ඉන්ධන අර්බුදය හමුවේ ලාංකේය ධීවර කර්මාන්තයේ අනාගතය  කෙසේ විය යුතුද?

136

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා සිටින්නේ නිදහසින් පසු උද්ගත වූ දරුණුතම ආර්ථික අර්බුදයට යැයි කීම අතිශයෝක්තියක් නොවේ. දිනෙන් දින උත්සන්න වන මෙම අර්බුදයේ ප්‍රධානතම ප්‍රකාශිත බලපෑමක් වූයේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උවමනා කෙරෙන විදේශ විනිමය සංචිත සිඳී යෑම යි. එහි ප්‍රතිඵලය ලෙස පැන නැඟුණු බලශක්ති අර්බුදය රටේ සියලුම ක්ෂේත්‍රවලට මරු පහරක් එල්ල කළ අතර, ධීවර කර්මාන්තය යනු ඉන් දැඩිව පීඩාවට පත් වූ ක්ෂේත්‍ර අතුරින් එකකි. මසුන් ඇල්ලීම සඳහා දියත් කෙරෙන බෝට්ටු සංඛ්‍යාවේ කැපී පෙනෙන අඩු වීම, වෙළඳ පොළ වෙත මත්ස්‍ය සැපයුම අඩු වීම, මාළු මිල ඉහළ යෑම යනාදිය බලශක්ති අර්බුදයෙන් ධීවර කර්මාන්තයට එල්ල වූ බලපෑම පිළිබිඹු කළ දර්ශකයන් වූ බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ ලාංකේය ජනතාවගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව අවදානමට ලක් වීම යි. රට තුළ පරිභෝජනය කෙරෙන සත්ත්ව ප්‍රෝටීනවලින් 70% ක් පමණම සපුරා ගැනෙන්නේ මසුන් මඟින් වන නිසා, වෙළඳ පොළ වෙත මසුන් සැපයීම අඛණ්ඩව කර ගෙන යෑම අත්‍යවශ්‍යය. නමුත්, ධීවරයින් මැසිවිලි නගනුයේ යාත්‍රා දියත් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් වී ඇති බවයි. ළිඳට වැටුණු මිනිසා ළිං කටින්ම ගොඩ ආ යුතු යැයි කියමනක් අප ව්‍යවහාරයේ පවතී. පවතින ඉන්ධන අර්බුදය හමුවේ, එසේ කරනවා විනා වෙනත් පිළියමක් පෙනෙන තෙක් මානයක නැත. එහෙයින්, උග්‍ර ඉන්ධන අර්බුදය නම් පතුල නොපෙනන ළිඳට ඇද වැටී ඇති ධීවර කර්මාන්තය ගොඩ ගැනීම උදෙසා ධීවර ක්ෂේත්‍රයෙහි ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ක්‍රමවේදයන් ගවේෂණය කිරීමට කාලය එළඹ ඇති බව අවධාරණය කළ යුතුය.

ශ්‍රී ලාංකේය වෙරළාශ්‍රිත ධීවර කර්මාන්තය මුහුණ පා සිටින දැවැන්තම ගැටලුවක් වන්නේ ප්‍රමාණයට වඩා අධික ධීවර-ආයාසය (ත්‍සියසබට චරුිමරු) යි. දැනටමත් වෙරළාසන්න මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා ප්‍රමාණය ඉක්ම වූ යාත්‍රා සහ ධීවරයින් සංඛ්‍යවක් එක් ව සිටියි. මෙය ධීවර සම්පත් හායනය, ධීවරයකුගේ

සාමාන්‍ය ආදායම අඩු වීම කෙරෙහි පමණක් නොව, ඉන්ධන පරිභෝජනය අධික ලෙස ඉහළ දැමීමටත් හේතු වේ. එහෙයින්, පිටත එන්ජිම සහිත ෆයිබර් ග්ලාස් බෝට්ටු වැනි කුඩා යාත්‍රා තවදුරටත් ධීවර කර්මාන්තයට එක් නොකර සිටීම අනාගතය වෙනුවෙන් ගන්නා ඥානාන්විත ක්‍රියාවක් වනු ඇත. කුඩා බෝට්ටු නිෂ්පාදනය හා ලියාපදිංචි කිරීම තාවකාලිකව හෝ අත්හිටුවීම මඟින් මෙම අරමුණ ඉටු කර ගත හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දුන්හ.

කෙටි කාලීන ක්‍රියාමාර්ග

මසුන් ගැවවෙසෙන ස්ථාන සොයා ගැනීමට බහු-දින ධීවර යාත්‍රාවකට විශාල කාලයක් මෙන්ම පිරිවැයක් ද දැරීමට සිදුවේ. සාමාන්‍යයෙන් බහු-දින ධීවර යාත්‍රාවක් එක් ගමන් වාරයක් සඳහා ඉන්ධන ලීටර 12,000-14,000 අතර ප්‍රමාණයක් රැගෙන යයි. මසුන් ගැවසෙන ස්ථාන නිවැරදිව හඳුනා ගත හැකි ක්‍රමවේදයක් ධීවරයා සතුව තිබේ නම් ඒ සා විශාල ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යෑමට යාත්‍රා කාර්ය මණ්ඩලයට සිදු නොවනු ඇත. පෙර සඳහන් කළ පරිදි, එම දත්තයන් දෛනිකව නාරා ආයතනයෙන් සැපයේ. කෙසේ වෙතත් ලෝකයේ වෙනත් රටවල, මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා භාවිත කරන ක්‍රමවේද හා යෙදවුම් දේශීයව අත්හදා බලා, ඒවා ලාංකේය ධීවර ක්ෂේත්‍රය තුළ භාවිතා කිරීම සඳහා ඇති විභවය සොයා බැලිය යුතුය.

ජල මට්ටමට පහළින් ඇති බඳ කොටස පිරිසිදු කිරීමට යාත්‍රා හිමිකරුවන් මැලිකමක් දක්වනුයේ ඒ සඳහා යන අධික පිරිවැය හේතුවෙනි. දොඹකර, එසවුම් යන්ත්‍ර යනාදී බඳ පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වරායවල ස්ථාපනය කර, එම පහසුකම් ධීවරයින්ට දැරිය හැකි මිලකට ලබා දීමට වැඩ පිළිවෙළක් සැකසෙන්නේ නම් එය යාත්‍රා හිමිකරුවන්ට විශාල පිටිවහලක් වනු නිසැකය.

ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් යුත් ධීවර කර්මාන්තයක් සඳහා එන්ජිම හා යාත්‍රාව නඩත්තු කළ යුතු ආකාරය පිළිබඳව යාත්‍රා කාර්ය මණ්ඩලය දැනුවත් කරවීම හා පුහුණු කිරීම අත්‍යන්ත අවශ්‍යතාවක් බව පිළිගැනිණි. ධීවර ක්ෂේත්‍රයේ බලශක්ති පරිහරණ කාර්යක්ෂමතා විෂයෙහි මනා දැනුමක් හා පරිචයක් සහිත විශේෂඥයන්ගේ සම්පත් දායකත්වයෙන්, ධීවර දෙපාර්තමේන්තුවට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ හැකිය. ඉන්ධන පිරිමැසීම සඳහා යාත්‍රාවක් ධාවනය කළ යුතු නිර්දේශිත වේගයන් සම්බන්ධව ද මෙහිදී ධීවරයින් දැනුවත් කිරීමට හැකි වනු ඇත. එපමණක් නොව, ධීවර යාත්‍රාවල ඇති බැටරි ආරෝපණය කිරීම සඳහා සුළං ශක්තිය භාවිතා කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සාකච්ඡාවට සහභාගි වූ ධීවර නියෝජිතයින්, සමහර බහු-දින යාත්‍රාවල එම තාක්ෂණය දැනටමත් භාවිතයේ පවතින බව පෙන්වා දුන්හ. ඔවුන් සඳහන් කළේ සුදුසු නවීකරණ සහිතව එම තාක්ෂණය ධීවර යාත්‍රාවලට හඳුන්වා දීම වඩාත් ප්‍රායෝගික බවයි. ඒ අනුව සුළං ශක්තිය භාවිතා කළ හැකි උපාංග ධීවර යාත්‍රා තුළ ස්ථාපනය කිරීමට නිර්දේශ වූ අතර, එය ඉන්ධන ක්ෂය වීමෙන් එංජිම ක්‍රියා විරහිත වීම නිසා ඨඡී පද්ධති අක්‍රිය වීම සඳහා ආරක්ෂාකාරී පියවරක් ලෙසද පිළිගැනිණි.

මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන පියවර

ධීවර යාත්‍රාවල ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ යුතු දීර්ඝ කාලීන පියවර ලෙස ධීවර යාත්‍රා තුළ සූර්ය පැනල ස්ථාපනය කිරීම, ප්‍රචාලනය සඳහා විකල්ප ප්‍රභවයක් ලෙස රුවල් යොදා ගැනීම, එංජිම හා බඳ නිසි පරිදි නඩත්තු කිරීම, පිටත මෝටරය සහිත ෆයිබර් ග්ලාස් බෝට්ටු සඳහා දින දෙකේ ධීවර මෙහෙයුම් නිර්දේශ කිරීම

ලාංකේය ධීවර බලඇණියෙන් 40% ක් වූ, යාබද කලාපයේ මායිම දක්වා (එනම් නාවික සැතපුම් 24 ක උපරිම දුරක් දක්වා) එක් දින ධීවර මෙහෙයුම්වල නිරත වන, පිටත මෝටරය සහිත කුඩා ෆයිබර් ග්ලාස් බෝට්ටුවල ප්‍රමාණය හා මෙහෙයුම් දුර ප්‍රමාණය පුළුල් කිරීමට ඇති හැකියාව ද විද්වත් මඬුල්ලේ සාකච්ඡාවට බඳුන් විය. ධීවර ප්‍රජාව වෙතින්ම ඉදිරිපත් වූ ඉල්ලීම් හා ධීවර යාත්‍රාවල ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අවශ්‍යතාව අනුව, එම යාත්‍රා තුළ නවාතැන් (විවේක ගැනීමට) පහසුකම් හා මසුන් ගබඩා කිරීමේ පහසුකම් ඇතුළත් වන පරිදි නවීකරණයට ලක් කොට දෙදින ධීවර මෙහෙයුම් සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සාකච්ඡාවට ගැණිනි. යාත්‍රා අංගන හිමිකරුවන් මෙම ක්‍රමවේදයේ විභවය හඳුනා ගෙන සිටින නමුත්, ධීවර ප්‍රජාවගේ අදහස් හා යෝජනාවලට අනුව ධීවර විශේෂඥයින්ගේ හා තාක්ෂණික නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් යාත්‍රා සැලසුම්කරණය, විභවය හා ප්‍රායෝගික භාවිතය සම්බන්ධව වැඩිදුර පර්යේෂණ අවශ්‍ය බව ඔවුන්ගේ ඒකමතික අදහස විය.

පරමාදර්ශී වෙනසක් කරා සියලු පාර්ශ්වයන්ගේ මැදිහත් වීම

මෙම අන්තර් ක්‍රියාකාරී වේදිකාවේදී අවධාරණය කෙරුණු විශේෂිතම කරුණක් වනුයේ “ධීවර කර්මාන්තයේ ඉන්ධන කාර්යක්ෂමතාව” යන අරමුණ උදෙසා වන තාක්ෂණික හා ආකල්පමය විප්ලවය යථාර්ථයක් කර ගැනීම සඳහා ඉංජිනේරුවරුන්, යාත්‍රා අංගන හිමිකරුවන්, විද්‍යාඥයන්, විද්‍යාර්ථීන්, පර්යේෂකයන්, උපදේශකයන්, තාක්ෂණික විශේෂඥයන්, ධීවර නියෝජිතයන්, යාත්‍රා නිෂ්පාදකයින්, යනාදී වූ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයේ වැදගත්කම යි. උගත් සුදුසුකම් ලත්, ක්ෂේත්‍රයේ පළපුරුදු නිලධරයින්ගෙන් සමන්විත ධීවර දෙපාර්තමේන්තුවට යථොක්ත කාර්යභාරය එනම්, සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් ධීවර ක්ෂේත්‍රයේ ඉන්ධන කාර්යක්ෂමතාව අරමුණු කර ගත් වේදිකාවක් තැනීම අපහසු කටයුත්තක් නොවේ. ධීවර යාත්‍රාවල බලශක්ති අවශ්‍යතා අවම කර ගැනීම, කාර්යක්ෂම ලෙස ඉන්ධන භාවිතය, විකල්ප බලශක්ති ප්‍රභවයන් අත්හදා බැලීම, යාත්‍රා සැලසුම් හා නවීකරණ කටයුතු සම්බන්ධව මෙම කණ්ඩායමට මඟ පෙන්විය හැකිය. නමුත්, ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයන් ලෙස සැලකෙන ධීවර බලධාරීන් බොහොමයක්

අට-පහ රාජකාරිය ඉටුකොට නිවසට යනවා විනා, එකට එක්ව දැනුම ගවේෂණය හා අත්හදාබැලීම්වලට පෙළඹීම අඩු වීම කනගාටුවට කරුණකි. පමාවී වුවද ගැටලුවට සම්බන්ධ සියලු අංශ සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් තමා දන්නා දේ හා නොදන්නා දේ මොනවාද යන්න වටහා ගැනීමට හැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම සැබෑ දැනුම යනු එයයි. තනි තනි පුද්ගලයන් ලෙස අප සතුව ගබඩා කොට ඇති දැනුමට වඩා, රටක් ලෙස අපව බොහෝ දුර රැගෙන යනු ඇත්තේ වෙනස වටහා ගැනීමේ සහ චින්තනයේ හැකියාවයි. දැනුම යනු බලය බවත් දැනුම බෙදා ගැනීම, බලය තව තවත් වැඩි කිරීමට හේතු වන බවත් සිහි තබා ගනිමින්, එකට එක්ව අර්බුදයෙන් ගොඩ ඒමට පිළියම් සෙවීම වඩාත් සාර්ථක වනු නොඅනුමාන ය.

ඔස්කා අමරසිංහ

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති සහ සුළු පරිමාණ ධීවර කර්මාන්තය උදෙසා වන ශ්‍රී ලාංකේය එකමුතුවේ (Sri Lanka Forum for Small Scale Fisheries) හි සභාපති, මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා විසින් රචිත, 27.06.2022 දින The Island පුවත්පතෙහි පළ වූ “Fishing without Gas-Guzzling (Towards Fuel-Efficient Fishing for Food and Nutritional Security)

පරිවර්තනය – කෞමි පියසිරි

advertistmentadvertistment
advertistmentadvertistment