ඉදිරි මැතිවරණය හමුවේ මූල්‍ය අරමුදලේ එකඟතා…

237
තවත් මාස කිහිපයකින් ජාතික මැතිවරණයකට මුහුණ දීමට මේ රටේ ජනයාට සිදු වේ. ඒ සඳහා වත්මන් රජය නියෝජනය කරන පාර්ශ්වයන් මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ ද සූදානම් වෙමින් සිටින බව පෙනේ. ඒ සමගම කිව යුත්තේ මේ මොහොතේ රට තවමත් තිබෙන්නේ වැටුණු ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට වෙර දරමින් බවයි. ඒ සඳහා අනුගමනය කරමින් තිබෙන වැඩපිළිවෙළක් දැන් තිබෙන අතර එහි සැලකිය යුතු ප්‍රගතියක් ද මේ වන විට අපි අත්පත් කරගෙන ද සිටිමු. 2022 වසරේ රට මුහුණ දී සිටි තත්ත්වය ගැනත් ඒ නිසාම පොදුවේ මහජනයා විඳි දුක්ගැහැට ගැනත් අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මේ නිසා මේ යන ආර්ථික ගමන් මාර්ගයේ (ප්‍රතිපත්ති දිශානතියේ) ඉදිරියට ගමන් කරමින් අපේ ආර්ථිකය තවදුරටත් යථාවත් කරගත යුතුව තිබේ. එහිදී අපට ලබා දී ඇති ණය වැඩසටහනට අදාළව මූල්‍ය අරමුදල සමග රජය ඇතිකරගෙන තිබෙන එකඟතා සපුරාලිය යුතු ද වේ. එසේ නැතහොත් අපට එම අරමුදලේ ඉදිරි ණය වාරික නොලැබී එම වැඩසටහන අකර්මණ්‍ය වී නැවතත් අප 2022 වසරේ සිටි බලවත් ආර්ථික අගාධයකට වැටෙනු ඇති බවට ද රජය පැත්තෙන් අනතුරු ඇඟවීම් සිදුකර ඇත. මේ හා සමාන පණිවිඩයක් පසුගියදා නිකුත් වූ මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ (2023) ද සඳහන්ව ඇත. මේ ගැන අප මීට පෙර ද සඳහන් කර ඇත. එහෙත් මේ කියන්නේ අයිඑම්එෆ් වැඩසටහන දශමයකින් හෝ වෙනස් කළ නොහැකි බව ද? මේ ගැන අප මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

දැනට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් අපේ ආර්ථිකය මුදා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඉදිරි මැතිවරණයෙන් රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති වීම සහ ඔවුන් අනුගමනය කරන වැඩපිළිවෙළේ අනිවාර්ය බලපෑමක් ඇති විය හැකිව තිබේ. මේ නිසා රටේ හෙට දවස වෙනුවෙන් ප්‍රමුඛතම කාරණයක් වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්ති දිශානතියේ ඉදිරියට ගමන් කිරීමයි. එහෙත් එහි අදහස පවතින අයිඑම්එෆ් වැඩසටහන අනාගත රාජ්‍ය පාලනයේ දී දශමයකින් හෝ වෙනස් කළ නොහැකි බවක් ද? එය එලෙසම අනුගමනය කළ යුතු බවක් ද? මේ ගැන දැනටමත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පිළිතුරක් දී ඇති අතර ඒ අනුව පවතින රාජ්‍ය පාලනය තුළම ද අයිඑම්එෆ් වැඩසටහනේ යම් වෙනස්කම් දැනටම ඇතිව තිබේ. ඒ නිසා මේ දිනවල දේශපාලනඥයන් ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන කියන දේවල් ගැන අප නිවැරදිව වටහාගත යුතුව තිබේ.

මේ කාරණය සම්බන්ධයෙන් එනම් අනාගත රජයකට අයිඑම්එෆ් වැඩසටහන දශමයකින් හෝ වෙනස් කළ නොහැකි ද යන කරුණ ගැන පසුගිය මහ බැංකු මාධ්‍ය හමුවේ දී මේ ලියුම්කරු විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දුන්නේ මෙවැනි පිළිතුරකි.

දැන් අපි සම්පූර්ණ කිරීමට නියමිතව ඇත්තේ අයිඑම්එෆ් වැඩසටහනේ දෙවැනි සමාලෝචනයනේ. මුලින්ම කාර්ය මණ්ඩල එකඟතාව ආව එකයි පළවෙනි සමලෝචනයයි, දෙවෙනි සමාලෝචනය කරාට පස්සේ එන එකයි පළවෙනි එකත් එක්ක සන්සන්දනය කරලා බැලුවම, පැහැදිලිවම පේනවා මාස හයෙන් හයටත් යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේක දශමයකින්වත් වෙනස් කරන්න බෑ කියන එක පසුගිය කාලෙත් වෙලා නෑ. උදාහරණයක් විදියට ගත්තොත් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය කියන එක අර සැප්තැම්බර් මාසේ මූල්‍ය ප්‍රතිපත්තියේ තිබුණ එකම නෙවෙයි දැන් ස්වාධීන මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ රටට ගැළපෙන ආකාරයට කලින් කලට ඒ ප්‍රතිපත්ති යම් යම් ආකාරයට සාකච්ඡා කරලා ගැළපෙන ආකාරයට වෙනස්කම් කර ගැනීමට බාධාවක් නෑ අපේ දැනුමේ හැටියට. ඒ වුණත් අර ප්‍රධාන වශයෙන්ම යන දිශාවක් තියෙනවනේ. අපි කියමු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, රාජ්‍ය ණය තිරසාරත්වය ඇති කර ගැනීම, අයවැය හිඟය අඩු කර ගැනීම, මහ බැංකුවේ ස්වාධීනත්වය, රටේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඒවගේම අපේ වගකීම වන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කිරීම යනාදිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඒ දිශානතිය ඒ ආකාරයටම යන්න ඕන. ඒ ඇතුළත තියෙන යම් යම් ප්‍රතිපත්ති අඩු වැඩි කිරීමක් මම හිතන්නේ කරන්න එහෙම බාධාවක් නෑ. මේක එකම රාමුවකට හිර කරලා වගේ තියෙන එකක් නෙවෙයි. මොකද මේකෙදි රටට ගැළපෙන හොඳම දේ සාකච්ඡා කරලා අපිට හැකියාවක් තියෙන්න ඕන මේක නම් නිවැරදි දේ ඒක ක්‍රියාත්මක කර ගැනීමට අපිට ඒ වෙනස්කම් කරන්න පුළුවන් කියන එක. ඒ අනුව උදාහරණයක් ලෙස රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ ප්‍රාථමික අයවැය හිඟය සියයට 2.3 ක් තියෙන්න ඕන කියන එක අත්‍යවශ්‍යම දෙයක් පවත්වාගෙන යන්න රටේ ණය ස්ථායි කරන්න නම්. එතකොට අලුතින් ප්‍රතිපත්තියක් ගෙනාවත් රටේ අයවැය හිඟය වැඩි කරනවා, රටේ ප්‍රාථමික අයවැය හිඟය තවදුරටත් අඩු කරනවා කියල, ඒක කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම කරන්න පුළුවන් වුණත් රටට හොඳ නැති දෙයක්. ඒ නිසා ඒ වගේ දේවල් නොකළ යුතුයි. ඒක ඇතුළේ කොහොම ද කරන්නේ කියන එක, රජය වියදම් කරන්නේ කොහොමද, ආදායම් ලබා ගන්නේ කොහොම ද කියන එක, ඒක තීරණය කරන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තිවල දිශානතියක් තියෙනවා නේ. එතකොට ඒ දිශානතියට යන්න ඕන කියන කාරණය තමයි තියෙන්නේ. මෙතෙක් කල් අයිඑම්එෆ් සමග වැඩසටහන්වලදි රජයක් වෙනස් වුණත් නැති වුණත් එහෙම තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මහ බැංකු අධිපතිවරයාගේ මේ අදහස අනුව අපට ඉතාම පැහැදිලි වන දෙය නම් අයිඑම්එෆ් වැඩසටහන යනු දශමයකින්වත් වෙනස් කළ නොහැකි අනම්‍ය එකක් නොවන බවයි. ඒ අනුව ගමන් කරන මූලික ප්‍රතිපත්ති දිශානතිය තුළ එහි යම් යම් වෙනස්කම් කර ගැනීමට හැකියාවක් තිබේ. දැනටම එම මුල් වැඩසටහන සමග බලන විට එවැනි වෙනස්කම් සිදුව ද තිබේ. ඒ නිසා අපගේ අදහස ඉදිරි ජාතික මැතිවරණයෙන් කවර රජයක් බලයට පත් වුවත් ඔවුන්ට තමන්ගේ ද ප්‍රතිපත්ති තුළ මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් අයිඑම්එෆ් වැඩසටහන සමග ඉදිරියට ගමන් කරමින් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට ක්‍රියා කළ හැකි බවයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාම නැවත බලයට පත් වුවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවත්, එසේම යම් හෙයකින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වුවත්, එසේ නැත්නම් වෙනත් අයෙකු ජනාධිපති වුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන වැල් පාලමේ මෙතෙක් පැමිණි තැන සිට ආර්ථික ගමන්මගේ ඉදිරියට ගමන් කළ හැකිය. එහෙත් මූලික වශයෙන් මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ සහ එකඟතා සපුරමින් මේ කවර පාර්ශ්වයකට වුව ද ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අනුගමනය කරන මෙම ප්‍රතිපත්ති දිශානතිය වෙනස් නොකර කටයුතු කිරීමට සිදුවනු ඇති බව නම් කිව යුතු වේ. මේ අය ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් දේශපාලන වේදිකාවේ කවර දේ කියා සිටියත් මේවා ඔවුන් නොදන්නවා ද නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවන් කඩ කළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීතිගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කරවනැල්ල, වැන්දල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ පෙරේදා (04) පැවැති “උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම හා අඩු ආදායම්ලාභීන්ට සහල් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතා අනුව රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම වෙනුවෙන් සපුරාගත යුතු ආර්ථික ඉලක්ක ගණනාවක් පවතින බවද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එම ඉලක්ක කඩ කිරීම යනු රටේ ආර්ථිකය විනාශ කිරීමක් වන බැවින් දේශපාලන අරමුණු වෙනුවෙන් වේදිකාවල ප්‍රකාශ සිදු නොකර පවතින රාමුව තුළ පමණක් කතා කිරීම විපක්ෂයේ වගකීම වන බවද සඳහන් කර ඇත. විපක්ෂය, විපක්ෂයේ සිටින්නේ රට වෙනුවෙන් එදා වගකීම් භාර නොගෙන සාම්ප්‍රදායික දේශපාලනයේ නිරත වූ නිසා බව පැවසූ ජනාධිපතිවරයා එදා නොබියව අභියෝගය භාරගත් ආණ්ඩුව අද එහි සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එබැවින් රට වෙනුවෙන් එක් මාර්ගයක ගමන් කරමු යැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉදිරි මැතිවරණය හමුවේ මූල්‍ය අරමුදලේ එකඟතා…

තම පක්ෂයට පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් පමණක් තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාර ගත්තේ ඉතිහාසයේ අමාරුම තත්ත්වයකට රට ඇදදමා තිබිය දී බව නම් අපට පිළිගැනීමට සිදු වේ. එසේ එම බලවත් අභියෝගය භාර ගනිමින් බංකොලොත් වී තිබූ රට මේ තත්ත්වයට ඔහුගේ නායකත්වයෙන් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ මහ බැංකු අධිපතිත්වයෙන් ගෙනවිත් තිබේ. එම ක්‍රියාවලියේ දී අනුගමනය කළ බදු වැඩි කිරීම් ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ සාමාන්‍ය ජනතාව ඉතා අමාරු ආර්ථික පීඩනයකට පත්ව සිටින බව ද සත්‍යයකි. එහෙත් 2022 දී රට පත්කර තිබූ වාතාවරණය මේ වන තෙක් තිබුණේ නම්, එසේම අයිඑම්එෆ් සහාය ගෙන මේ ගමන නොපැමිණියේ නම්, අද රට කවර තැනක තිබෙනු ඇති ද යන්න සිතා ගැනීමටත් අසීරුය. මේ නිසා සාර්ව ආර්ථික වාතාවරණයේ සැලකිය යුතු දුරකට ස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට වත්මන් රජයත්, මහ බැංකුවත් සමත් වී ඇත. අවශ්‍ය කරන්නේ මෙය දිගුකාලීන ආර්ථික ස්ථායිතාවක් බවට පත් කරගෙන සාමාන්‍ය ජනයාට තිබෙන බලවත් පීඩාව සමනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. ඒ නිසාම අප සිතන්නේ වැටුණු ආර්ථිකය තවදුරටත් ගොඩ ගැනීම සඳහා අනුගමනය කරන, මේ ප්‍රතිපත්ති දිශානතියේ ගමන් කිරීමේ දී අතිමහත් බහුතර ජනයාටම බර පටවන්නේ නැතුව එහි පීඩාව,වේදනාව සමාජයේ විවිධ පාර්ශ්වයන් අතර සාධාරණ පදනමක් මත බෙදාගත යුතු බවයි. ඒ සඳහා අංක එකට ආදර්ශ ලබා දිය යුතු රාජ්‍ය පාලකයන්ගේ සහ මහ බැංකු නිලධාරීන්ගේ සිට පහළට ගත් විට, එය ඒ ආකාරයෙන් සිදුව නැති බව නම් කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ. තමන්ට හැන්ද තිබෙන විට තමන්ටම බෙදා ගැනීම පහසුය. එහෙත් එසේ හැන්ද තිබුණ පළියට තමන්ටම වැඩියෙන් බෙදා ගන්නේ නැතුව තමන් ද ආර්ථික පීඩාවේ වේදනාවෙන් කොටසකට දායක වෙමින් මහ බැංකු නිලධාරීන් ද ආදර්ශයක් ලබා දෙන්නේ නම් මහ බැංකුව කියන දේ සහ කරන දේ අතර පරස්පරයක් සාමාන්‍ය ජනයාට නොපෙනෙනු ඇත.

කලින් සඳහන් කළ පරිදි ජනාධිපතිවරයාගේ කතාවේ දී ඔහු පුළුල් වශයෙන් කියන්නේ මහ බැංකු අධිපතිවරයා කියන, එසේම මෙවර මහ බැංකු ආර්ථික විවරණ වාර්තාවේ ද සඳහන් වන ප්‍රතිපත්ති දිශානතිය යයි අපි සිතමු. එහෙත් එම ප්‍රතිපත්ති දිශානතියේ ගමන් කරමින් ඉදිරි ජාතික මැතිවරණයෙන් බලයට පත්වෙන ඕනෑම රජයකට අයිඑම්එෆ් වැඩසටහන ගැන මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් එහි යම් යම් වෙනස්කම් ඇතිකර ගත හැකි බව ද අපට කීමට සිදු වේ. රනිල් වික්‍රමසිංහ මහතාම කියා ඇති වැල් පාලමේ යම් තාක් දුරකට අපේ ආර්ථිකය මේ වන විට ගෙනවිත් ඇති අතර ඒ සඳහා නායකත්වය දීම ගැන ඔහුව ඇගයිය හැකි වුවත් එම වැල් පාලමේ ඉතිරි ටික ගමන් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාම නැවත ජනාධිපති විය යුතුය කියා දෙයක් නැත. මේ විවිධ කණ්ඩායම් සහ දේශපාලන නායකයන් කියන, කරන දේ අනුව අනාගතයේ බලයට පත් විය යුතු වන්නේ කවුද යන්න ඇත්ත වශයෙන්ම තීරණය කළ යුතු වන්නේ අතිමහත් බහුතර ජනතාවයි. අපත් සිතන්නේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළුව තවදුරටත් බරපතල ආර්ථික තීන්දු තීරණ ඉදිරියේ දී ද ගත යුතුව ඇති බැවින් ජනවරම සහිත පාලනයක් තුළින් ඒ දේවල් සිදුවීම වඩාත් සුදුසු වන බවයි. අයිඑම්එෆ් එක වැඩ කරන්නේ ඕනෑම විටෙක කිසියම් රටක පවතින රජය සමග මිස රනිල් වික්‍රමසිංහ රජය සමග හෝ සජිත් ප්‍රේමදාස රජය සමග හෝ වෙනත් කාගේ හෝ රජයක් සමග පුද්ගලබද්ධව නොවේ. මෙය අප තේරුම්ගත යුතුය.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment