ඉන්දීය ධීවරයෝ මුලතිව් ධීවරයින්ගේ ලක්ෂ 20ක් වටිනා දැල් කපති…. උතුරේ ධීවරයෝ උපවාසයේ…

41

ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් ප‍්‍රදේශයේ ධීවරයින් සතු රුපියල් ලක්ෂ 20ක් වටිනා දැල් ආම්පන්න කපා දමා ඇති බවට එම ධීවරයින් හතරදෙනා මුලතිව් ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයට 12 දා පැමිණිලිකොට තිබේ.

මුලතිව් ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් මසුන් මරමින් සිටියදී ඉන්දීය ටෝලර් යාත‍්‍රාවකින් පැමිණි ධීවරයින් පිරිසක් මේ අන්දමට දැල් කපා විනාශකොට පලාගිය බව මුලතිව් ධීවරයෝ ප‍්‍රකාශ කරති.

ඉන්දීය ධීවරයින් නිසා සිදුවන විවිධ පීඩාවන් මෙතෙක් බහුලව දක්නට ලැබුණේ යාපනයේ ධීවරයින්ට වූවත් මේ වනවිට මුලතිව් ධීවරයින්ටත් ඉන්දීය ධීවරයින්ගේ විවිධ තර්ජනයන්ට මුහුණ පෑමට සිදුව ඇති බව එම පළාතේ ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයට පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව රජය හා ධීවර අමාත්‍යාංශය සමග සාකච්ඡාකොට මුලතිව් ධීවරයින්ට යම් සහනයක් ලබා දී ඉන්දීය ධීවරයින් විසින් කපා දමන ලද දැල් සඳහා අලූත් දැල් ලබා ගැනීමට හැකි ක‍්‍රමයක් සලසා දෙන ලෙස ඔවුන් මුලතිව් ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයෙන් ඉල්ලීමක්ද කොට තිබේ.

දිනසේන රතුගමගේ



ඉන්දීය ධීවරයින්ගේ බලපෑම නවතන ලෙස උතුරේ ධීවරයෝ උපවාස කරති


ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට පැමිණ මසුන් ඇල්ලීම සහ මෙරට ධීවරයින්ට සිදුවන විවිධ හිරිහැරකම් නවතා දමන ලෙස ඉල්ලා යාපනය වඩමාරච්චි ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ධීවරයෝ උපවාසයක නිරත වූහ.

යාපනයේ ධීවරයින් සිව්දෙනකුට ඉන්දීය ධීවරයින් පහර දීමට එරෙහිව මෙතෙක් රජය නිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිවද මෙම ධීවරයන් උපවාසය ආරම්භ කර තිබුණි.

ඉදිරියේදී මෙම හිරිහැරකම්වලට විරෝධය පාමින් උතුරේ ධීවරය් දිගින් දිගටම උපවාසයෙහි නිරතවීමට එම ධීවර සංගම් තීරණය කර ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment