ඉන්දියාවේ සරණාගත කඳවුරක දෙමළ වැසියන් නවදෙනා බෝට්ටුවකින් ඩෙල්ෆ්ට් දූපතට

87

නීති විරෝධී සංක්‍රමණයට නීතියෙන් බලපෑම්

ඉන්දියාවේ, මණ්ඩපම් සරණාගත කඳවුරේ සිටි දෙමළ වැසියන් නවදෙනකු බෝට්ටුවක් මගින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැසීමෙන් පසුව ඩෙල්ෆ්ට් පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පිරිස 1990 වසරේදී යුද්ධය උග්‍රවීමත් සමගම යාපනය කිළිනොච්චිය හා ත්‍රිකුණාමලය යන පළාත් අතහැර ගොස් ඉන්දියාවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ රැකවරණය පතා සිටි පිරිසකි. ඔවුන්ට ආපසු ශ්‍රී ලංකාවට ඒමට අවශ්‍ය නිසා ධීවර බෝට්ටුවකට මුදල් ගෙවා මේ අන්දමට පැමිණි බව පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් නවදෙනාගෙන් හතර දෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නිසා ඔවුන්ව ප්‍රතිකාර සඳහා ඩෙල්ෆ්ට් රෝහලට ඇතුළත් කොට ඇති අතර අනෙක් පිරිසට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී එම පිරිස පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෙල්ෆ්ට් මාවිලිතුරේ ප්‍රදේශයේ නිවසක තාවකාලිකව රඳවා සිටිති.

යාපනයේ සිටින සහන නිලධාරීන් ඔවුන්ව තම භාරයට පත් කරන ලෙස ඉල්ලීමක් කොට ඇතත් පොලිසිය පවසා ඇත්තේ මේ පිරිස නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

ඩෙල්ෆ්ට් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment