ඉන්දියාව පාකිස්ථානයට පරාජය වීම හමුවේ සිංහල සමාජයේ අමන්දානන්දය

793

අපේ ක‍්‍රීඩකයින් ජයග‍්‍රාහී ලෙස ‘නයි’ කණ්ඩායම (බංගලාදේශ) පරාජය කිරීමෙන් අනතුරුව ප‍්‍රීතියෙන් පිම්බුණු සිත් ඇතිව මම ලෝකයම කතා කරන අනෙක් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගය නැරඹීමට එක් වූයෙමි. ඒ අන් කවරක්වත් නොව ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයයි. මෙරට වැසියන් බහුතරය එනම් සිංහලයින් මේ දෙරට අතර ක‍්‍රිකට් තරග පැවැත්වෙද්දී ජය පතන්නේ කාටද? පාකිස්තානයට ය. එය ප‍්‍රකට රහසකි. විරාත් කෝලි – බාබර් අසාම් එක්ව තරගයේ කාසියේ වාසිය දමන්නටත් පෙරම මම මුහුණු පොතේ මෙවැනි සටහනක් පළ කළෙමි. ඒ ‘බ‍්‍රාහ්මණයින් හා තලේබාන් සටන: මම අද තලේබාන්’ යනුවෙනි. එයට ලැබුණු ප‍්‍රතිචාර අනුවම සිංහලයින් සැවොම ඉන්දියාවට නොව පාකිස්තානයට සහය පළ කරන බව පැහැදිලි විය. තලේබාන් බලය පෙන්වමින් පශ්තුන් ගෝත‍්‍රික ශහීන් අෆ්රිඩි පළමු පන්දුවාරයේදීම බ‍්‍රාහ්මණ වංශික රෝහිත් ශර්මා දවා ගත්තේය. එය ඉතා වේගයෙන් යැවූ තලිබාන් පන්නයේම වේග පන්දුවක් විය. බිලියනයක් හඬවන්නට මේ බෝලයට හැකිවිය. ඇත්තෙන්ම මේ තරගය පාකිස්තානය ජයගත් පසු තරගයේ වීරයා බවට පත්වූයේද අෆ්රිඩිය. ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබල කඩුලූ තුනක් දවා සිය අසල්වැසියා දණගස්සුවේ මේ වේගපන්දු යවන්නා බව පැහැදිලිය.

විරාත් කෝලි කියන ආකාරයට ඉරිදා තරගයේදී පාකිස්තානය, ඉන්දියාව සියලූ අංශවලින්ම පරාජය කරනු ලැබීය. පාකිස්තානය කණ්ඩායම ඕනෑම වෙලාවක ලොව ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකි කණ්ඩායමක් බව ද ඉන්දීය නායකයා සඳහන් කර සිටියේය. ප‍්‍රකට ක‍්‍රිකට් විචාරක හිටපු එංගලන්ත නායක නසාර් හුසේන් පැවසුවේ ඉරිදා තරගයේ ගෞරවයෙන් 80%ම ලැබිය යුත්තේ කොළ පැහැති ඇඳුමෙන් සැරසී සිටි කණ්ඩායමට බවය. ලෝක කුසලාන තරගාවලියක පාකිස්තාන කණ්ඩායම විසින් ඉන්දියාව පරාජය කළේ පළමු වතාවටය. මේ නිසාම ජයග‍්‍රහණයෙන් පසුව පාකිස්තාන වැසියෝ වීදි බැස ජයග‍්‍රහණය සමරන්නට වූ අතර සමහරු අහසට වෙඩි තබන්නට විය. නමුත් ඉන්දියාවේ තත්ත්වය වෙනස්ය.

පන්ජාබයේ විශ්වවිද්‍යාලවල සිටින කාශ්මීර සිසුන්ට ප‍්‍රහාර එල්ල විය. විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායමේ සිටින මුස්ලිම් ක‍්‍රීඩක මොහොමඞ් ශමිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල ප‍්‍රහාර එල්ල විය. 31 හැවිරිදි මේ ක‍්‍රීඩකයාගේ ඉන්ස්ට‍්‍රග‍්‍රෑම් ගිණුමේ සටහන්ව තිබූ සිය ගණන් කමෙන්ට් අනුව ප‍්‍රකාශ කර තිබුණේ කවරක්ද? මොහු ඉන්දියාව පවා දුන් ද්‍රෝහියකු ලෙසය. හින්දු ඉන්දියාව මේ මුස්ලිම් ක‍්‍රීඩකයා විසින් පාවාදී ඇත්ද? එය කනගාටුදායකය. එක දිනයකදී හොඳින් පන්දු යැවිය හැකි සේම තවත් දිනයකදී පිතිකරුවන්ගේ ප‍්‍රහාරයට ද ලක්විය හැක. එදා සමීට සිදු වූයේද එයමය. නමුත් මෙලෙස චෝදනා එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. කාශ්මීරයේ හිටපු මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා ශමිගේ සහයට පැමිණ ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබිණි. ‘සමාජ මාධ්‍යවල දරුණු ලෙස අපයෝජනයට ලක්වන ඔබේ කණ්ඩායමේ සගයා වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නම්, ඉන්දීය කණ්ඩායම වර්ගවාදයට එරෙහිව දණගසා සිටීම කිසිවක් ගණන් නොගනී’ යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ සටහන්ව තිබිණි.

කෙසේ නමුත් ලංකාව බ‍්‍රාහ්මණයින් පරාජය වීම ගැන සතුටු වේ. සමහරු මා මේ බ‍්‍රාහ්මණ කතාව කියන්නේ මන්දැයි අසන්නට පුළුවන. නමුත් ඇත්ත කතාව කුමක්ද? ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ බහුතරය ද බ‍්‍රාහ්මණ වංශිකයන් වේ. සියලූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ඉහළ සමාජ ස්ථරයට අයත් වූවෝ වෙති. ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමෙන් 60% බ‍්‍රාහ්මණ වංශිකයෝ වෙති. උදාහරණයක් ලෙස 2008 සිඞ්නිහි පැවති ටෙස්ට් තරගය සඳහා සහභාගි වූ ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 11 දෙනාගෙන් හයක් බ‍්‍රාහ්මණ වංශිකයෝ වෙති. දැනුත් එහි වෙනසක් නැත.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති, හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සව්රව් ගංගුලි බෙංගාලි බ‍්‍රාහ්මණයෙකි. ක‍්‍රිකට් තරගයෙන් බුදුන්ගේ දේශය පරාජය වී ඇත. (බුදුන් ඉපදුනේ නේපාලයේය.) නමුත් ඉන්දියාවේ හොඳ බුදුන්වහන්සේ හා මිහිඳු මහා රහතන් වහන්සේ පමණද? ඉරිදා තරගය පමණක් නොව කවදත් ඉන්දීය පාකිස්තාන ගැටුමක් තිබුණොත් මෙරට වැසියන් ගන්නේ පාකිස්තානයේ පැත්තය. 1996 ලෝක කුසලානයේදී ලාහෝර් නුවරදී ලාංකිකයින්ට ලැබුණේ කවර ප‍්‍රතිචාරයක්ද? එය අපට අමතක නොවේ. කොටි ත‍්‍රස්තවාදය මර්දනය සඳහා ඉන්දියාව මෙන් නොව පැහැදිලිවම ඉස්ලාමාබාද් ආණ්ඩුව මෙරට රජයට ප‍්‍රබල සහයක් ලබාදුන්නේය. බ‍්‍රාහ්මණයින් සැමවිටම ලංකාවට උදව් කරන්නේ සද්භාවයෙන් තොරව බව මෙරට වැසියෝ දනිති. එම නිසාම බ‍්‍රාහ්මණ කණ්ඩායමට ප‍්‍රියක් නොදක්වති. කොටි සංවිධානය නොනවතින රැල්ල මෙහෙයුම ක‍්‍රියාත්මක වෙද්දී යාපනය රැක ගැනීම වෙනුවෙන් හිටපු පාකිස්තාන ජනපති ජෙනරාල් ෆර්වේස් මුෂාරෆ් වහාම මල්ටිබැරල් එවූ හැටි අපට අමතක නැත. ඉන්දියාව මේ අවස්ථාවේ කිව්වේ කවරක්ද? යාපනයෙන් හමුදාව ඉවත් කර ගැනීමට නැව් සැපයිය හැකි බවය. එසේ නම් සැබෑ මිතුරා කවුද යන්න හොඳින් පැහැදිලිවේ. ඇත්තෙන්ම ජෙනරාල් ෆර්වේස් මුෂාරෆ් එරට බලය ඇල්ලූවේද කොළඹ පැවති ශ‍්‍රී ලංකා හමුදා දින උත්සවයට සහභාගී වී නැවත සිය රටට ගිය අවස්ථාවේය. 2009 මාර්තු 03 වැනිදා ලාහෝරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවුවද මෙරට වැසියන් කොළඹ පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය වටලන්නට හෝ උද්ඝෝෂණය කරන්නට ගියේ නැත. 2006 වසරේදී මෙරට පාකිස්තාන මහ කොමසාරිස්වරයා ඉලක්ක කරගෙන කොළඹදී ක්ලේමෝ ප‍්‍රහාරයක් එල්ල විය. කොටි සංවිධානය මෙරට තානාපතිවරයකු ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කළේ මුල්වරටය. ඒ අනුවම කොටි සංවිධානය පාකිස්තානය කෙරෙහි වෛරයෙන් පසු වූ බව පැහැදිලිය. මේවා අතීත කතාය. නමුත් වර්තමානයට වැදගත්ය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment