ඉන්දියාව ලෝකයට යන දැවැන්ත ආර්ථිකයක් හදනවා – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

118

අද හඳටත් යන ඉන්දියාවක් බිහිවෙලා

අපි අවුරුදු 450කට ආසන්න කාලයක් කවර හෝ ආධිපත්‍යයකට යටත් වී සිටි ජාතියක්. අවුරුදු 133ක් මුළුමනින්ම සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපි 1948 නිදහස ලබනවා. විවිධ භාෂාවන්, කුල බෙදීම්, ග්‍රාමීය දුප්පත්භාවය විවිධාකාරයෙන් පැතිරී තිබුණු ඉන්දියාව 1947 නිදහස ලබන විට, නේරු, ගාන්ධි, පාතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස්ලට ඉන්දියානු ජාතික කොඩිය යටතට සියලුම ජනතාව කැඳවන්න හැකියාව ලැබුණා. නිදහස ලබා ගන්නා විට තිබූ දෘෂ්ටිවාදය අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ දැක්ම තමයි අබ්දුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති වීම, සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍යවරයෙක් වීම, කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වන්නේ. ඒ දැක්ම තමයි අද දැවැන්ත සංවර්ධනයේ පිම්මක් පැන තිබෙන්නේ.

වියට්නාමය, චීනය, දකුණු කොරියාව වැනි රටවල්වලට ඒ දැක්ම තිබුණා.

මේ පාලකයන් අපේ දෘෂ්ටිවාදය අතීතකාමිත්වය තුළ හිර කළා. අතීතයේ තිබූ තාක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, සමාජ සංස්ථාවන් පිළිබඳ අපි අධ්‍යයනය කළ යුතුයි. ඉදිරි ගමනට ඒවා පාදක කර ගත යුතුයි. අතීත දෘෂ්ටිවාදය තුළ හිර වුණු අපේ දේශපාලකයන්ගේ ප්‍රධාන ඇඳුම බවට පත්වුණේ ‘කපටි සූට්’ එක. මෙය අතීත දෘෂ්ටිවාදය මත එළා තිබෙන ව්‍යාපෘතියේම එක් අවස්ථාවක්. මේ ව්‍යාපෘතිය තුළ අපේ රට හිරවුණා. මේ නිසාම ලෝකයේ සිදුවූ මහා පරිවර්තනයන් උකහා ගත හැකි ජාතියක්, රාජ්‍යයක් බවට අපේ ශ්‍රී ලංකාව පත්වුණේ නැහැ. ඉන්දියාව සංස්කෘතිය ශක්තිමක් කර ගන්නවා වගේම ලෝකයට මහා දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය කරමින් යනවා. ඒ නිසාම අයි. ටී. කර්මාන්තයේ ශක්තිමත්ම රාජ්‍යයක් බවට ඉන්දියාව පත්වී තිබෙනවා. මෝටර් රථ නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, බීජ නිෂ්පාදනය, කිරි නිෂ්පාදනය වැනි නිෂ්පාදනවලින් ඉදිරියෙන්ම සිටින රාජයක් බවට පත්වී තිබෙනවා. ඒ නිසාම හඳට යන ජාතියක් ලෙස ලෝකයට පිවිසී සිටිනවා. ගතානුගතික, වැඩවසම්වාදී, ගෝත්‍රිකවාදී කණ්ඩායමක් අත අපේ රට හිරවුණා.

අපි බලය ලබා ගැනීම සඳහා ජනතාව කැඳවන්නේ කුමකටද? මේ ගමන් කරමින් තිබෙන දිශාව වෙනුවට නව දිශාවකට හරයාත්මකව නව දෘෂ්ටිවාදයකට අපේ රට පරිවර්තනය කරන්න ඕනෑ. එයයි නූතන ලෝකයත් සමග අපේ සහ සම්බන්ධතාවය ගොඩනඟන්නේ. මෙය ජාතික ව්‍යාපාරයක්. මේ රට ගොඩනැගීම සඳහා ජාතික පිබිදවීමක් අවශ්‍යයි. එළැඹෙන මැතිවරණයේදී වසර 76ක් පාලනය කළ පාලකයන් පළවා හැරීමම, ජනතාව තුළ විශාල උද්දීපනයක්, පිබිදීමක්, අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සහිතව නැගිටීමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ විදෙස්ගත පර්යේෂකයන්, වත්කම් හිමි අය, අධ්‍යාපන හැකියාවන්, අත්දැකීම් තිබෙන ශ්‍රී ලාංකිකයන් නැවත එන්න සූදානම්. ඒ විශ්වාසය අප තුළ තිබෙනවා. මේ රට ගොඩනැගීමේ පාදම වන්නේ, ජනතාව අවදි කර ගැනීමයි. ආර්ථික පැත්තෙන් පමණක් නොවෙයි අපි, වගකීම් සහිත පුරවැසියන්ගෙන් යුත් සමාජයක් නිර්මාණය කර ගන්න ඕනෑ. දේශපාලකයා වගකීමට වග වෙන්න ඕනෑ. නව ශිෂ්ටාචාරයක් අපට අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ, දේශපාලනයේ, ආර්ථිකයේ, සමාජයේ පරිවර්තනයක්. පද්ධතියේම වෙනසක්. එහිදී දේශපාලකයාටත් කොටසක් තිබෙනවා. අපි දේශපාලකයාගේ කොටස ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වන බවට ඔබට සහතික වෙනවා.

ආයතන වර්ගීකරණය විය යුත්තේ ජනතාවට සේවා සපයන ආයතන හා සේවා සැපයීමේදී අඩු වුවමනාවක් තිබෙන ආයතන ලෙසයි. සමහර අවශ්‍යතා රජය විසින් අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුයි. ආර්ථිකයේ ඉදිරි පිම්මක් ගත හැකි අයි.ටී. කර්මාන්තය සඳහා අපි සැලැස්මක් හදා තිබෙනවා. ටෙලිකොම් තමයි අයි.ටී. කර්මාන්තයට අවශ්‍ය යටිතල පහසුකම් ටික හදා දෙන්නේ. ටෙලිකොම් වර්ධනය කළේ නැතිනම් අයි.ටී. කර්මාන්තයට ඉදිරියට යන්න බැහැ. ටෙලිකොම් ආයතනය දෙස බැලිය යුත්තේ එය අපේ ඉදිරි සංවර්ධනයත් එක්ක සම්බන්ධ කරමිනුයි. ටෙලිකොම් ආයතනය රජය සතුව තිබිය යුතුයි. හම්බන්තොට වරාය මිලදී ගෙන වසර හතකට වඩා වැඩියි. ඩොලර් බිලියන 1.1ක් දී මිලදී ගත්තේ. නමුත් එක නැවක් එන්න ව්‍යාපෘතියක් හදා නැහැ. වරායත් එක්ක ගොඩනැගෙන ආර්ථිකයක් කෝ?

ලිහිල් බදුකරණයක් අපට අවශ්‍යයි. අපේ මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය සංකෝචනය කර තිබෙනවා. පොලී අනුපාතය ඉහළ දැමීම, විශාල ලෙස බදු පැනවීම, ආනයන සීමා කිරීම් වැනි දේ කළා. ඍණ අටකින් ආර්ථිකය හැකිළුවා. අපේ සැලසුම ආර්ථිකය ප්‍රසාරණය කිරීමයි. ආර්ථිකය වර්ධනය වෙන්න ඕනෑ. අපට තිබෙන්නේ කොළඹ කේන්ද්‍රකර ගත් ආර්ථිකයක්. අප එය ග්‍රාමීය ජනතාව වෙත ප්‍රසාරණය කළ යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment