පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවල පිහිටි ඉන්ධන පෝලිම්වල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (23 වැනිදා) මියයෑමත් සමග පෝලිම්වල සිටියදී මියගිය මරණ සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.
(පොතුවිල් ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයකු මියගිය බව පොතුවිල් පොලිසිය පවසයි. 23 වනදින පොතුවිල් සිපෙට්කෝ ඉන්ධන හලේ ඉන්ධන පෝලිමේ සිටියදී උදේ 8.10ට පමණ හෘදයාබාධයකින් මෙම පුද්ගලයා රෝගී වී ඇති අතර ඉන් අනතුරුව පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බවත් මොහුට විවිධ රෝගාබාධ රැසක් තිබුණු අතර මීට පෙර අවස්ථා කිහිපයකම මොහු රෝගී වී ඇති බවද පොතුවිල් පොලිසිය වැඩිදුරටත් පැවසූහ.
පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සමෘධි සංවර්ධන නිලධාරියකු ලෙස සේවය කරන එස්. ඩබ්. දිසානායක මහතා මියයන විට වයස අවුරුදු 52කි. මෙසේ මියගොස් තිබෙන්නේ පොතුවිල් වැටියවල අංක 11 දරන ලිපිනයේ පදිංචි තිදරු පියෙකි. මොහුගේ එක් දරුවකු විදේශ රැකියාවක නිරත වන බවත් තවත් දරුවකු විවාහ වී ඇති අතර පාසල් යන දරුවෙක්ද සිටියි. මේ වන විට මෘත දේහය පොතුවිල් මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පොතුවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මේ අතර ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (23 වැනිදා) මරුමුවට පත්වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අහුංගල්ල පොල්අතු පළාත පදිංචිව සිටි 81 හැවිරිදි ජී. වීරසිංහ නමැති ලොරි රථ රියැදුරෙකි. ඔහු සිය ලොරි රථයට ඉන්ධන
ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත.
මොහු හෘද රෝගයට වසර විස්සක සිට ප්‍රතිකාර ගන්නා පුද්ගලයකු බව ද පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, පානම දිනේෂ් චන්පාල, නියාගම – වින්සන්ට් විජේසිංහ