ඉන්දියානු – චීන ගිරයේ සිරවූ ශ්‍රී ලංකාව

304

ඉන්දියානු – චීන ගිරයට අහුවුන පුවකයක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත. ‘යුවාන් වැන්ග් 5’ නමැති විශේෂිත අධි තාක්ෂණික චීන නෞකාවකට (මෙය යුද යාත්‍රාවක් නොවේ) හම්බන්තොට වරායට පැමිණීමට ශ්‍රී ලංකාව අවසර දීම සම්බන්ධයෙන් ඉන්දියාව බරපතළ අවුලක් ඇති කළේය. එම අවුල අතිශය තීරණාත්මක අර්බුදයක් බවට පත්වී ඇත. එය තවදුරටත් වර්ධනය වෙමින් පවතියි. අවුල ආරවුලක් වීම වැළැක්වීම සියලුම පාර්ශ්කරුවන්ගේ වගකීමයි.

‘සාර්ක්‘ කලාපයේ බලවතා වන ඉන්දියාව කළ ඉතාමත් අසාධාරණ අත පෙවීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අවුල් බවට අර්ථ කථනය කිරීමට බොහෝ පාර්ශ්ව උත්සුක විය. තම මව්බිම අපහසුවට ලක්වන අවස්ථාවකදී පවා කාලකන්නි සතුටක් ලබන පිරිසක් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත සිටිති.(බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා විදේශීය අධිකරණ ක්‍රියාවලියකට ලක්කිරීමට පූර්ණ සහයෝගය පළ කළ මහජන නියෝජිතයන් දුසිම් ගණනක් අදටත් පාර්ලිමේන්තුව තුළ සිටිති) විදේශීය බලවතුන්ගේ නිමක් නොමැති ඇඟිලි ගැසීම්වලට ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම ගොදුරු වෙයි. ඒ ශ්‍රී ලංකාවේ පිහිටීම නිසාය. වර්ධනය වෙමින් පවතින න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ චීනය අතර ගැටුමේ ශ්‍රී ලංකාවට සම්බන්ධ නවතම පරිච්ජේදය චීන පර්යේෂණ නෞකාව සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයයි.

චීනය හම්බන්තොට වරායට යුවාන් වැන්ග් 5 එවීමට ගත් තීරණය ද කල්පනාකාරීව විමසා බැලිය යුතුය. එම සූක්ෂම ක්‍රියාමාර්ගය ඉන්දියාවේ ප්‍රතිචාරය අධ්‍යනය කිරීමට චීනය ගත් උත්සාහයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එලෙසම ඉන්දියාව මෙන්ම චීනයද ශ්‍රී ලංකාවේ හැසිරීම නිරීක්ෂණයකට ලක් කරන බව පැහැදිලිය. හම්බන්තොට වරාය චීනයට 99 -වසරකට 2017 දී බදු දුන් යහපාලන ආණ්ඩුවේ ජනාධිපති බලයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) මන්ත්‍රීවරයෙකි. ඒ මෛත්‍රිපාල සිරිසේනයි. එදා යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිය. හම්බන්තොට ගිවිසුම ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් කළ යහපාලන ඇමැති මහින්ද සමරසිංහ වොෂින්ටනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාය.

ඉන්දියානු - චීන ගිරයේ සිරවූ ශ්‍රී ලංකාව

දෙපාර්ශ්වයම බංකොලොත් ශ්‍රී ලංකාව ප්‍රබල තෙරපීමකට ලක් කිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් නොවන්නේද? ලක් දෙරණේ අවාසනාවට රටේ පැත්තෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදය විමසා බැලීමට බලයේ සිටින කණ්ඩායමට හෝ විපක්ෂයට කිසිදු උනන්දුවක් නැත. අවස්ථානුකූලව කටයුතු කිරීම පසෙකින් තබා බොහෝ පාර්ශ්ව ඉන්දියානු – චීන ගැටුම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් ලෙස උලුප්පා දැක්වීමට කරයි. දේශපාලන වාසි ලබා ගැනීමට මෙම අමන රැල නොකරන දෙයක් නැත. නවතම අර්බුදය සම්පූර්ණයෙන්ම විදේශ අමාත්‍යාංශය පිට පැටවුවාත් ජනතාව පුදුම නොවිය යුතුය.

