* අලූතින් දෙන්න දෙයක් නෑ
ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියය අලූතින් පවරා දීමට දෙයක් නැහැ. ඒ සියල්ලම එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ ඉන්දු ශ‍්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දියාව සතුවී ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.
මෙම තෙල් ටැංකි සීයම 1987 හා 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට භාරදී හමාර බවත් තමාට ඉතිරි වී ඇත්තේ යළි එය ඉන්දියාවෙන් ලබාගැනීම පමණක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
තමා ඉන්දියාව සමඟ ගැටෙමින් වසරක් තිස්සේ උත්සාහ කරමින් සිටින්නේ එම තෙල් ටැංකි ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් පමණක් යැයිද හෙතෙම පැවැසීය.
ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට භාරදීමට තමාත්, ඉන්දීය විදේශ ඇමැතිවරයාත් කටයුතු කරමින් සිටින බවට ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති අලූතින් කතාවක් ගොතා චෝදනා කළ බව පැවැසූ ඇමැතිවරයා මෙම වෘත්තීය සමිති ඔවුන් සේවය කරන ස්ථානය පිළිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බවත් කීය.
තමා ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ ති‍්‍රකුණාමලය බලා ගමන් කරන හෙලිකොප්ටරයක දර්ශනයක් පවා විපක්‍ෂ මන්ත‍්‍රීවරයකු පෙන්වා සිටියත් ඉන්දීය විදේශ ලේකම්වරයා තමා සමඟ හෙලිකොප්ටර් සවාරි යනවා තබා මා හමුවීමට අවස්ථාවක්වත් ඉල්ලා නැතැයි හෙතෙම පැවැසීය.
ත‍්‍රිකුණාමලේ තෙල් ටැංකු 85 ක් ඉන්දියාවට දීමට උත්සාහ කරන බව කිව්වත් එම තෙල් ටැංකි සියය එදා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ වර්තමාන සමගි ජනබලවේගයේ නායකයන් ඉන්දියාවට ලබාදී හමාර යැයිද තමා ඔවුන්ට සිහිපත් කර සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එදා එ.ජා.ප. ආණ්ඩු විසින් ගිවිසුම් දෙකකින් ඉන්දියාවට භාරදෙන විට නිහඬව සිට එ.ජා.ප. වෘත්තීය සමිති එම තෙල් ටැංකි ඉන්දියාවෙන් ආපසු ගන්න හදනවිට ‘ඉන්දියාවට දෙනෝ’ කියා කෑගැසීම දෛවයේ සරදමක් බවද උදය ගම්මන්පිල මහතා පැවැසීය.
අනුර බාලසූරිය, එරික් ජිනප‍්‍රිය