ඉන්දීය අගමැති මෝදි යටතේ බහුපාර්ශ්වීය සබඳතාවල නව ප්‍රවණතා

167

ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ එක් එක් රාජ්‍යන් සමග අන්‍යොන්‍ය වශයෙන් යැපීමේ ප්‍රවණතාව වර්ධනය වෙමින් පවතින අතර, ඒ මගින් කිසිම රාජ්‍යයකට හුදකලා වීමට නොහැකිය. ඒ නිසාම බහුපාර්ශ්වීය විදේශ ප්‍රතිපත්ති මත කටයුතු කිරීම තම ප්‍රමුඛ රාජකාරිය බවට පත් කර ගැනීමට මෝදි අගමැතිවරයා කටයුතු කරන ලදී. එය පොදුවේ ගත් කළ බටහිර හෝ නැගෙනහිර ලෙසට එක් කඳවුරකට ගැති වූ බහුපාර්ශ්වීය සබඳතා ඇතිකර ගැනීමක් නොවීය. සමස්ත ලෝකයම නියෝජනය වන ආකාරයට විවිධාකාර වූ සාධකයන් මුල්කර ගෙන ඉන්දීය අනන්‍යතාව තහවුරු වන ආකාරයට ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යෑමට මෝදි අගමැතිවරයා උපක්‍රමශීලී වී ඇත.

අසල්වැසි රාජ්‍යන්ට පළමු තැන යන ප්‍රතිපත්තිය අනුගමනය කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිය පළමු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන ලෙසට සාර්ක් රාජ්‍ය නායකයන්ට සහ මොරිෂස් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කිරීමෙන් මෝදි අගමැතිවරයාගේ කලාපීය සහයෝගිතාවයේ නැඹුරු බව පිළිඹිබු කරයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානය

උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් නුවර පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය ප්‍රධානීන්ගේ 22 වන රැස්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සැප්තැම්බර් මාසයේ දී සහභාගි විය.

එම සමුළුව අතරතුර ඉන්දීය අගමැති මෝදි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනකු හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වන ලදී.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග ඔහු පැවැත්වූ හමුව සාර්ථක වූ අතර ගැටුම්කාරී යුගයේ මුළු ලෝකයම අපේක්ෂා කරන සහජීවනයෙන් හා සාමයෙන් කටයුතු කිරීමට උපකාර වන වාතාවරණයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මෝදි මෙහිදී අවධාරණය කළේය. ඉන්දියාවේ දිනපතා පළවන ජාතික පුවත්පතක් වන ද හින්දු පුවත්පත වාර්තා කළ ආකාරයට නායකයන් දෙදෙනා අතර ඇති හමුවීමේදී ආහාර සුරක්ෂිතතාවය, කෘෂි රසායනික පොහොර ගනුදෙනු සහ බලශක්ති සුරක්ෂිතතාවය කෙරෙහි වර්තමානයේ ඇති වී ඇති බලපෑම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත. එම සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඉන්දියාව මේ වන විට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරන්නේ බටහිර රටවල හොඳ හිතද දිනා ගනිමිනි. මෙම සමුළුවේදී තම ප්‍රතිවාදී රාජ්‍ය නායකයකු වන පාකිස්තාන අගමැතිවරයා ද හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන ලදී.

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු ඉන්දියාව, චීනය, රුසියාව, පකිස්ථානය, කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන සාමාජික රටවල් අටකින් සමන්විත කලාපීය බහුපාර්ශ්වික සංවිධානයකි.

2001 ජුනි මාසයේදී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ පිහිටුවන ලදී. ඉන්දියාව 2017 හි පූර්ණ සාමාජිකත්වය ලබා ගත්තේ මෝදි අගමැතිවරයාගේ දැඩි කැපවීම නිසාය. 2017 දී ඉන්දියාව පූර්ණ සාමාජිකයකු වූ දා සිට සෑම වසරකම ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ඉන්දීය දූත පිරිස මෙහෙය වූයේ ඉන්දීය අගමැති මෝදි විසිනි.

2022 – 23 වර්ෂය සඳහා පළමු වරට ෂැංහයි සහයෝගිතා සංවිධානය සංචාරක සහ සංස්කෘතික අගනුවර ලෙස වරනාසි නම් කරමින් ඉන්දියාවේ සංචාරක කර්මාන්ත වෙනුවෙන් සිදුකළ මෙම නම් කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය සැප්තැම්බර් මස පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහි සියලුම සාමාජික රටවලට සිය ස්තුතිය පළ කළේය. පළමු වරට ෂැංහයි සහයෝගිතා සංවිධානය සංචාරක හා සංස්කෘතික අගනුවර ලෙස වරනාසි නම් කිරීම මගින් ඉන්දියාව සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර සංචාරක, සංස්කෘතික හා භාණ්ඩ හුවමාරු වීම ප්‍රවර්ධනය වනු ඇත.

සාර්ක් සංවිධානයේ නායකත්වය

නරේන්ද්‍ර මෝදීගේ ආගමනයත් සමග දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය හෙවත් සාර්ක් සංවිධානයේ ප්‍රගමනය සඳහා නව ජීවයක් ලබා දෙන ලදී. 2014 වර්ෂයේ නේපාලයේ කත්මන්ඩු නුවර පැවැති 18 වැනි සාර්ක් සමුළුව සඳහා මෝදි ලබා දුන් මඟපෙන්වීම තුළින් ලැබුණු පන්නරයත් සමග එම සාර්ක් සංවිධානයේ ප්‍රගමනය සඳහා මෝදි අගමැතිවරයා සුවිශාල මෙහෙයක් සිදු කරන ලදී. විශේෂයෙන් කොරෝනා වසංගතය දකුණු ආසියානු රටවල් සඳහා දැඩිව බලපාන අවස්ථාවකදී ඉන්දියාවේ විශේෂ අවධානය සාර්ක් රටවල් කෙරෙහි යොමු කරන ලදී. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද එන්නත් සාර්ක් කලාපයේ රටවල් සඳහා පළමුව ලබා දීමට මෝදි අගමැතිවරයා කටයුතු කරන ලදී. එම ක්‍රියාදාමය අසල්වැසියාට පළමු තැන නැමැති ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති මූලධර්ම ද සපුරාලීමකි. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින දකුණු ආසියානු රටවලට පළමුවෙන් ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වූයේ ඉන්දියාව වීම තුළින් අසල්වැසියාට පළමු තැන යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව දැකබලා ගැනීමට හැකිවිය.

බහුපාර්ශ්වීය සබඳතාවල ප්‍රමුඛත්වය නැගෙනහිරට

මෝදි අගමැතිවරයාගේ පාලන සමය තුළ ආසියානු සංවිධානය සමඟ ඉන්දියාවේ සම්බන්ධතා ඉතා ඉහළ තලයකට ළඟා කර ගැනීමට හැකි වී ඇත. මෝදිගේ නැගෙනහිර දෙස බැලීමේ විදේශ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන අවස්ථාවක් ලෙසට ආසියානු සංවිධානය සමග කටයුතු කිරීම සඳහන් කළ හැකිය.

ආර්ථික සහයෝගිතාව ඇති කර ගැනීම, සංස්කෘතික සබඳතා දියුණු කිරීම සහ උපාය මාර්ගික සබඳතා වැඩිදියුණු කිරීම මෙම කලාපීය සහයෝගිතා සංවිධානය සමග කටයුතු කිරීමෙන් ඉන්දියාව අරමුණු කරගෙන ඇත.

කොරෝනා වසංගතය අතරතුර ඉන්දියාව ලෝක නායකයකුගේ කාර්යභාරය ලොවට ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙසට සඳහන් කළ හැකිය. එහි එක් පියවරක් ලෙස ‘එන්නත් මිත්‍රත්වය’ යන සංකේතාත්මක නමින් ලොව පුරා රටවල් සියයකට වැඩි ගණනකට ඉන්දියාව විසින් වෛද්‍ය ආධාර සහ එන්නත් ලබා දීමට කටයුතු කරන ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග කටයුතු කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර ආසනයක් ලබා ගැනීම සඳහා වන ඉලක්කය ඉන්දියානු අගමැතිවරයාගේ මීළඟ ඉලක්කය වී ඇත. මෝදිගේ පාලනය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග උපායමාර්ගිකව කටයුතු කරමින් රුසියාව සහ එක්සත් ජනපදය යන රටවල් දෙකම සමඟ සුහද සබඳතාවක් පවත්වා ගෙන යෑමට ඉන්දියාව සමත්වී ඇත. යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, ඉන්දියාව යුක්රේනයට එරෙහි රුසියාවේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකිමින් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට සහය පළකිරීමෙන් වැළකී සිටීමට ඉන්දියාව උපායශීලී වූයේ වෙනස්කම් සහ ආරවුල් විසඳීමට ඇති එකම මාර්ගය සංවාදය බව තර්ක කරමිනි.

2018 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිසරයට අදාළව පිරිනමනු ලබන ඉහළම සම්මානය වන “චැම්පියන්ස් ඔෆ් ද අර්ත්” නැමැති සම්මානය දිනා ගැනීමට ඉන්දීය අගමැති මෝදි සමත්විය. එම සම්මානය සඳහා මෝදි අගමැතිවරයා සමග ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් ද සුදුසුකම් ලබන ලදී.

සිව් පාර්ශ්වීය ආරක්ෂක සංවාදය

මීට අමතරව ලෝකයේ ප්‍රබල රටවල් හතරකින් සැදුම්ලත් සිව් පාර්ශ්වීය ආරක්ෂක සංවාදය (Quadrilateral Security Dialogue) සමග ඉන්දියාව ක්‍රියාකාරී ලෙසට සම්බන්ධ වෙමින් සිටියි. නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපය තුළ දැක්මක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර මෙම සන්ධානය ඇති කර ගෙන ඇති අතර එය උපායමාර්ගික ආරක්ෂක සංවාදයකි.

ඉන්දු – පැසිෆික් කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා මෙම රටවල් ගිවිසගෙන ඇති අතර මෙහි වැදගත් අරමුණක් වන්නේ කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකමට අභියෝගයක් වන චීනයට එරෙහිව පුළුල් සන්ධානයක් ඇති කර ගැනීමයි.

මෝදිගේ විදේශ ප්‍රතිපත්තියේ බහුපාර්ශ්වික ප්‍රවේශය මගින් පිළිබිඹු කරන්නේ ඉන්දියාවේ මෘදු බලයේ ආධිපත්‍යයයි. ඉන්දියාව තම මෘදු බලය ජාත්‍යන්තර තලය තුළ ප්‍රදර්ශනය කරමින් ඉතා උපක්‍රමශීලීව ඒ ඒ රටවල් සමග ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගනිමින් සිටියි. ඒ අනුව මෝදි අගමැතිවරයා සිය විදේශ ප්‍රතිපත්තිය තුළ මෘදු බලය උපයෝගී කර ගනිමින් කලාපීය වශයෙන් හා ගෝලීය වශයෙන් සිය ආධිපත්‍යය පතුරුවාලීමට කටයුතු කරමින් සිටියි.

අලෝක් ප්‍රකාශ්
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.

advertistmentadvertistment
advertistmentadvertistment