ඉන්ධන මිල සූත්‍රයක් ගේනවා – ඇමැති කංචන විජේසේකර  

114

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ලබන සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

මෙරටට ඉන්ධන ගෙන්වීමේදී තවමත් ආණ්ඩුවට පාඩු සිදුවන බවත් එම පාඩුව අවම කර ගැනීම වෙනුවෙන් මෙලෙස විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන් කළේය. මෙරටට මාසයක් සඳහා ඉන්ධන ගෙන්වීමට ඩොලර් මිලියන 150කට අඩු මුදලක් වැය වුව ද මේ වනවිට ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම හමුවේ එය ඩොලර් මිලියන 580 දක්වා වැඩි වී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

ඉන්ධන මිල වැඩි කළ ද තවමත් ආණ්ඩුව ඩීසල් සහ පෙට්‍රල් අලෙවියෙන් පාඩු ලබන බවත් භූමිතෙල් ලීටරයක් ලබා දීමට රුපියල් 313ක් වැය වුව ද තෙල් සංස්ථාව තවමත් භූමිතෙල් ලබාදෙන්නේ රුපියල් 87කට බවත් ඇමැතිවරයා පැවසීය.

කංචන විජේසේකර ඇමැතිවරයා එසේ කියා සිටියේ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27/2 යටතේ අසා තිබූ ප්‍රශ්නයක කොටසකට පිළිතුරු ලබා දෙමිනි. ඉන්ධන අඩු මිලට හෝ නොමිලේ ලබා ගැනීමට හැකි නම් ඒ සඳහා මූලික වී ක්‍රියා කරන ලෙස මෙහිදී ඇමැතිවරයා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය. බඩඉරිඟුවලින් ඉන්ධන නිපදවිය හැකි බවට සමාජ මාධ්‍යජාල ඔස්සේ පවසා තිබූ පුද්ගලයාට සාකච්ඡාවකට ආරාධනා කළ ද ඔහු මෙතෙක් අමාත්‍යාංශය වෙත නොපැමිණි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment