ඉන්දියාවත් එක්ක අපි බද්ධ වෙන්න ඕනෑ: – අදානිල අම්බානිල එන්න ඕනෑ

272

හැමදාම අපිට වැරදුණේ දූපත් මානසිකත්වයෙන් ඉඳලයි
සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර කියයි

“දැන් ආයෙමත් සමහරු ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කතා කරනවා. ඉන්දියාවත් එක්ක රට බද්ධ කරන්න යනවා කියනවා. ඉතින් මොකද…? ඔව් මම නම් කියන්නේ ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕන. ඉන්දියානු ආයෝජන එන්න ඕන. අදානි ල එන්න ඕන. අම්බානි ල එන්න ඕන. ඉන්දියාවේ ගුවන්තොටුපළ තියන සෑම නගරයකටම ගුවන් යානය බැගින් යවල සති අන්තයේ ඉන්දියානු ධනපතීන් රටට ගෙන්න ගන්න ඕන. කොටින්ම ඉන්දියාවේ ජනගහනයෙන් සියයට එකක් ලංකාවට ගේන සේවා ආර්ථිකයක් සපයන්න වැඩපිළිවෙළක් රට තුළ හදන්න ඕන. එහෙම නැතිව ඉන්දියානු විරෝධයක් ගැන බලල කටයුතු කරන එක නෙමෙයි අපි කරන්න ඕන” යයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඉකුත්දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ලෝකය එක්ක අපි බද්ධ වෙන්න ඕන. ලෝකෙත් එක්ක අපි ගිවිසුම් ගත වෙන්න ඕන. සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ ඒක යයිද නලින් බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

ගිය වතාවේ ගෝඨාභය ගෙනල්ල සජිත්ව පරාජය කළේ කොහොමද..? ජාතිවාදය, ආගම්වාදය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරලා තමයි සජිත්ව පැරැද්දුවේ. මම දැක්කා අනුර කුමාර දිසානායක සහෝදරයාගේ හිටපු මිත්‍රයා විමල් වීරවංශ සහෝදරයත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන පොතකුත් එළිදක්වනවා වගේ.

ඒ ගොල්ලෝ කියනවා ඉන්දියාව ලංකාවත් එක්ක පාලමකින් බද්ධ කරන්න යනවලු. ඒ වගේම ඉන්ධන නළයකින් බද්ධ කරන්න යනවලු. ඒ වගේම විදුලි රැහැනකින් බද්ධ කරන්න යනවලු. ඒ වගේම අර රාමා-සීතා කතාවේ පුරාවෘත්ත එක්ක බද්ධ කරන්න යනවලු. මම නම් කියන්නේ බද්ධ වෙන්න ඕන. හැමදාම අපි දූපත් මානසිකත්වයෙන්, ළිං මැඩි මානසිකත්වයෙන් ඉඳලා තමයි අපිට කෙළවුණේ.

හැට ගණන්වල අපේ රටේ තිබුණු “එසෝ”, “කැල්ටෙක්ස්” වගේ සමාගම් සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවෙන් මේ රටෙන් එළෙව්වා. ඒ සමාගම් සිංගප්පූරුවේ ජොරන්ඩ් අයිලන්ඩ්වලට ගියා. අද මොකද තත්ත්වේ. තෙල් බින්දුවක් නැති සිංගප්පූරුව අද තෙල් මිල පාලනය කරනවා. අපේ රටෙන් ගිය සමාගම් හැට ගණන්වල, හැත්තෑ ගණන්වල එහෙ ස්ථාපිතවෙලා ජොරන්ඩ් අයිලන්ඩ්වල තෙල් හා තෙල් ආශ්‍රිත කර්මාන්ත පටන් ගෙන සිංගප්පූරුව අද ඒ තත්ත්වෙට ගෙනල්ල තියනවා. ඒකයි අපි කියන්නේ අපි දැන්වත් ළිං මැඩි මානසිකත්වයෙන් ගොඩ එන්න ඕන. අපි සමගි ජන බලවේගය එහෙම කටයුතු කරන පක්ෂයක් නෙමෙයි. ඉන්දියාව එක්ක, ලෝකය එක්ක අපි බද්ධ වෙන්න ඕන. අදානි ල එන්න ඕන. අම්බානි ල එන්න ඕන. තව බිලියනස්ලා ඉන්දියාවෙන් එන්න ඕන. ආයෝජන අපි ගෙන්න ගන්න ඕන. ඉන්දියානු ජනතාවට අපි සේවා ආර්ථිකයක් මේ රටේ හදන්න ඕන. ලෝකය එක්ක අපි බද්ධ වෙන්න ඕන. ලෝකය එක්ක අපි ගිවිසුම් ගතවෙන්න ඕන. සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ වෙන්නේ ඒක.” යැයිද නලින් බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment