ඉන්දියාවට පාපන්දු තහනමක්

257

ලෝක කුසලාන සත්කාරකත්වයත් කොට උඩ

ඉන්දීය පාපාන්දු සම්මේලනයේ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවමින් තහනමක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන තෙවැනි පාර්ශ්වයන්ගේ අනිසි බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර පාපාන්දු සම්මේලනය මෙම තීරණය ගෙන තිබේ.

මෙම තීරණය නිසාවෙන් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇති වයස අවුරුදු 17න් පහළ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය අහිමිවී යෑමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මෙම තහනම ඉවත් කර ගැනීමට නම් ඉන්දීය පාපන්දු සම්මේලනයට නව නිලධාරි මණ්ඩලයක් පත්කර ඊට ආසියානු පාපන්දු සංගමයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය වෙත එය යොමු කළ යුතු වන බවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටී.

යම් හෙයකින් මෙම තහනම ඉවත් කර ගැනීමට ඉන්දීය පාපන්දු සම්මේලනය අපොහොසත් වුවහොත් 2023 වසරේදී පැවැත්වෙන ආසියානු පාපන්දු තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාවද ඉන්දියාවට අහිමිව යනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment