකච්ඡාව පවත්වා පැය 24 ක් ගත වන්නට කලින් එම වෘත්තීය සමිතියේ නායකයෝ අතුරුදන් වීමට පටන් ගත්හ. මේ නිසා පණට ආදරේ ඇති මිනිස්සු වැඩ වර්ජන කිරීමට එකල බිය වූහ. මේ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව මුලින්ම නැගී සිටියෝ ජ වි පෙ ය. ජ වි පෙ ඊට එරෙහිව එක තුවක්කුවක් අතට ගත්විට එක් අතකට තුවක්කු පහ බැගින් දෑතට තුවක්කු දහයක් ගත් ආණ්ඩුව දස අතේ වෙඩි තබමින් විසි තිස්දෙනා මරන්නට පටන් ගත්තේය. ඒ සමගම ජ වි පෙ මිහිමතින් අතුගෑවී ගියේය. එය යළි හිස ඔසවන්නේ තවත් සෑහෙන කලකට පසුවය.

1977 න් ඇරඹි 1994 තෙක් පැවති දක්ෂිණාංශික ආණ්ඩු දෙකේ භීෂණය අවසන් කරමින් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපති බවට පත්වෙයි. ඇය තල්ලූ කරගෙන ඉස්සරහට ගෙනගියෝ මහින්ද රාජපක්ෂ, මංගල සමරවීර, එස්. බී. දිසානායක ඇතුළු ප‍්‍රගතිශීලී බලවේගයයි. පසුකාලයේදී එම ප‍්‍රගතිශීලී පිලෙන් ගැලවී ගිය මංගල සමරවීර ඉකුත් යහපාලන ආණ්ඩුව පැවති සමයේදී කුරුඳු පොලූ හමුදාවක් යොදවා දේශපාලන උද්ඝෝෂකයන් පිරිසකට පහරදීම මේ රටේ දේශපාලන ඉතිහාසයේ කළු පැල්ලමකි. කාල් මාක්ස්ගේ කියමනක් නැවත වරක් මෙසේ ලියමු. ඉතිහාසය පුනරුච්චාරණය වෙයි. එය මුලින්ම පුනරුච්චාරණය වන්නේ සුඛාන්තයක් ලෙසය. ඊළඟට ඛේදවාචකයක් ලෙසය. මේ කියමන සැබෑ කරමින් මීට දින කිහිපයකට පෙර බත්තරමුල්ලේදී පැවැත්වුණු උද්ඝෝෂණයකදී පොලිසිය පැමිණ එම උද්ඝෝෂකයන් කුදලාගෙන නිරෝධායනයට ගෙන ගියහ. කොවිඞ් වෛරසය දේශපාලන ආයුධයක් වූ අවස්ථා දෙකක් ඇති බව දැන් අපට හැෙඟ්.

එයින් පළමුවැනි අවස්ථාව වන්නේ කොරෝනා වසංගතය චීනය විසින් බෝ කරන ලද බව කියමින් ඇමරිකාව හැසිරුණු ආකාරයයි. දෙවන අවස්ථාව, නිරෝධායන නීතිය මුල් කරගෙන බත්තරමුල්ලේ විරෝධතාවය විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කළ ආකාරයයි. තාක්ෂණික වශයෙන් ගත්කල දේශපාලන ව්‍යාපාරයකට හෝ මහජන උද්ඝෝෂණයකට පහරදීම සඳහා අනියම් ආකාරයෙන් වෛරසයක් යොදා ගැනීම විශිෂ්ට සොයා ගැනීමකි. එහෙත් මනුස්සකම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ගත්කල අමුම අමු හිඟන වැඩකි. මේ උද්ඝෝෂණය සහ ආණ්ඩුව එය මර්දනය කිරීමට පොලිසිය යොදා ගන්නා ආකාරය රූපගත කිරීමට ගිය මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකුට පොලිස් කාන්තාවක අතින් පහරදෙන ආකාරය අපි රූපවාහිනියෙන් දුටුවෙමු. කැමරා ශිල්පියාගේ කැමරා මෙවලමට අතින් පහරදුන් ඇය ආපසු හැරී දිව ගොස් නිරෝධායනය පිණිස උද්ඝෝෂකයන් ගෙන යන බසයට නැංගාය. වැඩිදෙනා කියන්නේ මේ පොලිස් කාන්තාවගේ වැඩ තහනම් කළ යුතු බවය. එහෙත් අපේ තර්කය වෙනස් ය. ඇය ඉටුකරන්නේ ඇයට ඉහළින් තිබෙන නිලධාරී හස්තයේ අවශ්‍යතාවයි. නිලධාරී හස්තය ඉටුකරන්නේ එයට ඉහළින් තිබෙන දේශපාලන හස්තයේ අවශ්‍යතාවයයි. මෙවර මේ දේශපාලන හස්තය අයිති සජිත්ට හෝ රනිල්ට නොව පොහොට්ටුවට ය. උද්ඝෝෂකයන්ට පහරදීම සහ ඔවුන් පලවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතුය.

උද්ඝෝෂණයක් පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අයිතියකි. එසේම එය මූලික මිනිස් අයිතියකි. මේ ආණ්ඩුව බලයට පැමිණියේ යහ පාලකයන් විසින් උදුරාගනු ලැබූ සමහර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් යළි ලබාදෙනු පිණිසය. එහෙත් එම කාර්යය පැත්තක තබා ඉතිහාසය පුනරුච්චාරණය වීමට පටන් ගෙන තිබේ. මෙවර එය පුනරුච්චාරණය වී ඇත්තේ ශෝකාන්තයක් ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment