ඉතිහාසය හා සබැඳි ජපානයේ තේ කලාවේ අධ්‍යාත්මික අරුත  

157

චීනයෙන් ජපානයට උරුම වූ සෙන් බුදුදහමේ ආභාෂයත් සමගින් සුවිශේෂිත වූ සංස්කෘතිකාංග රැසක් ජපානයට දායාද විය. තේ කලාව (Tea Ceremony), මල් සැකසුම් (Flower Arranging), විචිත‍්‍ර අක්ෂර කලාව (Calligraphy), කෙටි කාව්‍ය ලිවීම (Haiku), සටන් කලාව (Martial Art) හා ගෙවතු අලංකරණය මින් ප‍්‍රමුඛස්ථානයක් ගනී. ජපානයේ කමකුරා යුගයට පෙරාතුව සිටම තේ පිළිබඳව ජපන් වැසියන් දැන සිටි නමුදු එය බෙහෙවින්ම ජනප‍්‍රිය වීමට පටන් ගැනුණේ, සෙන් ගුරුවරයකු වූ ඊසායි (Eisai) විසින් තේ ඇට චීනයෙන් ගෙනැවිත් තම මිතුරකුගේ ආරාමයෙහි සිටු වීමත් සමගිනි. තේ පිළිබඳව ඔහු විසින් රචිත කෘතියෙහි සඳහන් කොට ඇත්තේ, එකල අසනීපයෙන් පසු වූ මිනමොතො (Minamoto Sanetomo) නම් වූ ෂෝගුන්වරයකු සඳහා ඔහු විසින් පැළ කරන ලද්දා වූ තේ සදා දුන් බවයි. එතැන් පටන් ඊසායි ජපානයේ ”තේ වගාවේ පියා’’ ලෙසින් ජනප‍්‍රිය විය. තේ වල යම්කිසි ඖෂධීය ගුණයක් ඇති බවත්, තේ පානය තුළින් විවිධ ලෙඩ රෝග සුව කර ගත හැකි බවත් අනතුරුව ඊසායි වටහා ගන්නා ගන්නා ලදී. ඊසායි විසින් තේ උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ඉගැන්වීමක් සිදු නොකළමුත් ඔහු චීනයේ සෙන් ආරාමවල සිටියදී, ඒ පිළිබඳව අධ්‍යනය කරන ලදී. ජපනුන් තමන්ගේම අයවලූන් සමගින් තේ පැනින් සංග‍්‍රහ කර ගැනීමේ අපූර්ව කලාව Tea ceremony යනුවෙන් හඳුන්වනු ලබයි. දහතුන්වන සියවසේ විසූ එක් සෙන් භික්ෂුවක් දිනක් තම ආගමික කටයුතුවල නිරත වන අතරතුර, බොහෝ වේලාවක් අවධියෙන් සිටීම පිණිස ඔවුනොවුන් අතර උණු තේ කෝප්පයක් බෙදා ගැනීමත් සමගින් ජපානයේ සම්භාව්‍ය තේ උත්සවයෙහි ආරම්භය සනිටුහන් වූ බැව් සුසුකි විසින් රචිත ”සෙන් හා ජපන් සංස්කෘතිය’’ නමැති ග‍්‍රන්ථයේ ගෙනහැර දක්වා තිබේ.

තේ පානය කිරීම තුළින් මනස ප‍්‍රාණවත්ව හා ප‍්‍රබෝධමත්ව තබා ගැනීමට උපකාරී වනවා මෙන්ම එමගින් ශරීරය මත් නොකරනසුළු වීම ද තේ පානය සඳහා බොහෝ පිරිස් ඇලූම් කිරීමට හේතු වී තිබේ. එපමණක් නොව, විද්වතුන් හා භික්ෂුන් විසින් අගය කරන්නා වූ ගුණාංගයන් සමුදායක් ස්වාභාවයෙන්ම තේ වල අඩංගුව තිබීම තේ පානය ජපානයෙහි ජනප‍්‍රිය වීමට ඉවහල් වී තිබේ. ඒ අනුව, බෞද්ධ ආශ‍්‍රමවල තේ භාවිතය බහුල වූ අතර තේ කලාව භික්ෂුන් මගින් ජපන් සංස්කෘතියට එක් කල සුවිශේෂිත අංගයකි. Tea ceremony අදටත් ජපන් සංස්කෘතියෙන් ගිලිහී යෑමට නොදී රැක ගනිමින් එ ය මතු පරපුරට දයාද කර තිබීම සැබවින්ම පැසසුමට ලක් කළ යුතු වේ. මෙහිදී සෙන් බුදුදහමේ හා තේ කලාවේ දැකිය හැකි පොදු ගුණාංගයක් වන්නේ, ඉන් සරලත්වය නිරූපණය කිරීමයි. එනම්, සෙන් භාවනාවේ අවසාන අදියරය තුළදී අනවශ්‍ය අරමුණු ව්‍යර්ථ කරමින් ජීවිතාවබෝධය මුදුන්පත් කර ගන්නා පරිද්දෙන්, තේ කලාව මගින්, පැමිණ සිටින්නන් හට තේ කුටිය තුළදී තේ පැන් වලින් සංග‍්‍රහ කිරීමෙහි පියවරයන් තුළින් ඉන් ජීවිතයෙහි ගලා යෑමේ ස්වාභාවය පිළිබඳව සංකේතවත් කරනු ලබයි. සුන්දර කිමෝනාවෙන් සැරසුණු කාන්තාවන් තේ පිළියෙල කිරීමේ සිට අමුත්තන් හට ලබා දීම දක්වා තබන්නා වූ සෑම පියවරක්ම මනා වූ සංයමයකින් යුක්තව දිග හැරෙනු ලැබීම තුළින් තේ කලාවේ සාරය බඳු වූ ශාන්තවත් ස්වරූපය ඉන් ගම්‍යමාන කරයි. ඒ අනුව,

ඉතිහාසය හා සබැඳි ජපානයේ තේ කලාවේ අධ්‍යාත්මික අරුත  

මෙමගින් පෙනී යන වැදගත් කරුණක් වන්නේ, තේ කලාව හා සෙන් බුදුදහම සමීපව සම්බන්ධ වන්නේ, එහි ප‍්‍රයෝගිකමය වශයෙන් ඇති වූ විකසනය තුළින් පමණක් නොව ප‍්‍රධාන වශයෙන්ම, උත්සවය සිසාරා දිව යන්නා වූ සිය ආත්මයත් සමගින් මුසු වූ එකී සුවිශේෂිත ගුණාංගයන් පිළිපැදීම තුළින් බවයි. මෙහි ආත්මය යන්නෙහි සැබෑ අරුත ඉස්මතු වන්නේ, සංහිඳියාව, ගෞරවය, පවිත‍්‍රත්වය හා සන්සුන් බව යන සියලූ ගුණාංගයන් එකෙනෙක හා මුසු වී ක‍්‍රියා කිරීම තුළිනි. එබැවින් මෙම සිව්වැදෑරුම් අංගයන් තේ උත්සවය නිමාවේ දී විශිෂ්ට සාඵල්‍යක් කරා ගෙන යන්නා වූ රංග පීඨයෙහි විචිත‍්‍රත්වය මනෝරම්‍ය කරන්නා වූ ප‍්‍රධාන ධාවකයන් සතර වෙති. සෞම්‍ය වූත් සුඛිත මුදිත වූත් ජීවන රටාවක් උදෙසා මෙම ගුණාංගයන් සියල්ල ම පාහේ අත්‍යවශ්‍ය සාධකයන් වන අතර සරලවම මෙම අංගයන් සතරින් නිරූපණය වන්නේ, සෙන් ආරාමයන්හි ගෙවී යන්නා වූ නිරාමිස සන්සුන් දිවි පැවැත්මෙහි ස්වරූපයයි. ඒ අනුව, තේ කලාවෙහි දැකිය හැකි විශේෂිත ගුණාංගයන් හා සෙන් බුදුදහම අතර අන්‍යෝන්‍ය බැඳීමට මෙවැනි සැඟවුණු අර්ථවත් භාවයන් හේතුපාදක වී ඇති බව නොහැඟේද?

තේ පිළියෙල කරනු ලබන කාමරය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම සරලත්වයේ ප‍්‍රතිමූර්තියකි. තේ පිළියෙල කිරීම සඳහා ජලය උණු වනතුරු පැමිණ සිටින අමුත්තන් කේතලය ඉදිරිපිට තතමි පැදුරු මත නිශ්ශබ්දව දණ ගසා සිටින්නේ උණු තේ බඳුනක් තමා වෙත ලැබෙනතුරු නොවිසිල්ලෙන්ය. අනතුරුවල ආගන්තුක සත්කාර කරනු ලබන්නා විසින් තේ සකස් කරනු ලබන භාජන රැගෙනවිත්, එහි ඇතුළුව මනා සංයමයකින් හා කලාත්මක සුසංයෝගයකින් යුක්තව තේ පිළියෙල කරනු ලබයි. එම දසුන සැබවින්ම බලා සිටින්නාගේ චිත්ත ඒකාග‍්‍රතාව මඳකට සමාධිගත කරලීමට සමත් කරවයි. මෙහිදී පැමිණ සිටින අමුත්තන් තම දෙදණ නමා පොළොවෙහි ස්පර්ශ වන පරිදි දී වාඩි වී සිටිය යුතු වේ. මෙම උත්සවයට සහභාගි වන ඇතැම් බටහිර ජාතිකයන් සිය ආත්මයම උත්සවයට මුසු කර ලමින් එය නිශ්ශලව රස විඳින අතරතුර තවකෙක් එලෙස දිගු වේලාවක් එකම ඉරියව්වකින් දණින් වාඩි වී සිටීම පීඩාකාරී බව වටහා ගනිති.

ජපන් සංස්කෘතිය නම් දිගැසිය සුන්දරත්වයෙන් සුපිෂ්පිත කරලීමට සමත් වූ තේ කලාවේ මිඩංගු ඒ අපූර් ව සංයමය පිළිබඳව දීර්ඝ දිගහැරුමක් සුසුකි ((Daisetz T. Suzuki) විසින් රචිත ‘සෙන් බුදුදහම හා ජපන් සංස්කෘතිය’ නම් කෘතියෙහි විස්තරාත්මකව පහත පරිදි ගෙනහැර දක්වා තිබේ.

”සංහිඳියාව’’ යන්නෙන් ”ආත්මයෙහිම ඇති මෘදු බව’’ නිරූපණය කෙරෙන අතර තේ කලාවේ සමස්ත ක‍්‍රියා පටිපාටිය තුළින් සකල ආත්මය සිසාරා විහිදී ඇත්තා වූ ඒ අපූර්ව සෞම්‍යත්වය හා මටසිලූටත්වය මා මනසෙහි චිත‍්‍රණය කිරීමට සමත් විය. සංහිඳියාව තුළින් හැඩ ගැස්වීමකට මඟ පාදන අතර මෘදු බව තුළින් අභ්‍යන්තර හැ`ගීම් ප‍්‍රතීයමාන කරයි. සෑම අංශයකටම විහිද යන්නා වූ ශාන්තවත් ස්වරූපයක් නිර්මාණය කිරීමට අවැසි නැඹුරුව තේ කුටියෙහි නිර්මිත සාමාන්‍ය පරිසරය තුළ සැකසී තිබීම විස්මිතය – ස්පර්ශයෙහි, ගන්ධයෙහි, ආලෝකයෙහි මෙන්ම ශබ්දයෙහි යන සියල්ලෙහි මුසු වූ ශාන්තවත් හා මෘදු බව මීට ඇතුළත් වේ.

තවදුරටත්, ඔහු සිය කෘතියෙහි විස්තර කරනු ලබන්නේ, තේ කලාවේ මිඩංගු පාරිශුද්ධභාවය තුළින් තා ඕවාදී ඉගැන්වීම්වල ඇති පාරිශුද්ධත්වය පිළිබඳව සිහිපත් කරලන බවයි. මෙම ශික්ෂණයන් දෙකෙහිම පොදු ලක්ෂණය හා ප‍්‍රධාන පරමාර්ථය වන්නේ, ඉන්ද්‍රියන් පිනවීම නම් වූ කෙලෙස් නමැති ගින්නෙන් කෙනෙකුගේ මනස දැවීම වැළැක්වීමට අවැසි මාර්ගය විවර කර දීමයි. වරක් තේ පිළිබඳව අධ්‍යනයක නිරත වූ එක් ආචාර්යවරයෙක් පවසා සිටියේ, තේ කලාවෙහි සාරය මගින් පුද්ගලයකු ගේ ඉන්ද්‍රියයන් සය අපිරිසිදු වීම වළක්වන බවයි. කුටියෙහි වෙන් කොට ඇති කුඩා කොටසෙහි එල්වා ඇති රාමු නොකරන ලද අලංකෘත බිත්ති එල්ලනය (මෙය ජපන් බසින් ‘කකෙමොනො‘ ලෙසින් හඳුන්වයි) දැකීම තුළින් හා අසල බඳුනෙහි තබා ඇති පුෂ්පයන්හි ගන්ධය තුළින් කෙනෙකුගේ නේත‍්‍ර හා ආඝ‍්‍රාණය පවිත‍්‍ර කරවන බවත් කේතලයෙහි ජලය නටන හඬ සවනත ගැටීමෙන් හා උණ බටය තුළින් කාන්දු වන්නා වූ ජල බිංදු වලට සවන් දීමෙන්, කෙනෙකුගේ ශ‍්‍රවණේන්ද්‍රිය පවිත‍්‍ර කරවන බවත් තේ රස බැලීම තුළින් කෙනෙකුගේ මුඛය පවිත‍්‍ර කර වන බවත් ඒ අනුව, මෙලෙස සියලූ ඉන්ද්‍රියයන් පිරිසිදු වූ විට, නිතරගයෙන්ම සියලූ කෙලෙසුන්ගෙන් මනස පවිත‍්‍රත්වයට පත්වන බවත්ය.

මේ අනුව බලන කල්හි, සියල්ල කැටිකොට ගත්විට තේ කලාව යනු එක්තරා අධ්‍යාත්මික විනයක් බව පෙනේ. තේ කලාව අප හට සංහිඳියාවේ අරුත පිළිබඳවත්, අපවිත‍්‍රත්වයෙන් නිකැලැල් වීමටත්, සන්සුන් බවේ හා ශාන්තත්වයේ ගිලී සිටීමටත් අවැසි ශික්ෂණය ලබා දෙනු ලබයි. තේ උත්සවය පුද්ගලයන් හට නැවුම් හැඟීමක් ලබා දෙන අතර එය ඔවුන්ට මොහොතකට ඝෝෂාකාරී හා තම කාර්යබහුල ලෝකයෙන් මිදී චිත්ත ඒකාග‍්‍රතාව රැක ගැනීමට ඉවහල් වන දිව ඔසුවක් වැනි ය.

ඉෂිණි සමාධි දිසානායක
ඉතිහාස අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment