ඉදිරි අවුරුදු පහේදී ඖෂධ නිපදවීම සියයට 80 දක්වා වැඩි කරනවා – සෞඛ්‍ය ඇමැති වෛද්‍ය – රමේෂ් පතිරණ

101

සෞඛ්‍ය අර්බුදය මහා සාගරයක් වගෙයි – වෛද්‍ය රාජිත සේනාරත්න (සජබ)

උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරු රාශියක් රැකියා විරහිතව සිටිනවා – රාජ්‍ය ඇමැති – සිසිර ජයකොඩි

වැරදි කරපු අයට තරාතිරම නොබලා ක්‍රියා කරන්න – ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

දැනට අවශ්‍ය ඖෂධ 850න් 210ක් දේශීයව නිෂ්පාදනය කරන අතර ඉදිරි අවුරුදු පහත් දහයත් අතර කාලයේදී එය සියයට 80ක් දක්වා වැඩි කිරීමට හැකිවෙනු ඇතැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. නිවේදන, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදු විය. අනතුරුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසනු ලබන ප්‍රශ්න ඉදිරිපත් කිරීම සහ ඒවාට අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරිණ. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනිණ.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

විවාදය ආරම්භ කරමින් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා (සජබ)-

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා අර්බුදයක් ඇති වී තිබෙන මොහොතක වෛද්‍යවරයෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ඇමැතිවරයා ලෙස වැඩ භාර ගැනීම ගැන අපි මුලින්ම සතුට ප්‍රකාශ කරනවා. දේ දැන් තිබෙන සෞඛ්‍ය අර්බුදය මහා සාගරය වගෙයි. ඉන් පිහිනලා ගොඩ එන්න නව සෞඛ්‍ය ඇමතිවරයාට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි එදා සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කර ගත්තා. නමුත් අද වන විටත් ඖෂවල විශාල ගැටලුවක් තිබෙනවා. ප්‍රමිතිය වගේම මිල සම්බන්ධයෙනුත් ගැටලුවක් තිබෙනවා. අපි එදා ඖෂධ මිල පාලනය කළා. ස්ටෙන්ට්, අක්ෂිකාච විශල වශයෙන් මිල අඩු කළා. එදා ඩොලරයේ අගයට අනුව අපි මිල පාලනය කළා. අදත් එහෙම මිල පාලනය කරන්න පුළුවන්. අවස්ථා තුනකදී අපි මිල පාලනය කළා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති අනනුවයි මිල පාලනය කළේ. ෆාමසි කියන විදියට මිල පාලනය කරන්න එපා ඒවා බොරු ඒවා. දැන් ඖෂධවල ප්‍රමිතිය විශාල ඛේදවාචකයෙක් වුණා. පසුගිය කාලයේ හිටපු ඇමැතිවරයා ඖෂධ ගන්න ගියේ හාල් පරිප්පු ගන්න විදහට. මම ඒ සෞඛ්‍ය ලේකම්ටත් කිව්වා මේකට අත ගහන්න එපා ඔයාට හිරේ යන්න වෙයි කියලා. අද ඒක වෙලා තිබෙනවා. ඊට කලින් අන්න එයා රෝහල් ගත වෙලාලු. ඖෂධ ගන්න එක වෛද්‍යවරුන්ට දෙන්න කියලා මම එදා කිව්වා. ඒ කරපු වැඩෙන් ඉදිරියේදී මිනිස්සුන්ගෙ ජීවිතවලට අවදානමක් වේවි. දැන් එන්එම්ආර්. එකට පත් කරලා තිබෙන අය හොඳයි ඒ වැඩ ටික කරගෙන යන්න. දැන් ඖෂධ ගබඩාව වැදගත්. නමුත් දැන් ඒ ගබඩාවේ ඉන්න අය තමයි වැරදිකාරයෝ වෙලා හිරේ ගිහින් ඉන්නේ. ඒ අහිංසක මිනිස්සු. අපි දැන්වත් ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන්න ඕන. ඒක ඉතාමත් ලාභදායී වැඩක්.

(ෂානක්‍යයන් රාසපුත්‍රන් මහතා මූලාසනයට පැමිණේ)

සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා-

අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල වශයෙන් වර්ධනයක් තිබෙනවා. කොවිඩ් සමයේදී අපි ඉතා කැපවීමෙන් සාධනීය තත්ත්වයක් අත්කර ගත්තා. නමුත් මේ වන විට ඖෂධ අර්බුදය විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. අපේ මූල්‍ය තතත්වය මත එය වැඩි වශයෙන් වර්ධනය වුණත් තවත් මාස දෙක තුනක් ඇතුළතදී ඒ තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන් වේවි. අපි මේ වන විට හදිසි මිලදී ගැනීම් වහාම නවත්වා තිබෙනවා. ඒ වගේම මේ වන විට ලංකාවේ ඖෂධ නිපදවීම සම්බන්ධයෙන් විශාල උනන්දුවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ලියාපදිංචිවීම් කළ යුතුයි ඒ සඳහා අතිවිශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. පසුගිය අවුරුදු දෙක තුළ මේ ඖෂධ නිපදවීමේ කර්මාන්තය ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ අනුව අපි ලංකාව ඇතුළත භාවිතා කරන ඖෂධ අටසිය පනහෙන් 210ක් නිපදවා ගැනීමට හැකියාව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20ක්. ඒ වගේම ලංකාවේ කර්මාන්ත ඖෂධ නිෂ්පාදන කර්මාන්ත අලුතින් ලියාපදිංචි වීමට අවස්ථාව ඉල්ලා තිබෙනවා. ඒ සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපට අවශ්‍ය ඖෂධවලින් සියයට 80ක් ඉදිරි අවුරුදු පහත් දහයත් අතර කාලයේදී නිෂ්පාදනය කරන්න පුළුවන් වේවි. දැනට ලංකාවට ඖෂධ ගෙන්වන්න ඩොලර් මිලියන 600 ගණනකට වැඩිවෙන් වැය වෙනවා. ඒ නිසා ඖෂධ අපේ රටේම නිෂ්පාදනය කරලා මේ වියදම අඩු කරගන්නත් අපනයනයට අතහිත දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වෛද්‍ය වෘත්තිකයන් රට හැර යන්න පටන් ගෙන තිබෙනවා. අපි ඒ අංශ එක්ක කතා කරලා මුදල් අමාත්‍යංශය සමගත් කතා කරලා ඒ සම්බන්ධයෙන් විධිමත් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගත් අංශවලින් විශේෂඥ වෛද්‍යවරුන් බිහිකිරීමට අදාළ ඉල්ලීම් කර තිබෙනවා.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) :

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය අවදානම් රැසකට මුහුණ දීලා. ජනතාවට සෞඛ්‍ය සේවය කෙරෙහි විශ්වාසය ඇතිවිය යුතුයි. අද නිදහස් සෞඛ්‍ය සේවය ගැන තිබූ විශ්වාසය බිඳවැටිලා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා තවත් ආයතන කිහිපයක ක්‍රියාකාරිත්වය මේ විශ්වාසය බිඳ වැටීමට හේතු වෙලා.

2022, 23 වර්ෂවල අයුතු ක්‍රියාකාරකම් මේ ආයතනවල සිදුවෙලා. මේවා ගැන සොයා බලන්න. දූෂණයට උපකාර කරන විදිහටයි ක්‍රමවේද හැදිලා තියෙන්නේ. පත්කරන නිලධාරීන් ගැනත් ප්‍රශ්න තිබුණා. වැරැදි කරපු අයට තරාතිරම නොබලා ක්‍රියා කරන්න.

මානසික සෞඛ්‍ය සේවය දියුණු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන්න. අද රටේ පවතින තත්ත්වය අනුව එය අත්‍යවශ්‍යයි. බෝනොවන රෝග වළක්වන ක්‍ෂේත්‍රය ඉතා දියුණු කළ යුතුයි. ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයටත් මේ රෝග නිවාරණයට යා හැකියි.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ අබේගුණවර්ධන (ශ්‍රීලපොපෙ):

පාසල්වල ඉස්සර දරුවන්ගේ ශරීර සුවතාවට උදෑසන සරඹ තිබුණා. අද ඒවා නෑ. අද අවුරුදු 10 කුඩා දරුවාටත් දියවැඩියාව. දරුවන් වගේම වැඩිහිටියන්ටත් ව්‍යායාම අවශ්‍යයි. අපේ ආණ්ඩු ව්‍යායාම මංතීරු හැදුවා. තරුණයන් ඒවායින් ප්‍රයෝජන ගන්නවා. නිරෝගිමත් පුද්ගලයකු හදන්න පාසලෙන් පටන්ගත යුතුයි.

අද විදේශිකයෝ ලංකාවට ඇවිත් දේශීය වෙදකම් කරනවා. අපි රෝහල් බෙහෙත් හදන්න තවම ක්‍රියා කරනවා. මුලින්ම පෙර පාසලේ සිට දරුවන්ට ආකල්පමය වෙනසක් ඇතිකර නිරෝගී දරුවන් බවට පත් කරන්න. දරුවන්ට අද දුරකතනය නැතිව බෑ. මේ තත්ත්වය වැළැක්විය යුතුයි. දේශපාලනයේ උඩුගම් බලා යනවානම් අපි එක් අයෙකු හෝ නිරෝගීව ජීවත් කරවීමට උත්සාහ කළ යුතුයි. දේශපාලකයෝ හැම වෙලාවේම පෙළඹෙන්නේ රෝහල් හැදීමට හා බෙහෙත් හදන්නයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව ඖෂධ නීති හදලා පාර්ලිමේන්තුවේ දී අපි එදා සම්මත කරගත්තා. එයට වෙච්ච දේ මොකද්ද කියන එක ප්‍රශ්නයක්. බාල ඖෂධ, හා වෙනත් තත්ත්වයේ ඖෂධ සඳහා පිළියම් ඒ පනතේ තිබුණා. ඒ පනත නිකම්ම යට ගියා. එය වහාම ක්‍රියාත්මක කරන්න.

ප්‍රාදේශීය රෝහල් 40ක් විතර වහලාලු. ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන් තමයි ඒ කාලේ එම රෝහල්වල සේවය කළේ. ප්‍රාදේශීය රෝහල් වහන්නේ නැතිව ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ වයස් සීමාව වැඩිකර තබාගන්න.

රෝහල් හදන එක මැෂින් ගේන එක නොවෙයි රෝග නිවාරණ අංශය ශක්තිමත්ව තිබිය යුතුයි. පෝෂණවේදීන් හිඟයි. පෝෂණවේදීන් සුළු පිරිසයි ඉන්නේ. රෝග වැළැක්වීම සඳහා ඔවුන්ගේ සේවය අවශ්‍යයි.

එදා 2010 දී මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න. එහෙත් සෞඛ්‍ය ඇමැතිකම තමයි මාව ජනාධිපතිධුරය කරා ගෙන යන්න පහසු වුණේ.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය චන්න ජයසුමන :

වෛද්‍යවරු 10දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අපි සියලු දෙනාගේ සංසදයක් තියෙනවා. අපි විපක්‍ෂයේ හිටියත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුද විසඳීමට කොන්දේසි විරහිතව ඇමැතිතුමාට සහය දෙනවා.

කොවිඩ් වසංගතය කාලයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගියේ. එහිදී ගත් පියවරයන් ඉදිරියට ගෙන යන්න ඔසුසැල් දැනට 50යි තියෙන්නේ. රටපුරා තවත් ඔසුසැල් 50ක් පිහිටුවන්න සැලසුම් කළා. නමුත් ඉටුකරන්න බැරි වුණා. ඉදිරියට මේ කටයුත්ත සිදුකරන්න. අද සියලුම රාජ්‍ය ආයතනවල ලංකාවේ සේලයින් භාවිතා කරන්නේ මේ තත්ත්වය තවත් ඉදිරියට යා යුතුයි. ඖෂධ නිෂ්පාදන මෙරට නිපදවීම වැඩි කිරීමට ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටුවීමට ක්‍රියා කළා. එයත් ඉදිරියට ගෙන යන්න.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි :

ඖෂධීය ප්‍රතිකාරවලින් පමණක් රෝග සුවකළ නොහැකියි. ශාරීරික හා යෝග ව්‍යායාම සතිමත්භාවය, නිවැරදි ආහාර ක්‍රම, සංගීත චිකිත්සාව, ජල චිකිත්සාව ආදිය ගැන අද ලෝකයේ ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ වී තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීමට අපි සැවොම එක්වෙමු.

රටේ සම්ප්‍රදායික ඖෂධ වට්ටෝරු සංග්‍රහගත කරලා නෛතික බලය දුන්නා. ආයුර්වේද නීති සංග්‍රහය කෙටුම්පත් කළා.

ආයුර්වේද පනත මගින් ආයුර්වේද හා පාරම්පරික වෛද්‍යවරුන්ට නිසි තැන ලබා දුන්නා. අවුරුදු 70ට වැඩි පාරම්පරික වෛද්‍යවරුන්ට විභාගවලින් තොරව දැනුම, අත්දැකීම් මත ලියාපදිංචිය ලබාදෙනවා.

උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරු රාශියක් විශාල වැය බරක් දරා රැකියා විරහිතව සිටිනවා. ඔවුන් බඳවා ගැනීමේ කටයුතු කරනවා. සායනික පුහුණුව ලබා දෙන්න පියවර ගන්නවා. විදේශ විනිමය උපයන ක්‍රියාමාර්ගයක් ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය දියුණු කළ හැකියි. ඒ සඳහා සංචාරක ව්‍යාපාරයට ආරාධනා කරනවා.

රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ :

කරාපිටිය රෝහල ලංකාවේ තෙවැනි විශාලම රෝහලයි. එහි පරීක්‍ෂණාගාරයේ නිතර ප්‍රශ්න ඇති වෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න.

ගාල්ල මහමෝදර ළමා රෝහලක් ඉදිකරන්න මූලික පියවර ගත්තා. ඉදිරියේ දී මෙම රෝහල ඉදිකරන්න පියවර ගනිමු. ගැබිණි මව්වරුන්ට අවශ්‍ය විටමින් වර්ග සායනවල අඩුයි. ඉතා ඉක්මනින් කැල්සියම් පෙති හා විටමින් වර්ග ලබාදෙන්න. ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට දැරියන්ට දෙන එන්නත නිසා විශාල පිටිවහලක් ලැබෙනවා. මේ ගැන අවධානය යොමු කරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) :

2016 ජුලි මාසයේ දී සුවසැරිය ව්‍යාපෘතිය පටන් ගත්තා. සුවසැරිය පිහිටුවනවිට මට නොයෙක් ද්වේශ සහගත චෝදනා කළා. ඔවුන්ට මම සමාව දුන්නා. අද වනවිට දිනකට දුරකතන ඇමතුම් 5325ක් ලැබෙනවා. හදිසි ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීම් දිනකට 1050ක් සිදුවෙනවා. අද වනවිට මුළු රෝහල්ගත කිරීම් 17,39171 ක් සිදුකර තියෙනවා.

දරුවෝ 687 දෙනෙක් සුවසැරිය ගිලන් රථ තුළ ඉපදී තියෙනවා. දැනට කාර්ය මණ්ඩලය 1210 යි ඉන්නේ. අවමය 1661ක් සිටිය යුතුයි. අපිට අවමය පුරවාගත යුතුයි.

පාර්ලිමේන්තුව නැවත අද (01දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment