ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමට එරෙහිව ඇමරිකාවෙන් රහස් මෙහෙයුමක්

742

පොලිස් අධිකාරිවරයකුට වධහිංසා පැමිණ වූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනකු හා පොලිස් භටයන් 2කගේ නම් ජිනීවා කවුන්සිලයට

ඉන්දු ලංකා ආරක්‍ෂක ගිවිසුම පසුබිමේ සිටින්නේ ශ‍්‍රී ලංකා තානාපතිවරයෙක්

තවත් ජිනීවා යෝජනාවකට සම අනුග‍්‍රහය දක්වන ලෙස ජර්මනිය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

නේස්බී සාමී ශී‍්‍ර ලංකාවට පැමිනෙයි

ත‍්‍රස්ත මර්දන පනත තුළින් ද්‍රවිඩයන් සහ මුස්ලිම් ජනතාව මර්දනය කරන බවට ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පැමිණිලි ඉදිරිපත් විය. මෙරට මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ අම්බිකා සකුනානාදන් ද එම චෝදනාව එල්ල කරනු ලැබීය.

මේ නිසා ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස මිචෙලි බැෂලේ ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් නවදෙනෙක් ද යුරෝපා සංගමයද ශ‍්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියත් ජාතික ආරක්‍ෂාව උදෙසා එම පනත අහෝසි කිරීමට රජය කි‍්‍රයාකළේ නැත. ඒ වනවිට හිටපු එක්සත්ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ත‍්‍රස්ත මර්දන ඒකකයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු ත‍්‍රස්ත මර්දන නිලධාරීන් 10 කගේ නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යවමින් ඔවුන් වධහිංසා පැමිණවීමේ සිද්ධිවලට වගකිවයුතු බව ප‍්‍රකාශ කළාය.

මේ පසුබිම මැද 49 වැනි ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අවසන්වීමට දින අටක් තිබියදී පොලිස් අධිකාරිවරයකු එම කවුන්සිලයට පැමිණිල්ලක් ගොනු කළේය. ඔහු ද්‍රවිඩයකු හෝ මුස්ලිම් ජාතිකයකු නොවේ. සිංහලයෙකි. මුල්වරට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ මෙම පැමිණිල්ලෙන් ත‍්‍රස්ත මර්දන පනතට මුවාවී පොලිස් නිලධාරීන් සිදුකරන කෲර ක‍්‍රියා තහවුරු විය.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමට එරෙහිව ඇමරිකාවෙන් රහස් මෙහෙයුමක්

මේ පැමිණිලිකරු කවුද? ඒ හිටපු පොලිස් අධිකාරිවරයෙකි. මානව හිමිකම් කොමසාරිස් බැෂලේ වෙත යොමුවූ මේ පැමිණිල්ලෙන් එම පොලිස් නිලධාරියා පැවසුවේ 2009 සිට මේ දක්වාම තමා ඇපදීමකින් තොරව වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටින අතර ඇපදීමක් සිදුවී නැති බවයි. ලක්‍ෂ්මන් කුරේ නැමැති මෙම පොලිස් අධිකාරිවරයා තමා මෙන් තවත් චූදිතයන්වූ හිටපු කොටි නායකයන් දෙදෙනකු ගැන ද හෙළිකර ඇත. ඒ කොළඹ නගරයේ බෝම්බ පිපිරවීම් මෙහෙයවූ සෙල්වරාසා කිරුබාකරන් හෙවත් මොරිස් සහ ප‍්‍රකාශ් තම්බියියා හෙවත් ධනුෂ්ය. පොලිස් අධිකාරිවරයකුට ත‍්‍රස්ත මර්දන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනකු ද සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු එක්ව වධහිංසා පමුණුවා ඇති බවට යොමුවූ මෙම පැමිණිල්ලට සාක්‍ෂි ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ද ඇතුළත් විය. එහි වධහිංසා 32 ක් දක්වා තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනුවූ එම පැමිණිල්ලේ පිටපතක් ඉරිදා දිවයින ආරක්‍ෂක විශේෂාංගයට ද ලබාගැනීමට හැකිවිය. මෙලෙස පොලිස් අධිකාරිවරයකුට පොලිසිය වධහිංසා සිදුකිරීම තහවුරු කෙරෙන එම පැමිණිල්ලේ තවදුරටත් මෙලෙස සඳහන් කර තිබේ.

‘සටන් විරාම සමයේ පේදුරුතුඩුව පොලිස් බලප‍්‍රදේශයේ සේවය කරනවිට කොටි ත‍්‍රස්තවාදීන් බලහත්කාරයෙන් එසවූ කොටි ධජය තමා ඉවත්කළ අතර 2005 දී යාපනය පොලිස් අධිකාරි චාල්ස් විජේවර්ධනට සිදුවූ දේ සොයාබැලීමට යන අවස්ථාවේ කොටි ඝාතන ප‍්‍රයත්නයෙන් දිවි ගලවා ගත්තේ සහකාර පොලිස් අධිකාරි පී. කේ. ඞී පි‍්‍රයන්ත ප‍්‍රමුඛ පොලිස් ගලවාගැනීමේ කණ්ඩායමක් නිසා බවද පවසන හිටපු පොලිස් අධිකාරිවරයා 2005 දී කොටින්ගේ ක්ලේමෝ බෝම්බයකින් දිවිගලවා ගත් බවද සඳහන් කර ඇත.

එහිදී පොලිස් භටයෙක් සහ හමුදා සෙබළෙක් මියගිය අතර සිය පොලිස් රියැදුරු අන්ධ වූ බව ද කියා සිටී.

2006 මාර්තු මස කොටි ත‍්‍රස්තයන්ගේ අත්බෝම්බ ප‍්‍රහාර දෙකකින්ද පොලිස් අධිකාරි කුරේ දිවි බේරාගෙන තිබේ. පූර්ණ භූමි සම්මනය හිමිකරගත් ඔහු 2009 අගෝස්තු 02 වැනිදා ත‍්‍රස්ත මර්දන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සිව්දිනක් තිස්සේ දිවා රාත‍්‍රී ප‍්‍රශ්න කිරීම්වලට ලක්විය. ම විසින් ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට ලබාදුන් ප‍්‍රකාශ කියවා බැලීමට ඉඩනොදී ඔවුන්ට ඕනෑ ලෙස වෙනස් කළා. මට බරපතළ ලෙස තර්ජනය කර පහරදී වධහිංසා කළා. මගේ හිසට පහර දුන්නා. මේ නිසා නාසයෙන් ලේ ගැලූවා. ඇස් පෙනීම දුර්වල වුණා. එම පහරදීමේ ප‍්‍රතිඵලයක් ලෙස දත් කැඩුණා. මාව රඳවා සිටියේ දරුණු ත‍්‍රස්තයන් රඳවා සිටි කාමරයේයි. ඔවුන්ගෙන් මගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි නිසා වෙනත් කාමරයකට දමන ලෙස ඉල්ලා සිටියත් එය ඉටුවුණේ නැහැ. 2009 නොවැම්බර් 11 වැනිදා මාව රහස් පොලිසියේ අඩි 6ක් දිග අඩි 3ක් පළල යකඩ කූඩුවකට මාරු කළා. ඉන්පසු 2010 මාව බූස්සට යැව්වා. 2010 පෙබරවාරි මස මගේ බිරිය මා හමුවීමට පැමිණියා. ත‍්‍රස්ත මර්දන ඒකකය පාපෝච්චාරණයක් කරන ලෙස මට බලපෑම් කළ බව මා ඇයට පැවසුවා. මගේ බිරියට හානියක් කරන බවත් ත‍්‍රස්ත මර්දන නිලධාරීන් පැවසුවා. ඇයව මරා එය දිවිනසා ගැනීමක් ලෙසට ප‍්‍රචාරය කරන බවත් ත‍්‍රස්ත මර්දන නිලධාරීන් පවසා තිබුණා යැයි පොලිස් අධිකාරිවරයා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොනුකළ පැමිණිල්ලේ තවදුරටත් දක්වා තිබේ. සිංහල පොලිස් නිලධාරියකුගේ මෙම පැමිණිල්ල ද්‍රවිඩයන්ට වධහිංසා පමුණුවන බවට නැඟෙන චෝදනා සනාථ කිරීමක් වේ. මෙහිදී නැඟෙන බරපතළ ප‍්‍රශ්නය නම් සැකකරුවකු වසර 13 ක් ඇප නොදී රඳවාගැනීමෙන් යුක්තිය ඉටුවන්නේද යන්නයි.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමට එරෙහිව ඇමරිකාවෙන් රහස් මෙහෙයුමක්

මෙම පොලිස් නිලධාරියා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට තමා වසර 13 රඳවා ගෙන ඇතැයි පැමිණිලිකරද්දී වාන්පුලිගල් ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන් මාස්ටර් හමුදා කපිතන් ඉන්දික සංජීව සහ කොටි ව්‍යාපාරිකයන් නඩු නැතිව නිදහස් වූයේ කෙසේද? ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ඉදිරිපත් කර ඇති එම පැමිණිල්ලෙන් තමාට වධහිංසා පැමිණවූ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයකුගේ නම් ද ඔහු අනාවරණය කර ඇත. මේ අතර පසුගිය දිනෙක හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ රහසක් හෙළි කළේය. ඒ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් වී ඇති බවයි. මේ ආරක්‍ෂක ගිවිසුම පිළිබඳ එම පුවත්පත පැවසුවේ වෙළෙඳ යාත‍්‍රා නිරීක්‍ෂණය, නාවික ත‍්‍රස්තවාදය සහ ඉන්දු කලාපයේ මුහුදු කොල්ලකරුවන්ගේ කි‍්‍රයා වැළැක්වීම අරමුණ බවයි. එම ගිවිසුමට අනුව ඉන්දියාව මුහුදු නිරීක්‍ෂණ යානාවූ ඩෝර්නියර් යානා දෙකක් ලබාදෙන අතර ශ‍්‍රී ලංකාව නාවික යාත‍්‍රා අලූත්වැඩියා කළ හැකි පාවෙන නාවික තටාංගණයක් ද ලබාගනු ඇත. මෙම පාවෙන තටාකය වෙළෙද නැව් අලූත්වැඩියා කිරීමට නොව යුද්ධ නැව් අලූත්වැඩියාවට බව අනාවරණය වී තිබේ. එසේම ආරක්‍ෂක ගිවිසුමට අදාළ සම්බන්ධතා මෙහෙයවීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියකු පත්කිරීමට ද ශ‍්‍රී ලංකා රජය එකඟ වී ඇත. මේ පසුබිම මැද මේ ඉන්දීය ආරක්‍ෂක ගිවිසුම කාගේ උපාය මාර්ගයක්ද? එය දියත් කළේ ඇමරිකාවයි.

ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, සිංගප්පූරුව, මාලිදිවයින ඉන්දියාව ජපානය ප‍්‍රංශය සහ ඔස්ටේ‍්‍රලියාව සහ රටවල් එහි ආරක්‍ෂක ගිවිසුමේ අනිකුත් පාර්ශ්වයන් වේ. එවන් තත්ත්වයන් මැද ඉන්දීය ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුම පසුබිමේ සිටින්නේ ඇමරිකාව බව හෙළි වී ඇත. ඇමරිකානු බලධාරීන් මෙයට කලකට පෙර ශ‍්‍රී ලංකාව සිය ක්වොඞ් හෙවත් ඉන්දීය ශාන්තිකර කලාපයේ ඇමරිකානු ආරක්‍ෂක මෙහෙයුමට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ශ‍්‍රී ලංකා රජය මධ්‍යස්ථ රටක් බවට දක්වා එම ඇමරිකානු උපායට අසුවූයේ නැත. එහෙත් ශ‍්‍රී ලංකාව දැඩි ඩොලර් හිඟයකට මුහුණ පා තිබියදී ඇමරිකානු මෙහෙයුමක් ඉදිරිපත් වී ඇත්තේ ඉන්දියාව හරහායි. ශ‍්‍රී ලංකාව මෙම ඇමරිකානු උපායට ගොදුරුවූවොත් එය චීන විරෝධි කි‍්‍රයාදාමයක් වේ.

2007 දී ජපන් අගමැති ශින්තෝ අබේ, ඔස්ටේ‍්‍රලියානු අගමැති ජෝන් හොවාද් එවකට ඉන්දීය අගමැතිවූ මන්මෝහන් සිං සහ ඇමරිකානු උප ජනපති ඩික්චෙනි එක්ව ආරක්‍ෂක උපාය මාර්ගික සංවාදයක් පවත්වා ඇත. ඊට සමගාමීව මලබාර් යුද අභ්‍යාසය ද පවත්වා තිබේ. මේ ආරක්‍ෂක සංවාදයේ අරමුණ චීනයේ ආර්ථික හා හමුදා බලය බිඳ දැමීයි. එසේම රටවල් 10 ක් ඒකාබද්ධ දියත් කළ එකී සංවාදය චීනය හඳුන්වනු ලැබුවේ ආසියානු නේටෝ සංවිධානය ලෙසිනි. පසුගිය කාලයේ ඇමරිකාව එම් සී සී ගිවිසුම ඔස්සේ ශ‍්‍රී ලංකාව සිය ග‍්‍රහණයට ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. එම එම් සී සී ගිවිසුම ජනපතිවරණයෙන් පසුව අත්සන් කෙරෙන බව මෙරට සිටි ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් පැවසුවත් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවීමෙන් පසු ඊට එකඟවූයේ නැත.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමට එරෙහිව ඇමරිකාවෙන් රහස් මෙහෙයුමක්

මෙවන් පසුබිමක් මැද ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එකඟවීම තුළින් රටේ ජාතික ආරක්‍ෂාවට බියකරු තත්ත්වයක් උදාවනු නියතය.

ඒ චීනය මෙල්ල කිරීමට ඇමරිකානුවන් ශ‍්‍රී ලංකාව භාවිත කිරීමයි. යහපාලන රජය සමයේ ඇමරිකානු යානා කටුනායකට පැමිණ ති‍්‍රකුණාමල මුහුදේ නතර කර තිබූ ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවට භාණ්ඩ ගෙන ගියේය. මේ තත්ත්වය මත ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආරක්‍ෂක ගිවිසුමේ ඇති කරුණු මෙතෙක් හෙළි වී නැත. අත ඊසොප්ගේ වුවත් හඬ ජේකොබ්ගේ යන බයිබල් කියමනක් ඇත. එවැනි තත්ත්වයක් මත මෙරට ගුවන් හමුදාපතිවරයා කළ ඉල්ලීමක් නිසා මුහුදු නිරීක්‍ෂණ බීච්ක‍්‍රාෆ්ට් යානා දෙකක් ලබාදීමට ඇමරිකානු රජය එකඟ විය. ඩොලර් මිලියන ගණනක් වටිනා එම අධිතාක්‍ෂණික බීච්ක‍්‍රාෆ්ට් යානාදෙක ඇමරිකාව ශ‍්‍රී ලංකාවට නොමිලේ දෙන්නේ සුහදතාවය වර්ධනය කිරීමට නොවේ. ඒ ක්වොඞ් එකඟතාවයට ශ‍්‍රී ලංකාව සම්බන්ධවීම නිසාය. එසේම ඉන්දීය ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුම පසුබිමේ අතරමැදියෙක්ද සිටි ඔහු ඇමරිකාව සමග සබඳකම් පවත්වන බලවතෙකි.

වරක් මෙරට ජාතික ආරක්‍ෂක මණ්ඩලයේ රැස්වීමකට ඇමරිකානු සීඅයිඒ නිලධාරියකු කැඳවා තිබුණේ මොහුයි. ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පුවත්පත මේ ගිවිසුම සකස් කළේ ශ‍්‍රී ලංකා තානාපතවරයෙක් බව හෙළි කර ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමේ මුවාවෙන් දියත්කර ක්වොඞ් ආරක්‍ෂක සංවාදය යනු හමුදා කි‍්‍රයාමාර්ගයකි. මෙයට කලකට පෙර ප‍්‍රංශ රජයේ බලධාරියෙක් මෙන්ම ජපන්් ආරක්‍ෂක ඇමැති ද හම්බන්තොට වරාය නිරීක්‍ෂණ කළේය. එහිදී ප‍්‍රංශය පැවසුවේ ආයෝජන ආරම්භ කිරීමේ අරමුණින් ඔවුන් හම්බන්තොටට පැමිණි බවයි. එහෙත් අද වනතුරු ප‍්‍රංශය හෝ ජපානය හම්බන්තොට ආයෝජන ආරම්භ කළේ නැත.

මේ පසුබිම මැද ඉන්දීය කොන්සල් කාර්යාලයක් හම්බන්තොට ස්ථාපිත කර තිබෙන බවද සිහිපත් කළ යුතුය. ද්‍රවිඩ සන්ධානයේ එම් කේ සුමන්තිරන් නැමැත්තා මෑතකදී ඉන්දීය මාධ්‍ය අමතමින් චීනය උතුරු නැඟෙනහිරට පැමිණීම ගැන තරයේ විරෝධය දක්වන බව පවසා තිබුණි. ශ‍්‍රී ලංකාවේ බටහිර සහ දකුණ චීන පාලනය යටතේ පවතිනවා. එවැනි විටක උතුරු නැඟෙනහිරට චීනුන් පැමිණි මට අප එරෙහි වෙනවා. චීනුන්ව උතුරු නැඟෙනහිරින් එළවා දැමීමට අපට බලය අවශ්‍යයි. බලය බෙදාහරින ලෙස ශ‍්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ඉන්දියාවට අප කියා සිටියේ චීනුන් නිසයි ඊට ස්වයංපාලනය අවශ්‍ය යැයි සුමන්තිරන් තවදුරටත් ප‍්‍රකාශ කර ඇත. මෙලෙස උතුරු නැඟෙනහිර වෙනම රටක් කිරීමේ අරමුනින් ද්‍රවිඩ සන්ධානය චීන විරෝධි මෙහෙයුමක් දියත් කරද්දී ඇමරිකානු රජය ඉන්දියාවේ සහයෙන් චීන විරෝධි මෙහෙයුම ආරම්භ කර ඇත. එම ක්වොඞ් සන්ධානය නේටෝ සංවිධානයේ සොහොයුරා ලෙස හැඳින්විය හැකි අතර එහි අරමුණ චීනය මර්දනය කිරීමය.

ඇමරිකාව විසින් යුක්රේනය මගින් රුසියාව මෙල්ල කිරීමට දරන උත්සාහයේ මීළඟ අදියර ඉන්දියාව හරහා චීනය පාලනය කිරීම බව තහවුරු වේ. මෙය අපේ රටේ ඇතැම් අඥාන දේශපාලකයන්ට තේරෙන්නේ නැත. ඩි‍්‍රස්ට්‍රෝයර් සහ වෙනත් යුද නැව් අලූත්වැඩියා කිරීම සඳහා ටොන් 4000 ක් බැරැති පාවෙන තටාකයන් මුහුදේ ස්ථාපිත කිරීමටත් ඩෝනියර් සහ බීච්ක‍්‍රාෆ්ට් වැනි මුහුදු නිරීක්‍ෂණ යාත‍්‍රා ශ‍්‍රී ලංකාවට සපයන්නේ වෙළෙඳ නැව්වල ආරක්‍ෂාව උදෙසා නොවේ. මෙතෙක් ඉන්දීය සාගර කලාපයේ කිසිදු වෙළෙඳ නැවක් මුහුදු කොල්ලකරුවන්ගේ ඉලක්ක වී නැත.

මේ පසුබිම මැද ඇමරිකාව වැනි යුද බලවතකු සමග යුද ගිවිසුම්වලට යෑම කාලෝචිත කි‍්‍රයාවක් නොවන බව රජයේ සහ ආරක්‍ෂක බලධාරීන් ද තේරුම් ගතයුතුයි. ඉන්දීය හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත තවදුරටත් පැවසුවේ එම ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුමේ කටයුතු කෙටුම්පත් කර අවසාන බවයි. මේ අතර වසර කීපයකට පෙර ඇමරිකාව සමග ඇක්සා ගිවිසුම අත්සන් කර තිබුණි. එවන් තත්ත්වයක් මැද ශ‍්‍රී ලංකාව නො බැඳිරටක් යන පිළිවෙත ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ආරක්‍ෂක ගිවිසුම තුළින් ගිලිහී යනු ඇත. මෙරට සිටින බටහිර රටවල තානාපතිවරු 14 ක් ශ‍්‍රී ලංකාවේ නොබැඳි පිළිවෙත බිඳදැමීම සඳහා යුක්රේනයට සහාය දෙන ලෙස ද ශ‍්‍රී ලංකා රජයට දැඩි බලපෑම් කර තිබේ. මෙය ඇමරිකානු ආරක්‍ෂක එකඟතාවයේ එක් පියවරකි. බි‍්‍රතාන්‍යය, ඇමරිකාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය, රුමේනියාව, ප‍්‍රංශය, ජර්මනිය, යුරෝපා සංගමය, ජපානය ඔස්ටේ‍්‍රලියාව, ඉතාලිය, නවසීලන්ත, කැනඩාව, සහ නෙදර්ලන්තය යන රටවල තානාපතිවරු ශ‍්‍රී ලංකා රජයෙන් මෙම ඉල්ලීම කළත් ඉන්දියාවේ සිටින විදේශ රටවල තානාපතිවරු යුක්රේනයට සහාය දක්වන ලෙස අගමැති මෝදිගෙන් ඉල්ලා නැත. මෙම ඉල්ලීම පකිස්තාන අගමැතිවෙත ද යොමු වූවත් ඔහු පැවසුවේ අපි බටහිර රටවල වහලූන් නොවන බවයි.

කොළඹ සිටින බටහිර රටවල තානාපතිවරුන් යුක්රේනයට සහාය දක්වන්නැයි ශ‍්‍රී ලංකා රජයට කියාසිටීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත් වීමකි. මේ බටහිර තානාපතිවරුන්ගෙන් කැනඩාව, බි‍්‍රතාන්‍යය, ඇමරිකාව, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරු ශ‍්‍රී ලංකා විරෝධීන් වේ. දැනටමත් ඩොලර් අරමුදල් ලබන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන කල්ලිය රුසියානු විරෝධි මෙහෙයුම ආරම්භ කර ඇත. 1971 කැරැල්ලේ බඩල්ගම බර්ටි නමින් හඳුන්වනු ලැබූ රංජිත් හෙන්නායක නැමැත්තා ජර්මනියට පැනගිය අතර ඔහු ද රුසියාවට එරෙහිවී බටහිරට පක්‍ෂ වී ඇත. මෙවන් අයහපත් වාතාවරණයක් මැද රටේ විද්වතුන් යැයි හඳුන්වාගන්නා පාර්ශ්ව මේ ඇමරිකානු කුමන්ත‍්‍රණය ගැන නිහඬ වී සිටිති.

මේ අතර වසර කීපයකට පෙර ප‍්‍රචාරයවූ සුදු වෑන් කි‍්‍රයාවලිය, තමිල් අරසුකච්චි නායක මාවයි සේනාධිරාජා හිටපු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් සහ තමිල් අරසුකච්චි පත්කළ මන්ත‍්‍රී නවරාජා කලෙයි අරසන් විසින් යළි මතුකර ඇත. බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති තරික් අහ්මද් වෙත පිටු 7ක ලිපියක් යවන මොවුන් තිදෙනා මෙලෙස දක්වා ඇත. ‘මාධ්‍යවේදියකුගේ නිවසට සුදු වෑන් රියකින් පැමිණ පහරදීමේ යෙදුණු කණ්ඩායම අනතුරුව තමිල් අරසුකච්චි තරුණ සංවිධාන ලේකම් නිශාන්තන් පැහැර ගැනීමට උත්සාහ කර ඇත. මෙම ලිපියට ඇතැම් තොරතුරු ලබාගෙන ඇත්තේ ජර්මනියේ සිට කි‍්‍රයාත්මක වන රෝහිත භාෂණ නැමැති කොටි හිතවාදියාගේ වෙබ් අඩවියෙනි. කොටි ත‍්‍රස්තවාදීන් බිහිසුණු ඝාතන සිදුකරද්දී නිහඬව සිටි මොවුන් තිදෙනා තරික් අහමද්ගෙන් ඉල්ලා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ චූදිත යුද අපරාධකරුවන්ට මැග්නිට්ස්කි සම්බාධක සහ ජගත් අධිකරණ පද්ධතිය මත කි‍්‍රයාකරන ලෙසයි. එසේම තරික් අහ්මද් සමග සාකච්ඡාවක්ද මොවුන් ඉල්ලා ඇත. මේ අයුරින් ඉන්දීය යුද හමුදා නිලධාරීන්ට සම්බාධක පනවන ලෙස එරට දේශපාලන පක්‍ෂ හෝ තමිල් නාඩු ඞී එම් කේ පක්‍ෂය ඉල්ලා සිටියොත් ඉන්දීය රජය නිහඬව සිටිනු ඇතැයි සිතිය හැකිද? හිටපු මන්ත‍්‍රීවරයකුවූ මාවයි සේනාධිරාජා කොටි ධජය පසුබිමේ දැක්වෙන රැස්වීම් රැසකට සහභාගිවී තිබේ. එහෙත් ඔවුන්ට මේ දක්වාම දඬුවමක් ලැබී නැත. මේ අතර මෙරට දේශපාලන කටයුතුවලට මෑතකදී පිහිටුවාගත් වෙරිටේ රිසර්ච් සංවිධානය සෘජුව මැදිහත් වී ඇතැයි හෙළි විය.

පසුගිය දිනෙක මේ සංවිධානය පැවසුවේ ජනපතිගේ පාලනයට අනුමැතිය දී ඇත්තේ සියයට දහයක් පිරිසක් පමණ බවයි. මෙවන් තොරතුරු හෙළිවන අවස්ථාවේ ඇමරිකාවේ ආරක්‍ෂ කටයුතු භාර ලේකම්වරියක්වූ අමාන්ඩා ඩෝරි මෙරටට පැමිණියේ මන්දැයි රජයේ දේශපාලකයන්ද නොදනී. ඇගේ ශ‍්‍රී ලංකා සම්ප‍්‍රාප්තයට පෙර ශ‍්‍රී ලංකාව සමග ඉන්දියාව ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කරන බව ඉන්දියාව හෙළිකර තිබුණි. එහෙත් මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශය හෝ නාවික හමුදා බලධාරීන් මේ බව හෙළිකර නැත. මේ අතර සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ කටයුතු ද ඉන්දියාව ඉල්ලා ඇතැයි හෙළි විය. සාම්පූර් බලාගාර පාලනය කරන්නාට ත‍්‍රිකුණාමල වරායට පිවිසිය හැක. සාම්පූර් විදේශ රටක් විසින් මිලයට ගැනීම ගැන ඉන්දියාව කැමැත්තක් නැත. එවන් තත්ත්වයක් මත ඉන්දීය අයි ඕසී සමාගම රුසියාවෙන් බොරතෙල් බැරල් මිලියන තුනක් මිලයට ගැනීමේ සිද්ධියක් අනාවරණය විය.

ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුමට එරෙහිව ඇමරිකාවෙන් රහස් මෙහෙයුමක්

එසේ නම් ඉන්දීය අයි ඕසී සමාගම් ශ‍්‍රී ලංකාවට අලෙවි කරන්නේ රුසියාව අඩු මිලකට ලබාදුන් බොරතෙල් ද?

එසේම ඉන්දු ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුම චීනයේ නිරීක්‍ෂණයට ලක්වී ඇත.

ශ‍්‍රී ලංකාව නොබැඳි හා මධ්‍යස්ථ රටක් ලෙස මෙතෙක් එම යෝජිත ගිවිසුම ගැන අද වනතුරු ප‍්‍රකාශයක් කර නැත. විපක්‍ෂයේ උපදේශකයකු ලෙස රෝ කි‍්‍රයාකාරියකු සේවය කරන අතර ඔහුද එම ගිවිසුමට එරෙහි කට ඇරියේ නැත. ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් ඉන්දු ශ‍්‍රී ලංකා ආරක්‍ෂක ගිවිසුමේ පසුබිමේ සිටින බවද වාර්තා විය. ඔහු ජනපති ගෝඨාභය ලවා පෝට් සිට් ව්‍යාපෘතිය අවලංගු කිරීමට ද උත්සාහ කර තිබුණි. මේ හැර කොටි ගුවන් යානා නිරීක්‍ෂණයට චීනයෙන් ති‍්‍රමාණ රේඩාර් පද්ධතිය මිලයට ගැනීමට ද ඔහු එරෙහිවී තිබුණි. මේ හැර පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය බිද දැමීම ද ඩෙවොල්ගේ ව්‍යාපෘතිය බව පසුව හෙළිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment