ඉන්ධන අර්බුදය, පොදු හා පෞද්ගලික ප්‍රවාහනය

116

ඡායාරූපය – කඩුවෙල සුගත් ප්‍රේමතිලක

‘කොරෝනා’ වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරා සිදුවූ පසුබෑම් පසෙකලා, ‘නව සාමාන්‍යකරණ’ රීතීන් යටතේ වැඩි ජවයකින් යුතුව වැඩ කිරීමට සූදානම් වන ලෙස, ජනපතිතුමා විසින් මීට වසරකට පමණ පෙර රාජ්‍ය සේවකයන් වෙත ආයාචනයක් කරන ලදී. ‘කොරේ පිටට මරේ’ කියන්නාක් මෙන් දැන් රටම වෙලා ගෙන සිටින ‘ඉන්ධන අර්බුදය’ හමුවේ, පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙසද එතුමා නොබෝදා ඉල්ලීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් කාර්යාල සේවක සේවිකාවන්ගේ හා පාසල් දරුවන්ගේ පොදු ප්‍රවාහනයේදී පැනනඟින්නා වූ ‘ප්‍රජා සම්ප්‍රේෂණය’ (Community Transmission පිළිබඳ ගැටලුවද සමනය කිරීම සඳහා දිගුකාලීනව නව ක්‍රම සහ විධි ක්‍රියාත්මක කිරීම අවශ්‍ය හෙයින්, පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීම සහේතුක ලෙස අවම කළ හැකි පියවර කිහිපයක් මවිසින් ජනපති/අගමැතිතුමන් ඇතුළු අදාළ අධිකාරීන්ට සෘජුව මෙන්ම පුවත්පත් මගින්ද පසුගිය වසරේ යොමු කළෙමි. එහි පූර්ණ සාර්ථකත්වයක් අත් නොදුටු බැවින් හා දිනෙන් දින වැඩි වන වත්මන් ඉන්ධන මිල හා සැපයුම් අර්බුදය හමුවේ එම යෝජනා නැවත සිහිපත් කළ යුතු යැයි හැඟෙන්නේ ‘කොරෝනා’ වසංගතය හා ‘ඩොලර්’ අර්බුදය අප රටෙන් සම්පූර්ණයෙන් පහවීමට සැලකිය යුතු කාලයක් ගතවන නිසාය.

එසේනම්, එම බරපතළ කාරණය, අදාළ වෘත්තීය සමිතිවලට, පාසල්වලට හා දෙමව්පියන්ට පැහැදිලි කර, ඒත්තු ගැන්වීමෙන් පසු, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ යෝජනා නැවතත් පහත පළ කරමි.

කාර්යාල සේවක සේවිකාවන්

1) රජයේ ස්ථාන මාරු ප්‍රතිපත්ති සංශෝධනය කර, ඔවුන් හැකි තරම් තමා පදිංචි දිස්ත්‍රික්කය තුළ ආසන්නතම කාර්යාලවලට අනියුක්ත කිරීම.

මෙම පියවර මගින් අන්තර් දිස්ත්‍රික් ගමනාගමනය හා වාහන තදබදය අඩුවීම නිසා ඉන්ධන භාවිතයද සීමාවන අතර, ‘ප්‍රජාසම්ප්‍රේෂණයද’  (CommunityTransmission)  අඩුවී, ‘පොකුරු’ හඳුනා ගැනීම සහ අධීක්ෂණය ද පහසු කරනු ඇත. ධනාත්මක අතුරු ප්‍රතිඵල වශයෙන්, ඔවුන්ගේ ඉතිරිවන වටිනා කාලය, වියදම හා ගමන් මහන්සිය, ගෙවතු වගාව වැනි අර්ධකාලීන ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුළින්, ශ්‍රමය හා මුදල් ද ඉතිරිවී වඩා සුහුරු පවුල් ජීවිතයක් ගත කිරීමට ඇති ඉඩකඩද වැඩිවනු ඇත. (මෙම පියවරට ජනපතිතුමාගේ අවදානය යොමුවී ඇති බව වාර්තාවේ).

2) රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා නම්‍යශීලී වේලාවන් (Flexi-hours) හඳුන්වා දීම.

මෙම පියවර මඟින් ‘කාර්යාලීය වේලා වාහන තදබදය’ හා ‘වැඩිපුර පැටවීම’ අඩු වන අතර, එහි ප්‍රතිඵල ලෙස ඉන්ධන ඉතිරිවීමට අමතරව, වඩා හොඳ කාල- කළමනාකරණයක් හා සේවක ඵලදායිතාවයක් ද ලබා ගත හැක.

3) තාක්ෂණය උපයෝගී කරගනිමින්, ‘නිවසේ සිට වැඩ කිරීම’ සඳහා වූ වර්තමාන විධිවිධාන පුළුල් කිරීම.

මෙම පියවර මඟින් වාහන විසින් ‘වැඩිපුර පැටවීම’ සහ මාර්ග තදබදය තවත් අඩුවන අතරම, නිශ්චිත ඉලක්ක/ පැවරුම් ලබා දීමෙන් එම සේවක ඵලදායිතාවයද වැඩිදියුණු කරගත හැක. දැන් ක්‍රියාත්මක වන විකල්ප දිනයන්හි සේවයට වාර්තා කිරීම තව දුරටත් ක්‍රියාත්මක කිරීම සුදුසුය. මෙහිදී, අවධාරණය කළ යුතු තිත්ත ඇත්තක් නම්, දැනට මිලියන 22 කට වැඩි ශ්‍රී ලංකා ජනගහනය හා මිලියන 1.4 ක් ඉක්මවන රාජ්‍ය සේවක සංඛ්‍යාව අනුව සෑම 16 දෙනකුටම එක රාජ්‍ය සේවකයකු බැගින් සිටී. වෙනත් බොහෝ රටවල එම සංඛ්‍යාව 250 ඉක්මවයි.

4) දුම්රිය/ බස් වාර ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන් හෝ නම් කරන ලද සුපිරි වෙළෙඳසල්/ සාප්පුවලින් ලබා දීමට කටයුතු යෙදීම.

මෙම පියවර තුළින්, කොන්දොස්තර /ටිකට්පත් නිකුත් කරන්නාගේ වැඩබර සහ සෞඛ්‍ය අවදානම විශාල ලෙස අඩු කරගත හැකිය. බොහෝ රටවල බස් ටිකට්පත් නිකුත් කරනු ලබන්නේ රියදුරු විසින්ම ය.

5) දිරිගැන්වීම් ක්‍රමයක් යටතේ, කර්මාන්තශාලා / රාජ්‍ය/ පෞද්ගලික අංශයේ ආයතන මගින් තම සේවකයන් හට විශේෂ වෑන්/ බස් ප්‍රවාහනය සැපයීමට අනුබල දීම.

මෙම පියවර තුළින්ද ඉහත සඳහන් ප්‍රතිලාභ අත්වන අතර කාර්යාලයීය ඵලදයිතාවය ද වැඩිවේ.

6) රාජ්‍ය/පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් හැකි තරම් දුරට විමධ්‍යගත කිරීම.

එවිට, ජනාකීර්ණ කොළඹ ප්‍රදේශයට දිනපතා ප්‍රවාහනය කරන ජන සංඛ්‍යාව අවම කරගත හැක. තවද, මෙවැනි වසංගත තත්ත්වයන් ඉදිරියෙහි ඇතිවුව හොත්, පරිධියෙහි වසන ජනතාවට අඛණ්ඩව සේවා සැපයීම වඩාත් පහසු වනු ඇත.

පාසල් දරුවන්

1) දරුවන් තම ප්‍රදේශයේ පාසල් වෙත යැවීමේ ප්‍රතිපත්ති අවශ්‍යතාවය වහාම ක්‍රියාත්මක කිරීම.

මෙම පියවර නිසැකවම ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අඩු කිරීමට හේතු වනු ඇත. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවීම නිසා, විශේෂයෙන් කොළඹ හා ආශ්‍රිත මාර්ගවල රථවාහන තදබදය තීව්‍ර වී ඇත. අක්‍රමික ලෙස විදුලි, දුරකථන හා ජල බිල්පත්වල ලිපිනයන් වෙනස් කරමින් හා, ඔරොත්තු නොදෙන කරදර හා වියදම් දරමින්, විශේෂයෙන් බස්නාහිර පළාතේ ළමුන් ‘කොළඹ පාසල්’ වෙත යැවීමේ යල්පැනගිය මෝස්තරය, වත්මන් ඉන්ධන අර්බුදය හමුවේ බැහැර කිරීමට, දැන්වත් දෙමාපියන් සිතට ගත යුතුය. එවිට, පාසල් බස් / වෑන් සේවාව ප්‍රදේශයට පමණක් සීමා කළ හැකි අතර, සමහර දෙමව්පියන්ට කාර්යාලයට යෑමට පෙර තම දරුවන් පාසලට රැගෙන යෑමේ අවශ්‍යතාවයද මතු නොවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙමව්පියන්ගේ/ දරුවන්ගේ ගමන් මහන්සිය/ අවදානම/ ආතතිය අඩුවී, කාලය සහ අධික ගමන් වියදම් ද ඉතිරිවන හෙයින්, එම සම්පත් ඉතිරිය, අතිරේක අධ්‍යාපනය, ගෙදර වැඩ සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා යෙදවිය හැක.

2) පාසල්වල ආරම්භක හා අවසාන වේලාවන් රජයේ / පෞද්ගලික අංශයේ නම්‍යශීලී කාර්යාල වේලාවන් සමග ගළපමින් සකස් කිරීම.

මෙම පියවරයද නිසැකවම ප්‍රධාන මාර්ගවල රථවාහන තදබදය අඩු කිරීමට ඉවහල් වනු ඇත. පාසල් නිවාඩු කාලයන් තුළ වාහන තදබදය අඩුවන හැටි අපි අදත් අත්දකිමු.

ඉහත සඳහන් සමස්ත ක්‍රියාදාමය තුළින්, රටෙහි පොදු ප්‍රවාහන පද්ධතියට, දැනට සතුව ඇති වත්කම් උපයෝගී කරගනිමින්, මගීන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම සේවාවක් ලබා දිය හැකි අතර, අලුත්වැඩියා කිරීම් හා ඉන්ධන භාවිතය ද අඩුවී විදේශ විනිමය ද ඉතිරි වේ. තවද, එවැනි සුපිරි පොදු ප්‍රවාහන සේවයක අතුරු ප්‍රතිඵලයක් වශයෙන් දිනපතා (විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය තුළ) ධාවනය වන ලක්ෂ සංඛ්‍යාත පෞද්ගලික මෝටර් රථ සංඛ්‍යාවේ අනිවාර්ය අඩුවක් ඇතිවී, මාර්ග තදබදය ද විශාල ලෙස ලිහිල් වේ. ඉන්ධන භාවිතය අඩුවේ.

එබැවින්, ‘කොරෝනා වසංගතය’ හා ‘ඩොලර් හිඟය’ අප වෙත වෙස්වළාගෙන පැමිණි ආශිර්වාද ලෙස පිළිගෙන, ධනාත්මකව ක්‍රියාත්මක වෙමු.

වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවුණු මෙම සමහරක් පියවරයන් වර්තමානයේ අත්‍යවශ්‍ය කරුණු ලෙස සලකා බලධාරීන් ක්‍රියාත්මක කරනු ඇතැයි තරයේ විශ්වාස කරමි.

එවිට, අප රට දැනට වැටී ඇති අගාධයෙන් යම් මට්ටමකට හෝ ගොඩ වී, අනිවාර්යයෙන් වැඩිවිය යුතු ඵලදායිතාව සහ විනය ශක්තිමත් වී සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් කරා යන ගමනද වේගවත් වනු ඇත.

බර්නාඩ් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment