ඉන්දියාවේ ගම්මානයක 13 ක් ළිඳකට වැටී මරුට

296

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වීමට ගොස් සිටි කාන්තාවන් හා ගැහැනු ළමුන් පිරිසක් ලිඳකට වැටීමෙන් 13 දෙනකු මියගොස් ඇති අතර තවත් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පෙරේදා (16 දා* සවස උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ කුෂිනගර් දිස්ත‍්‍රික්කයේ පිහිටි ‘‘නිබුවා නවුරන්ගියා’’ ගම්මානයේ පැවති විවාහ මංගල උත්සවයකට පෙර මනාල යුවළට කහ අඩංගු තෙල් හා ජලය ගැල්වීමේ සම්ප‍්‍රදායික ‘‘හල්ඩි’’ උත්සවය අතරතුරදී අදාළ කාන්තාවන් හා ගැහැනු ළමුන් පිරිස ලිඳ වටා යොදා තිබූ ලෝහ ආවරණය මත හිඳගෙන සිටියදී එම ආවරණය කඩා වැටීමෙන් මෙම අනතුරට මුහුණ පා තිබේ.

ලිඳ වටා දමා තිබූ ලෝහ ආවරණයට ඒ මත හිඳ සිටි පිරිසගේ බර දරා ගැනීමට නොහැකි වීමෙන් එය කැඞී එම පිරිසත් සමගම ලිඳට කඩා වැටී තිබේ. ලිඳ වටා තිබූ ආවරණය කඩා වැටීමත් සමගම ලිඳට වැටුණු කාන්තාවන් හා ගැහැනු ළමුන් පිරිසේ කෑ ගැසීම ඇසීමෙන් එම ස්ථානයට පැමිණ ඇති විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වූ අමුත්තන් විසින් එම පිරිස බේරාගෙන ඇතත් ඔවුන්ගෙන් 11 දෙනකු එම අවස්ථාවේදීම මියගොස් තිබේ. තවත් දෙදෙනකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූවන් තවත් තිදෙනකු කුෂිනගර් දිස්ත‍්‍රික්කයේ රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. ලිඳට වැටීමෙන් මියගිය පිරිස විවාහ මංගල්‍ය උත්සවය සංවිධානය කළ මනාල යුවළගේ ඥාතීන් හා අසල්වැසියන් බව හෙළි වී තිබේ. අනතුරින් මියගිය අයගේ පවුල්වලට අවශ්‍ය සෑම උපකාරයක්ම සිදු කරන ලෙස උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මහ ඇමැති යෝගී ආදිත්‍යනාත් විසින් කුෂිනගර් දිස්ත‍්‍රික්කයේ නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අදාළ අනතුර සම්බන්ධයන් සිය දැඩි කනගාටුව පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment