ඉන්දියාව අතිරික්ත කොරෝනා එන්නත් අපනයනය කිරීමට සැරසෙයි

104

ඉන්දියාව තමන් සතුව පවතින අතිරික්ත කොරෝනා මර්දන එන්නත් මිලියන 8ක ප‍්‍රමාණයක් ලබන ඔක්තෝබර් මස අවසානයේදී සෙසු රටවලට අපනයනය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

මෙසේ අපනයනය කරනු ලබන කොරෝනා එන්නත් තනි මාත‍්‍රා එන්නතක් වන ‘‘ජොන්සන් – ඇන්ඞ් ජොන්සන්” එන්නත් වන අතර ඉන් බහුතරය ආසියා – පැසිෆික් කලාපීය රටවලට අපනයනය කෙරෙන බව ඉන්දීය විදේශ ලේකම් හාර්ෂ් වර්දාන් ශ‍්‍රින්ග්ලා පවසා තිබේ. මෙය අත්‍යවශ්‍ය එන්නත් සැපයුමක් ලෙස සැපයෙන බව විදේශ ලේකම්වරයා කියා තිබේ. මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් නගරයේ පැවති ”ක්වොඞ්” කමිටු රැස්වීමේදී පවසා ඇත්තේ කොරෝනා එන්නත් අපනයනය කිරීම හරහා ඉන්දියාව, ජපානය ඔස්ටේ‍්‍රලියාව හා ඇමරිකා එක්සත් ජනපදය ආසියා – පැසිෆික් කලාපය තුළ වැඩි වෙමින් පවතින චීන මැදිහත්වීම වැළැක්වීමට උත්සාහ දරන බවයි.
ඉන්දියාව ඉකුත් මැයි මාසයේ එරට හටගත් දරුණු කොරෝනා වසංගත රැල්ල හේතුවෙන් කොරෝනා එන්නත් අපනයනය කිරීම තාවකාලිකව නතර කරනු ලැබීය. ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට කොරෝනා එන්නත් මාත‍්‍රා බිලියනයක ප‍්‍රමාණයක් වෙනත් රටවලට අපනයනය කරන බව ඉන්දියාව විසින් මෙම වසර මුලදී නිවේදනය කර තිබිණි.

විදෙස්‌ පුවත් සංස්කරනය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment