ඉන්ධන එන දිනය අහන්න ගිය මව හා දුව පණ්ඩුලගම  ඉන්ධනහලේදී ටිපරයකට යටවෙලා

41

දියණිය ජීවිතක්ෂයට මවටත් බරපතළයි

පෙට්‍රල් ලබා දෙන ඉදිරි දිනයක් දැන ගැනීම සඳහා පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට යතුරුපැදියකින් පැමිණි මවක් සහ දියණියක් ඉන්ධන ලබා

ගැනීම සඳහා පැමිණි ටිපර් රථයක ගැටීම හේතුවෙන් පෙරේදා (30දා) සිදුවූ අනතුරකින් එම දියණිය ජීවිතක්ෂයට පත්ව ඇගේ මව බරපතළ තුවාල ලබා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉහළවැව, ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි පී.ඩී. අනෝමා රණසිංහ නැමැති 36 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි. බරපතළ තුවාල ලැබූ මරණකාරියගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

ඩීසල් ලබා ගැනීම සඳහා පැමිණ දින කිහිපයක් තිස්සේ එම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට නතර කර තිබූ ටිපර් රථයක බැටරිය අක්‍රීය වීම හේතුවෙන්, වෙනත් ටිපර් රථයක් පැමිණ පසු පස කොටස අනෙක් ටිපර් රථයේ පසුපසට වැදීමට සලස්වා තල්ලු කිරීමේදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. මරණකාරිය මව සමග පැමිණ යළි ඉන්ධන පැමිණෙන දිනය පිරවුම්හලෙන් විමසා නැවත යතුරුපැදියෙන් යෑමට සූදානම් වූ අවස්ථාවේදී එක්වරම පණ ගැන්වුණු එම ටිපර් රථය මව සහ දියණිය සිටි යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය. අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක පාලිත නිශ්ශංක, පො.සැ. කරුණාරත්න (60659), පො. කො. මධුසංඛ (67610) යන නිලධාරීහු මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

මිහින්තලේ – රංග චතූ, නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment