ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මගේ රටේදී ඇස් දෙකෙන්ම දකිනවා… මාධ්‍යවේදිනි තිලක්ෂණී මධුවන්තිගෙන් ෆේස්බුක් සටහනක්

323

ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම ඇස් දෙකෙන් දකිනවා. දැන් වෙලාව අලූයම 1යි විනාඩි 20 යි. මේ කළුබෝවිල රෝහලේ කොවිඞ් වාට්ටුව. වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනකු හෝ තුන්දෙනෙක්. ඔවුන් අසාධ්‍ය රෝගීන්.

 වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතය බේරගන්න සටන් කරනවා. අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන්.

 ඉතිරි සියලූ ආසාදිතයින් (සියය ඉක්මවූ පිරිසක් * එළිමහනේ බංකු, පුටු මත හෝ ගස් පාමුල. තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව. මේ පාන්දරත්, ඇඞ්මිෂන් පෝලිම ගොඩක් දිගයි. අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මා ගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා. සීතලේ මදුරුවන් තලමින්, මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා. මගේ ඇස් ඉදිරිපිටම පැය කිහිපයක් තුළ දෙදෙනෙකු මිය ගියා. ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා.

 කාර්ය මණ්ඩලය සීමිතයි. ඔවුන් කරන්නේ දේව කාරියක්.

 මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දී තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතය දීලා බලන් ඉන්නවා. මේ ජීවිතය ඇතුළේ මීට වඩා විඳින්න දුකක් නෑ.මීට වඩා අසරණකමකුත් නෑ. හෙට මමත් ආසාදිතයෙකු වෙයි. මට කියන්න තියෙන්නෙ එකම දෙයයි. කොරෝනා සුළුවෙන් තකන්න එපා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. පවුලේ හැමෝම පරිස්සම් කරගන්න.

 ඉන්දියාව ගැන මම කියපු නිවුස් අද මම මගේ රටේදී ඇස් දෙකෙන්ම දකිනවා.

 පරිස්සම් වෙන්න.. හොඳටම පරිස්සම් වෙන්න….

advertistmentadvertistment
advertistmentadvertistment