ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා 05 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
05 දින උදෑසන 08.12 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පිළිගැනීම සිදුකළ අතර පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද පැමිණ සිටියේය.
කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.
“මම සෑම වසරකම මගේ දරුවන් බලන්න ඇමෙරිකාවට යනවා. මම පාර්ලිමේන්තුවට එන්නෙ නැහැ. හැබැයි ඊළඟට පැමිණීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනාධිපතිවරණය යන මැතිවරණ දෙකෙන් කුමන මැතිවරණය තිබ්බත් මම පොදුජන පෙරමුණ සංවිධානය කරනවා. ඒ වගේම කවුරු මෙම මැතිවරණ සඳහා තරග කළත් පොහොට්ටුවේ සහයෝගයෙන් තමයි දිනන්න වෙන්නේ.
අපගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිල් කීපයකට බෙදී සිටිනවා. ආයෙත් එක් වෙනවා. ඒක තමයි ස්වභාවය.
ඉදිරි මැතිවරණවලට තරග කිරීම පිළිබඳ නායකතුමා, ජනතාව සහ පාක්ෂිකයන් එක් වී අවශ්‍ය තීරණ ගනීවි” යැයි පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
“අපි ආණ්ඩුවට සහාය දක්වන නිසා ආණ්ඩුව ආරක්ෂා කරන්නත් පියවර ගන්නවා. නැතිව අපිට ආණ්ඩුවේ කකුලෙන් අදින්න බැහැ.
බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මැති – ඇමැතිවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එම පක්ෂයේ උසස් නිලතල දරන පාක්ෂිකයන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක ටී.කේ.ජී. කපිල