සියල්ලම දේශපාලනීකරණය වී ඇති ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපතියද සමස්ත පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍රියාවලියේම කොටසකි. තානාපති සේවය තුළ සහ ඊට පරිබාහිරව කරනු ලබන පත්වීම් ද එම ක්‍රියාවලියේම කොටසකි. ඉන්දියාව සහ චීනය මෙම අවාසනාවන්ත තත්ත්වය ඉතාමත් හොඳින් අධ්‍යනය කර ඇත. පාර්ලිමේන්තුව නිහඬය. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ දේශපාලන පක්ෂ සහ මහජන නියෝජිතයන් මෙම අර්බුදය රජයට එරෙහිව යොදාගැනීමට කැමතිය. ඉන්දියානු – චීන බල ව්‍යාපෘති ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම පාර්ලිමේන්තුවට අදාළ නැත. ඒ දේශීය දේශපාලන ක්‍රියාදාමය විදේශීය බල ව්‍යාපෘතිවලට යම් ආකාරයකට යටත්වන නිසාය. අතිශය ආන්දෝලනාත්මක ඇමෙරිකානු නිව් ෆොර්ට්‍රස් එන්ර්ජි සමඟ අත්සන් කළ යුගදනවි ගිවිසුම (2021 සැප්තැම්බර් ) සහ ඉන්දියාවේ අදානි සමාගම සමග උතුරේ ක්‍රියාත්මක කිරීමට නියමිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවධාරණය කරන්නේ විදේශීය බලපෑම් නොවේද?

මෙහිදී ඇමෙරිකාව නායකත්වය දෙනු ලබන ඉන්දු – පැසිෆික් යුද -ආර්ථික – සමාජීය යාන්ත්‍රණයේ ඉන්දියානු ස්ථානගතවීම වටහාගත යුතුය. රටවල් 4 කින් සමන්විත එම බල කඳවුරට ඇමෙරිකාව, ජපානය, ඔස්ටේ්‍රලියාව සහ ඉන්දියාව අයත් වේ. (ශ්‍රී ලංකා – ජපාන මිත්‍රත්වය යම්තාක් දුරකට පළුදු වී ඇත. ඒ ප්‍රධාන වශයෙන් ජපානය ක්‍රියාත්මක කිරීමට සිටි කොළඹ වාහන තදබදය අඩු කිරීමට ඉවහල් වන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ රජය අවලංගු කිරීමයි)

ශ්‍රී ලංකාවට චීනය එපා කරවීම සහ චීනයට ශ්‍රී ලංකාව එපා කරවීම මෙන්ම ශ්‍රී ලංකාව තම කඳවුරේ පාර්ශ්වකරුවෙකු කර ගැනීම ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුවයි. එය ඉන්දු – පැසිෆික් උපාය මාර්ගීක සැලැස්මේ ; ප්‍රධාන පරමාර්ථයක් බව රහසක් නොවේ. ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවලට නොමිලේ ඉන්ධන සපයන්නේ තම රටට අනවසරයෙන් පැමිණීමට උත්සාහ කරනු ලබන සංක්‍රමිකයන් නැවැත්වීමට පමණක් නොවේ. ඔස්ටේ්‍රලියාව ශ්‍රී ලංකාවට විශාල නාවික යාත්‍රා දෙකක් 2014 දී පරිත්‍යාග කළේ ද සංක්‍රමණිකයන්ට වැට බැඳීමට පමණක්ම නොවේ. උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු පරිනත දේශපාලඥයෙකු වන ඩිව් ගුණසේකරගෙන් විමසූ විට එතුමා අවධාරණය කළේ මෙයාකාරයේ මැදිහත්වීමක් තුන්වන පාර්ශ්වයක්‘ මෑත කාලයේ කර නොමැති බවයි. බරපතළ ආර්ථික කඩාවැටීමකට ගොදුරු වී ඇති ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දුන් මූල්‍යම සහ ද්‍රව්‍යමය ආධාර ගෞරවයෙන් සඳහන් කළ හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පළුදු කිරීමේ වෑයම හෙළා දැකිය යුතු බවයි. විදේශ අමාත්‍යාංශය චීන නැවට හම්බන්තොටට පැමිණීමට අවසර ලබා දී ඇත්තේ ජුලි මාසයේ 12 දිනය. ඒ ශ්‍රී ලංකාව අතීශය අර්බුදකාරී තත්ත්වයකට පත් කරමින් එවකට ජනාධිපතිවරයා රටින් පිටවීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවකදීය. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවෙන් ඉල්ලු ආරක්ෂාව ලබා නොදීම සහ ඉන්දියාව එතුමාට ශ්‍රී ලංකාවෙන් පිටවීමට තම රට පහසුකම් සැපයුවේ නැති බව ප්‍රකාශ කිරීම අතිශය කනගාටුදායක තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ‘අරගලය’ ඉන්දියාවට යම් ආකාරයකට අදාළද?

චීන නැවට අවසරය ලබා දෙන අවස්ථාවේ විදේශ ඇමැති වූයේ පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ය. විදේශ ලේකම් විශ්‍රාමික විදේශ සේවයේ නිලධාරිනි අරුණි විජේවර්ධන විය. අද මහාචාර්යවරයා පොහොට්ටුවේ කැරලිකාර කණ්ඩායමේ ඉදිරිපෙළ නායකයෙකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ කැඩීගිය කණ්ඩායම් අධි තාක්ෂණික නෞකාව සම්බන්ධයෙන් ඇතිවී ඇති බැරෑරුම් තත්ත්වයේදී වගකීමෙන් ක්‍රියා කළ යුතුය. ඉන්දීය මැදිහත්වීම මෙන්ම චීන ක්‍රියාමාර්ගයද නිසි ලෙස තේරුම්ගත යුතුය. චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර අදාළ නෛතික ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේදී චීනය මහජන බැංකුව අසාදුගත ලේඛනගත කළේය. බලවත් රටවල් සමඟ කල්පනාකාරීව සහ නිවැරදිව ක්‍රියා කළ යුතුය.

ඇත්ත වශයෙන්ම පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවා චීන නැව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය සාකච්ජා කළ යුතුමය. මෙවැනි තර්ජනාත්මක තත්ත්වයකදී, කථානායක මහින්ද යාපා අබේවර්ධනට සියලුම පක්ෂ නායකයන්ගෙන් විමසා බලා පාර්ලිමේන්තුවේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට පුළුවන. කථානායකවරයාට අවශ්‍යනම් ඉන්දියානු මහකොමසාරිස්වරයා සහ චීන තානාපතිවරයා ද කැඳවා මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසා හැක. ඇමෙරිකානු තානාපතිවරිය සහ ඔස්ටේ්‍රලියානු සහ ජපන් තානාපතිවරුන්ද එම සාකච්ජාවට කැඳවිය හැකිය. මෙම ලියුම්කරු එවැනි අනවශ්‍ය යෝජනාවක් කරන්නේ කථානායකවරයා ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජන්දයෙන් ජුලි 20 තේරීමට පෙර බටහිර තානාපතිවරු කණ්ඩායම් ඒ පිළිබඳව දැනුවත් කිරීමට පාර්ලිමේන්තුවට කැඳවූ බැවිනි. චීන පර්යේෂණ යාත්‍රාව හම්බන්තොටට පැමිණීමට නියමිතව තිබුණේ අගෝස්තු 11 දිනය. එම යාත්‍රාව අගෝස්තු 17 දින පිටවීමට නියමිතව තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. අරගලකරුවන්ගෙන් මුදාගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ අගෝස්තු 8 වන දින ආණ්ඩු පක්ෂ කණ්ඩායම රැස්වූ අවස්ථාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර නොවන්නට අතිශය තීරණාත්මක ඉන්දීය මැදිහත්වීම සම්බන්ධයෙන් කිසිවෙකු සඳහන් නොකර සිටීමට පවා ඉඩ තිබිණි. හිටපු මහජන ආරක්ෂක ඇමැති සහ විශ්‍රාමික නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි වීරසේකර දින නියම කළ පරිදි චීන නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට තහංචි දැමීම සම්බන්ධයෙන් තම විරෝධය පළ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ වර්තමාන විදේශ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි ද සහභාගි විය. වීරසේකරගේ සහායට කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. ඒ පිළිබඳව අදහසක් ඉදිරිපත් කළේ පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් පමණි. මෛත්‍රිපාල ජනාධිපතිවරයාගේ නියමයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් යහපාලන සමයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමට යැවූ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ රාඝවන් යෝජනා කළේ චීන යාත්‍රාවේ පැමිණීම ප්‍රමාද කළ යුතු බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීමට අවශ්‍ය ශක්තිය ආරක්ෂක හමුදාවලට ලබා දුන් චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් සැමදා ජිනීවාහිදී පෙනී සිටිය බව මන්ත්‍රීවරයාට අමතක වූවාද?

ඉන්දියානු මැදිහත්වීම සම්බන්ධයෙන් චීනය මෝඩි රජයට දොස් පවරා ඇත. චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශික සම්බන්ධතාවට මැදිහත්වීම සහ බලපෑම් කිරීම කිසිදු තේරුමක් නොමැති අසාධාරණ ක්‍රියාවක් බව චීනය ප්‍රකාශ කර ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් චීනයට මෙන්ම ඉන්දියාවටද අත පෑමට සිදුවී ඇති ශ්‍රී ලංකාව අසරණ වී ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් ඩොවාල් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට දුන් අවවාදය නැවත සිහිපත් කළ යුතුය. ඒ ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රධාන පෙළේ චීන ආයෝජනයක් අවශ්‍ය නැත. ක්‍රියාත්මක කිරීමට නියමිත ආයෝජනද නැවත දැමිය යුතුය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරියගේ සමයේදී ඉන්දියාව චීන රේඩාර් පද්ධති ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබා ගැනීමට එරෙහි විය. එල්. ටී. ටී. ඊ ත්‍රස්තවාදීන් ගුවන් ප්‍රහාර එල්ල කරන තුරුම ඉන්දියාව ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට අවශ්‍ය එම ඉහළ තාක්ෂණික චීන රේඩාර් පද්ධති ලබා ගැනීමට අවස්ථාව දුන්නේ නැත. හතරවන ඊළාම් යුද්දයේදී ප්‍රහාර එල්ල වීමෙන් පසුව ශ්‍රී ලංකාව චීන රේඩාර් පද්ධතිය මෙහි ස්ථාපිත කළේය. රජීව් ගාන්ධි ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රහාරයකින් 1991 මැයි මාසයේ මියයෑමට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය ස්ථාපිත කර, වර්ධනය කළ බව ලෝකයම දනී. ඒ ක්‍රියාමාර්ගය ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂාව උදෙසා ගත් තීරණයක් බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ලෙස කටයුතු කළ පසුව ජාතික ආරක්ෂක උපදේශක වූ ජේ. එන්. ඩික්සිත් තම ජීවිත කතාවේ සඳහන් කර ඇත. ඉන්දු-පැසිෆික් යුද – ආර්ථික-සමාජීය යාන්ත්‍රණයේ ඉන්දියානු ස්ථානගතවීම ඇමෙරිකාවට අතිශය වැදගත්ය. රුසියාව යුක්රේනය 2022 පෙබරවාරි මාසයේදී ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ඇමෙරිකානු ස්ථාවරයට අනුගත නොවීම සහ තවදුරටත් රුසියාව සමඟ ඉතාමත් කුළුපගව කටයුතු කිරීම නිසියාකාරව ශ්‍රී ලංකා දේශපාලන අධිකාරිය තේරුම්ගත යුතුය. 80 ව දශකයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව අස්ථාවර කළ ප්‍රධානතම හේතුවක් වූයේ ශ්‍රී එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඇමෙරිකාවට සහ ඒ හරහා ඊශ්‍රායලය සමඟ සම්බන්ධ වීමයි. අද ඉන්දියාව ඇමෙරිකානු කඳවුරේය. එලෙසම ඊශ්‍රායලයේ ප්‍රධානතම යුද අවි ගැනුම්කරුවෙකි. ලෝක දේශපාලනය කණපිට පෙරළී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වීසා ලබා නොදුන් ඇමෙරිකාව මානව හිමිකම් කැඩීම නිසා තම රටට ඒමට තහනම් කර සිටි එදා ගුජරාටයේ මහ ඇමැති වර්තමාන අගමැති මෝඩිට රතු පලස එලන්නේ ඒ නිසාය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment