ඉන්දියාවේ ඔමික්‍රෝන් වැඩිවෙද්දී දහවලට මැතිවරණ රැලි රාත‍්‍රියට ඇඳිරි නීතිය

127

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයෙන් ඔමික්‍රෝන් පිළිබඳව සිදුකළ විශ්ලේෂණයකින් පෙනීගියේ, ඔමික්‍රෝන්වල ඇති විකෘතීන් හේතුවෙන් එය ඩෙල්ටාවට වඩා මෘදු වෛරසයක් බවට පත් වී ඇති බව යි. පර්යේෂකයන් පැවසුවේ යමෙකු පෙර ප‍්‍රතිශක්තියක් ලබා නොමැති වුවත්, රෝහල්ගත වීමට සිදුවීමේ අවස්ථාව ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා 11%කින් පමණ අඩු වනු ඇති බවයි. රසායනාගාර අධ්‍යයනයන් මඟින් ද ඔමික්‍රෝන් එතරම් ප‍්‍රබල නොවීමට හේතු පෙන්වා දී තිබේ.

හොංකොං විශ්වවිද්‍යාලය පවසන්නේ ඔමික්‍රෝන් පහසුවෙන්ම ශ්වසන මාර්ගයට ආසාදනය වෙතැ යි පෙන්වන නමුත්, ආසාදනයකින් වඩාත් දරුණු හානියක් සිදුකළ හැකි පෙනහැලිවල අභ්‍යන්තර පටකවලට පහසුවෙන් ඇතුළුවීමට එයට අපහසු බව යි. එන්නත්කරණය නිසා ජනගහනයේ ප‍්‍රතිශක්තිය වැඩිවීම මත, ඔමික්‍රෝන් නිසා රෝහල්ගත වීමේ අවදානම 25% සිට 30% දක්වා අඩුවන අතර, දිනකට වඩා වැඩි කාලයක් රෝහලේ රැඳී සිටීමේ අවශ්‍යතාව 40%කින් පමණ අඩු වන බව බි‍්‍රතාන්‍යයේ සිදුකළ පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. කෙසේ නමුත් ඉන්දියාව මෙතෙක් එරට ජනතාවට නොව සෞඛ්‍ය සේවකයන්ට පවා බූස්ටර් එන්නත් ලබා නැත.

මෙය බරපතළ ප‍්‍රශ්නයකි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 25 වැනිදා ප‍්‍රකාශ සිටියේ ලබන ජනවාරි 10 වැනිදා සිට අවුරුදු 60 වැඩි අයට සහ සෞඛ්‍ය සේවකයන්ට බූස්ටර් එන්නත ලබා දෙන බවයි. තුන්වැනි මාත‍්‍රාව ලබා දීම කල්යෑම ගැන වෛද්‍යවරු සිය අසතුට ප‍්‍රකාශ කර තිබිණි. ඉන්දියාවේ කොරෝනා ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ රෝගීන් පසුගිය බදාදා වන විට 781 දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි. එරට ප‍්‍රථම වරට ඔමික්‍රෝන් රෝගියකු වාර්තා වූයේ දෙසැම්බර් 2 වැනිදා වන අතර මේ වන විට ප‍්‍රාන්ත සහ යූනියන් ප‍්‍රදේශ 21 දක්වා රෝගීන් ව්‍යාප්ත වී ඇත. මෙය ඉන්දියන් ආණ්ඩුවට යළිත් හිසරදයක් වී ඇත.

දිල්ලියේ අඟහරුවාදා දිනයේ පමණක් කොරෝනා රෝගීන් 496 ක් වාර්තා වූ අතර සඳුදා වාර්තා වූයේ රෝගීන් 331 ක් පමණකි. මෙය පසුගිය ජුනි 4 න් පසු අගනුවර වාර්තා වූ රෝගීන්ගේ ඉහළම අගය විය. දිල්ලියේ රෝගීන් වැඩිවීම නිසා පසුගිය අඟහරුවාදා සිට පාසල් විශ්වවිද්‍යාල වසා දැමූ අතර පොදු ප‍්‍රවාහනවල ගමන් කළ හැක්කේ මගීන් ප‍්‍රමාණයෙන් 50% පමණි. එසේම රාත‍්‍රියේ ඇඳිරි නීතියද ක‍්‍රියාත්මක වේ. එය දිල්ලියට පමණක් නොව බොහෝ ප‍්‍රාන්තවලද ක‍්‍රියාත්මකය. උත්තර් ප‍්‍රදේශ ප‍්‍රාන්තයේද එය ක‍්‍රියාත්මකය. හාස්‍යජනක කරුණ වන්නේ දහවල් කාලයේ එරට ප‍්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් දහස් ගණනින් සහභාගි වන දේශපාලන රැලි පැවැත්වීමය.

මෙය බරපතළ ප‍්‍රශ්නයක් බව එන්. ඞී. ටී. වී. රූපවාහිනියේ මාධ්‍යවේදී විෂ්ණු සොම් ප‍්‍රකාශ කර තිබිණි. භාරතීය ජනතා පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන් ගාන්ධි රාත‍්‍රී ඇඳිරි නීතිය තීරණය විවේචනය කරමින් පවසා ඇත්තේ ‘‘ලක්ෂ ගණන් ජනතාව දහවල් රැලි සඳහා රැස්කර රාත‍්‍රියේ ඇඳිරි නීතිය පැනවීම මගින් මිනිසාගේ බුද්ධියට නිග‍්‍රහයක් සිදුකරන බවයි. උත්තර් ප‍්‍රදේශ් හි සීමිත සෞඛ්‍ය යටිතල පහසුකම් ගැන මෙනෙහි කරන ඔහු අපගේ ප‍්‍රමුඛතාව විය යුත්තේ වසංගතය පාලනය කරනවාද නැත්නම් මැතිවරණයේදී බලය පෙන්වීමද යන්න අවංකව තීරණය කළ යුතු බව පවසා තිබේ.

ඩෙල්ටා ප‍්‍රභේදය නිසා දරුණු ලෙස පීඩාවට පත් වූ ප‍්‍රාන්තවලින් එකක් වූ උත්තර් ප‍්‍රදේශ් හි ජනගහනයෙන් සියයට 30 කට වඩා අඩු ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. ගංගා නම් ගෙඟ් වැලි ඉවුර මත වැළලී ගිය දහස් ගණනකගේ සිරුරු මෙන්ම ගංගාවේ පාවෙමින් තිබෙන මළ සිරුරුවල ඡුායාරූප විදෙස් මාධ්‍යවල පවා සිරස්තල බවට පත්විය. ඉන්දීය මාධ්‍ය කියන්නේ උත්තර් ප‍්‍රදේශ මැතිවරණ රැලි වලදී, කොරෝනා ආරක්ෂණ සම්මතයන් සුළඟට විසි කර ඇති බවයි. සමාජවාදී පක්ෂ නායක අකිලේෂ් යාදෙව් ගේ මැතිවරණ රැලියට දහස් ගණන් සහභාගිව සිටියේ සාඩින් ටින් එකක මාළුන් මෙන් එකට ඇලෙමිනි.

භාරතීය ජනතා පක්ෂ මෙන්ම කොන්ග‍්‍රස් රැස්වීම් වලටද දහස් ගණනින් සහභාගි වූ අයුරු දක්නට ලැබිණි. පසුගිය සතියේ අලහබාද් මහාධිකරණය මැතිවරණ කොමිසමෙන් සහ අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මැතිවරණය මාසයකින් හෝ දෙකකින් කල් දමා මැතිවරණයට අදාළ රැස්වීම් තහනම් කරන ලෙසයි. පසුගිය සතියේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ගෝලීය වශයෙන් 11% කින් ඉහළ ගිය අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඔමික්‍රෝන් ප‍්‍රභේදයෙන් ඇති වන අවදානම තවමත් ”ඉතා ඉහළ” බවයි. ඉන්දියාවේ කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් දැකිය හැකි අතර එනිසා කෙටි කාලීන වෛරස් රැල්ලකට ගමන් කරන බව කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් කට්ටුමන් සඳහන් කර තිබිණි.

ඉන්දියාවේ දෙවන රැල්ල දරුණු වීමට වැඩි වශයෙන් බලපෑවේ ඩෙල්ටා ප‍්‍රභේදයයි. එරට කුම්භ මේලා ආගමික උත්සවය පැවැත්වුණේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී ය. ඒ සඳහා හිමාලය පාමුල හරිද්වාර් නගරයට ඉන්දියාවේ නන්දෙසින් රැස්වුණේ කොරෝනා දෙවන රැල්ල එරටට දරුණු ප‍්‍රතිඵල ගෙන දෙමින් සිටියදීම ය. කුම්භ මේලාවේ ප‍්‍රධානතම දිනය අපේ‍්‍රල් 12 වැනිදාට යෙදී තිබුණි. මිලියන 3කට අධික හින්දු භක්තිකයන් පිරිසක් එදින ගංගා නදියට බැස ස්නානයේ යෙදුනහ.

එනිසා ඉන්දියාවෙන් දිනකට වාර්තාවන නව ආසාදිතයන්ගේ ගණන බ‍්‍රසීලය පරයා ගියේය. පූජෝත්සවයේ විශාලත්වය හැකිතරම් අඩු කිරීමට පියවර ගත්තේ ඊට සහභාගි වූ ප‍්‍රධාන පෙළේ හින්දු පූජකවරයෙකු මරණයට පත්වී සතියකට පසුවය. මෙම ආගමික උත්සවය සංකේතාත්මක සැමරීමක් බවට සීමා කරන ලෙස අගමැති මෝදි ඉල්ලීමක් කළේය. නමුත් ඒ වන විට සිදුවිය යුතු හානිය සිදුවී හමාරය. කුම්භ මේලා පූජෝත්සවය සඳහා වන්දනාකරුවන් මිලියන 9.1ක් හරිද්වාර් නගරයට පැමිණි බව උත්සව සංවිධායකයෝ පැවසූහ. ලොවම වසංගතයකින් පෙළෙමින් සිටියදී මෙවැනි දෙයක් සංවිධානය කිරීම හේතුවෙන් තම ප‍්‍රාන්තය ‘‘අවමානයට පාත‍්‍ර වූ” බව උත්තරාඛාන්ද් මහ අධිකරණය පවසා තිබුණි. ඉදිරියේදී කවරක් සිදුවෙයිද ? අපනම් දන්නේ නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment