ඉන්දියාවේ පොඩිලප්පු ශ්‍රීනාද්ගේ ‘සොබා වගා’ සංග්‍රාමය… රසායනික පොහොර තහනම් කලාපයක සිට ලියන කතා

211

පැය 48න් නිපදවන ‘‘ජීව අමෘතම්’’ යොදා කරන වගාව

ශී‍්‍රනාද් අධ්‍යාපනවේදී උපාධිධරයෙක්. ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක්, යෝගා පිළිබඳ පශ්චාද් උපාධියක් හිමි අයෙකි.

සුන්දර වූ නිල්වන් වෙල්යාය මැදින් අඩි 7කට ආසන්න උස් වූ වී ගොයම් ගස් අතරින් වැටුණු නියර උඩින් අපි ශී‍්‍රනාද් සොයා ශි‍්‍රනාකුලම් හි ‘රජාම්’ ග‍්‍රාමය වෙත පියනැඟුවෙමු.

ශී‍්‍රනාද් අධ්‍යාපනවේදී උපාධිධරයෙක් මෙන්ම ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක්, යෝගා පිළිබඳ පශ්චාද් උපාධියක් හිමි අයෙකි. නමුත් ඔහු පූර්ණකාලීනව යෙදෙන්නේ ස්වභාවික ගොවිතැන (Nature Farming) නමින් හැඳින්වෙන අතිශය පරිසර හිතකාමී ගොවිතැන සමගිනි.

සුදු බැනියමක්, සුදු සරමක් හැඳ රතු සහ සුදු මෑ හා බණ්ඩක්කා පිරවූ බාල්දියක් ද සමගින් සිනාමුසු මුහුණින් ඔහු අප හමුවට පැමිණියේ තම එළවළු කොටුව තුළිනි.

‘‘ඉතින් කොහොමද, විශාකාපට්නම් ඉඳලා හරියටම කි. මී. 100 යි නෙ මෙහෙට…… යමු….’’ වෙල අසල වූ සුන්දර නිවෙසට අපි පියමැන්නෙමු.

ඔහු තම සිඟිති දියණිය ද සුරතල් කරමින් අප හා කතාබහට එක්විය.

ඇත්තටම ශී‍්‍රනාද් අපි ආවෙ ඔයාගෙ මේ ලස්සන අරුම පුදුම කුඹුරු බලන්න. මට ආසම හිතුනෙ මේ අඩි 6, 7 උස වී ගස් දැක්කම. මං දැකල තියෙන්නෙ උපරිම අඩි 3, 4 උස වී ගස්. අනිත් එක තමයි මේ කළු, සුදු, රතු, තැඹිලි වගේ විවිධ වර්ණයේ හාල් ඒවායේ තියෙන ඖෂධීය ගුණය ගැන දැනගන්න. ඔක්කෝටම වඩා ඔයා පාවිච්චි කරන ‘ජීව අමෘතම්’ හා ගස්වලට යොදන කශාය වර්ග දැනගන්න.

ඉන්දියාවේ පොඩිලප්පු ශ්‍රීනාද්ගේ 'සොබා වගා' සංග්‍රාමය… රසායනික පොහොර තහනම් කලාපයක සිට ලියන කතා

‘‘ඔව් මගේ ගොවිපළේ අක්කර කීපයක් මේ සුවිශේෂී වී සඳහා මම භාවිතා කරනවා. නමුත් මම මහා පරිමාණයෙන් වගා කරන්නේ එදිනෙදා අපි ආහාරයට ගන්න සහල් නිපදවන වී වර්ග තමයි. ඒ වගේම අපේ සංවිධානයේ ගොඩක් දෙනකුට මම විවිධ වර්ගවල බිත්තර වී ඉතා අඩු මුදලට ලබා දෙනවා. ඔයාලා කැමති නම් ඔයාලගෙ රටට මේ බීජ වුණත් ලබාදෙන්න පුළුවන්’’ ඔහු සිනාමුසුව පැවසීය.

මුලින්ම කියන්න පුළුවන්ද මොන වගේ ගොවිතැනක් ද මේක?

මේ ක‍්‍රමවේදය හඳුන්වන්නේ Zero Budget Nature Farming (ZBNF) වියදම් රහිත සොබා වගා ක‍්‍රමය ලෙසයි. මේ ක‍්‍රමවේදයේ පියා ලෙස හඳුන්වන්නේ ‘‘පද්මගී‍්‍ර’ සම්මානයෙන් පවා පිදුම් ලැබූ සුභාෂ් සල්කාර් මැතිතුමා. එතුමා රජයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ මෙම වැඩසටහන මුළු ඉන්දියාවේම ව්‍යාප්ත කිරීමට උත්සාහ ගන්නවා.

2012 වසරේදී අන්ද්‍රා ප‍්‍රදේශයේ මහ ඇමැතිතුමන් වූ චන්ද්‍රාබාබු නයිදු මහතා මේ ක‍්‍රමයේ තිබෙන මිනිසාටත් සතුන්ටත් හිතකර බව පිළිබඳ අවධානය යොමු කර පරිසරයත් රැකිය හැකි මුදලූත් ඉතිරි කරන සෞඛ්‍යයට ඉතාමත් සුදුසු මෙම වගා ක‍්‍රමය පිළිබඳ ගොවි වැඩමුළු රාශියක් සංවිධානය කරනු ලැබුවා. මගේ තාත්තා, සීයා මෙන්ම සීයාගේ සීයා පවා කළේ මේ සාම්ප‍්‍රදායික ගොවිතැන 1982 හරිත විප්ලවය මගින් බොහෝ ක්‍ෂණික ප‍්‍රතිඵල ගෙනෙන වී වර්ග, කෘෂි රසායන හඳුන්වා දුන්නත් මේ අපේ ගම්වල ගොවි ජනතාව බොහෝදෙනෙක් ඒවා ප‍්‍රතික්ෂේප කරා, විශේෂයෙන් අපි වගේ ඉන්දියා ගෝති‍්‍රක ජනතාව. රජයට කිසිම දෙයක් බලහත්කාරයෙන් අප වෙත බල කළ නොහැකියි. (Indian Tribale) ඉතින් මේ පාරම්පරික දේශීය බීජ වර්ග 600ක් අතරින් 15 ක් මම යොදගන්නවා. දැනට මාත් සමග ඉංජිනේරුවරු, උපාධිධාරිවරු බොහෝ දෙනෙක් මේ ගොවිතැනට සම්බන්ධ වී සිටිනවා.

මෙම ක‍්‍රමයේ ප‍්‍රධාන අරමුණු 7 ක් තියෙනවා.

  1. මිනිසාත්, සතා සීපාවත් මුළු මහත් පරිසරයත් වස විස මිශ‍්‍ර වීමෙන් විනාශවීම වැළැක්වීම
  2. වස විසෙන් තොර සෞඛ්‍යමත් පිරිපුන් ආහාර සංස්කෘතියක් ඇති කිරීම
  3. ගොවි ජනයා මුදල් නොමැතිකමින් සිදුකරගන්නා සියදිවි හානිකර ගැනීම් නතර කිරීම
  4. ඉන්දියාවට ආවේණික වූ සහල් වර්ග (දේශීය වී ප‍්‍රභේදයන්හි බීජ) ආරක්ෂා කර ගැනීම.
  5. දේශීය ගව සම්පත රැක ගැනීම.
  6. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම. (විදෙස් රටවලට හෝ රසායනික ද්‍රව්‍ය සඳහා වැය කරන මුදල් නතර කිරීම මගින්)
  7. ‘ග‍්‍රාම ස්වරාජ්‍ය’ සංකල්පය ශක්තිමත් කිරීම.

ඉතින් මේ සඳහා පරිසර හිතකාමී පොහොර වල්නාශක සහ කෘමිනාශක අපි පරිසරයේම තිබෙන ශාක, සත්ත්ව කොටස් පස් වර්ග මිශ‍්‍ර කරමින් හදනවා. පොහොර හඳුන්වන්නේ ‘ජීව අමෘතම්’ නමින්. මෙය ඇත්තටම ස්වභාවික ක්‍ෂුද්‍ර ජීවීන් වෙසෙන සහ පොළොවට හිතකර ජීවින් ජීවත්වන විශේෂ මිශ‍්‍රණයක්. මේ මිශ‍්‍රණය ශාකයේ වර්ධනයට මෙන්ම ඵලදාව හොඳින් ලබාගැනීමට සම්පූර්ණයෙන් සහාය වෙනවා. මේ ජීව අමෘතම් ඝන හා ද්‍රව වශයෙන් සකස් කරනවා. පැළයේ වර්ධනය සමග යොදන ප‍්‍රමාණය, වෙලාව සහ ඝන ජීව අමෘතම් ද ද්‍රව ජීව අමෘතම් ද යන්න තීරණය වෙනවා. උදාහරණයක් විදියට අපි නිතර ආහාරයට ගන්නා සාමාන්‍ය වී ප‍්‍රභේදයකට මේ ජීව අමෘතම් ද්‍රව්‍ය දින 15 කට වතාවක් දැමිය යුතුයි. (පින්තූර)

ජීව අමෘතම් වලට අමතරව දිලීර, බැක්ටීරියා වැනි උවදුරුත්, කෘමිනාශක වර්ගත් සාදාගන්නා ‘කශායත්’ සකස් කරන්නේ බොහෝ පත‍්‍ර හා බීජ මෙන්ම විවිධ හාක යුෂ යොදාගනිමින් මේ ක‍්‍රමය වසර දෙකක් තුනක් යන විට රසායනික පොහොර හෝ කෘමිනාශක යොදන අය අත්විඳින බොහෝ ගැටලූ ඇතිවන්නේ නැහැ. මොකද පරිසරයට අපි යොදන්නේ ස්වභාවික දේ නිසා, ඒ තුළින් කිසිම නරක දෙයක් ඇතිවන්නේ නැහැ. අහිතකර සතුන් නිකම්ම ඉවත් වෙලා යනවා මේ කශායවලට.

ජීව අමෘතම් හදාගන්න විදිය ගත්තොත් මේ සඳහා අවශ්‍ය වන්නේ පැය 48 ක කාලයක්. මේ පැය 48 න් පස්සෙ අපට පසට මේ පොහොර ඉසිය හැකියි. නැවත දින 15කිනුයි ඉසිය යුතු වන්නේ. මේ පොහොර හදාගන්න ගන්නේ ගව මුත‍්‍රා, ගොම, උක් හකුරු, කළු හකුරු, පලතුරු වර්ගවල යුෂ (ගස්ලබු විශේෂයෙන්) ඕනෑම ඇට වර්ග (රටකජු හා සෝයා හැර) කිහිපයක් හා දේශීය පස්අක්කරයකට ලීටර් 20 ක් ඇති ඉහින්න

ගව මුත‍්‍රා ලීටර් 10 ක්
ගොම ලීටර් 10 ක්
ඇට වර්ග (කවුපි, මෙනේරි, කඩල, බෙංගාලි කවුපි,
මුං) කිලෝ 3 ක් හොඳට පොඟවලා ගන්න ඕන.
හකුරු කි. 3
පැණි ලීටර් 1 ක්

පලතුරු ලීටර් 1 ක් වගේ දේවල්. මුලින් මේවා දවසට දෙවතාවක් ලීටර් 20 භාජනයකට දමා හොඳින් මිශ‍්‍ර කරන්න. ඉන්පසු පැය 48 ක් තබන්න. පැය 48 න් පසුව මෙය ක්ෂේත‍්‍රයට ඉසින්න පුළුවන්.

ඉතින් මේ ජීව අමෘතම් හා කශාය වර්ග ඔයාලගෙ අයටත් ඉගෙන ගන්න ඕනි නම් මට ඇවිත් කියල දෙන්න පුළුවන්. මගේ ප‍්‍රදේශයෙන් බොහෝදෙනාට දැන් වසර ගණනක් තිස්සේ පුහුණුව ලබා දෙනවා.

ඉන්දියාවේ පොඩිලප්පු ශ්‍රීනාද්ගේ 'සොබා වගා' සංග්‍රාමය… රසායනික පොහොර තහනම් කලාපයක සිට ලියන කතා

හැමදේටම වඩා වටින්නෙ නිරෝගීව ඉන්න එක. ඒ නිසා බොහෝ දෙනෙක් මුදල් වාසිය අතහැරලා දැන් මේ Nature Farming (ස්වභාවික වගාවට) හුරු වෙමින් ඉන්නෙ. අනිත් එක මේ වගා කරන සුවිශේෂී වී වර්ගවලට දැන් ලොව පුරා විශාල ආකර්ෂණයක් ලැබෙනවා.

උදාහරණයක් විදියට ‘කලාබත්’ නැත්නම් ‘බ්ලැක් රයිස්’ නමින් ප‍්‍රචලිත සහල් ප‍්‍රභේදය. මෙහි මිල ඉන්දියානු රුපියල් 500 ක් එක කිලෝ එකක්. (ලංකා මුදලින් 1500/=) ඉතින් මගේ කුඹුරුවලත් මම කලාබත් සඳහා කොටසක් වෙන්කර තිබෙනවා. මෙහි ගොයම් ගස අඩි 6 – 7 ක් උස යනවා.

ඒ වගේම තමයි ‘නවාරා’ කියන සහල් වර්ගය. එය ශරීරයේ රතු රුධිරාණු මට්ටම ඉහළ නංවනවා. එය විටමින් ඊ බහුල වී වර්ගයක්. ඒ වගේම ‘‘මයිසූර් මල්ලිකා’’ කියන වී වර්ගය කිරිදෙන මවුවරුන්ටත් ගර්භණී මවුවරුන්ටත් ඉතාම සුදුසුයි. දරුඵල අහිමි අයට දරුඵල ලබාදීමටත් මේ සහල්වලින් පිසූ බත් ලබාදෙනවා. දරුවන්ගේ බුද්ධි වර්ධනයට ඉවහල් වන ‘කුට්කූටා සාලි’ ඉතාම ජනපි‍්‍රයයි. මේ වගේ සහල් වර්ග රාශියක් මම වගා කරනවා. ඊට අමතරව රක්තසාලි, ඔරිස්සා, බාස්මති, චින්නලාරු, සන්නලූ, ගන්ඩවාලා වගේ ඒවා නිතරම අපි කන හාල් වර්ග. ‘නවාරා’ බොහොම ජනපි‍්‍රයයි දියවැඩියා පාලනයට. නයනකාමින්, බහුරු වී, කලාජිරා, රත්නවෝචී, ෂූන්ගර් මවිලාලි, සම්බා සහ පරිමාලා සන්නා කියන දේශීය සහලූත් අපි වගා කරනවා.

ඉතින් මේ සියලූ වගා සඳහා ගන්නා ජීව අමෘතම් ලබාගන්නේ ප‍්‍රධාන වශයෙන් ගවයාගෙන්. ඉතින් දේශීය ගව ප‍්‍රභේදයන් රාශියක් සිටිනවා. ඉන් මා ළඟත් ගව ප‍්‍රභේද 10 ක් විතර ඉන්නවා. ඉතින් ගවයාත් රැකෙනවා ගොවිතැනත් රැකෙනවා. ඉතා හොඳ තත්ත්වයේ සහල් මෙන්ම කිරිත් අපට ලබා ගන්න පුළුවන්.

මේ අතරතුර අපිට ශී‍්‍රනාද්ගේ මව ඉඟුරු, ගම්මිරිස්, සූදුරු දැමූ ඉතා රසවත් පෙණ දමන ‘බටර් මිල්ක්’ වීදුරු කීපයක් ද ලබා දුන්නාය.

‘‘ගෙදරට අවශ්‍ය කිරි අපි අපේ මඩුවෙන්ම ලබා ගන්නවා. ඉතිරි කිරි අපි කිරි මණ්ඩලයට අලෙවි කරනවා.’’

ග‍්‍රාම ස්වරාජ්‍ය සංකල්පය යටතේ තමයි මේ බොහෝ දේ සිදුවන්නේ. ගම තුළම පුද්ගලයෙක්ට ඉතා නිරෝගීව ජිවත් වෙන්න පුළුවන් උපරිම සතුටෙන්. මම හිතන්නෙ අපේ අතීත ගැමියා ජීවත් වුණෙත් ඒ වගේ.

‘‘බොහොම ස්තුතියි ශී‍්‍රනාද්’’ කලාබත්වලින් හා නිවසේ කොටුවෙන් නෙළු එළවළුවලින් සැදූ සාම්බාරුවත්, නිවසේ හැදූ මීකිරිවලින් මිශ‍්‍රිත රතු ලූනු, අමුමිරිස් පිරි රසවත් රධිතාවන් සමග ආලූ කරි හා එළවළු මංචූරිය සහිත බත් පිඟානක රසබලා නික්මෙමින් පැවසුවෙමු. මේ වගා ක‍්‍රමය ගැන ලෝකෙ ඕනෑම කෙනකුට මම කියල දෙන්න කැමැතියි. මේ

ගොවිතැනෙන් බලාපොරොත්තු වෙන්නෙ නිරෝගීමත් පරපුරක්, රටක්, ජාතියක් අවසානයේ ලෝකයක්… ඉතිං ඕනිම වෙලාවක කියන්න මම එන්නං….. මේ මහ පොළොව උරුම අපිට විතරක් නෙමෙයි සියලූ සතුන්ට ඒ සම උරුමය රකිමින් වගා කිරීම මේ සොබා වගාවේ එකම අරමුණයි.’’

ශී‍්‍රනාද්ගේ වදන් තවම මසිතේ රැව් පිළිරැව් දේ.

නිමාලි තක්ෂිලා විතානගේ
(ඉන්දියාවේ විශාකාපට්නම් සිට)

advertistmentadvertistment