ඉන්දියාවට පාරක් – සාකච්ඡාවට සාගල යයි

167

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම මස 27 සහ 28 දෙදින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.

ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීම ද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයිමන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග කළ සාකච්ඡාවල දිගුවක් ලෙස සාගල රත්නායක මහතා මෙම සංචාරයේදී ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය ප්‍රධානීන් හමුවීමට නියමිතය. මෙම මාර්ග පද්ධතිය මගින් දෙරටේම ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම මෙන්ම සෞභාග්‍යය වර්ධනය කර ගැනීම අරමුණ වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇත. ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුර කිලෝමීටර් 23කි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment