ඉන්ධන සහනාධාරයක් දෙන්න නැතිනම් අවම ගාස්තුව රු.25 ක් සහ සමස්ත ගාස්තුව 25% කින් වැඩි කරන්න

74

බස් සංගම් ආණ්ඩුවට කියයි

ඞීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පෞද්ගලික බස් සඳහා ආණ්ඩුව වහාම ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවත් එසේ නැතිනම් අවම බස් ගාස්තුව රුපියල් 15 සිට 25 දක්වා මෙන්ම සමස්ත බස් ගාස්තුව සියයට 25 කින් වැඩිකළ යුතු යැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසයි.

මෙම කි‍්‍රයාමාර්ග ගැනීමට ආණ්ඩුවට දින තුනක් ලබාදෙන බවද, සාධාරණ විසඳුමක් නොදුන්නොත් දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන පි‍්‍රයන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය.

පවතින තත්ත්වය හමුවේ තෙල් මිල ඉහළ දැමීම සාධාරණ නොවන බවත් ආණ්ඩුව කළ යුත්තේ ඞීසල් සඳහා වහාම සහනාධාරයක් ලබාදීම, බස් හිමියන්ගෙන් අයකරන්නා සියලූ අයකිරීම් තාවකාලිකව නැවැත්වීම සහ බස් හිමියන්ගේ දෛනික පිරිවැය අඩු කිරීම බව ද හෙතෙම සඳහන් කළේය. අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ සහ සේවා මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක බස් ගාස්තුවද ඉහළ දැමීම සාධාරණදැයි ආණ්ඩුවෙන් අසන බවත් ඒ සඳහා ආණ්ඩුව නිසි කි‍්‍රයාමාර්ග නොගන්නේ නම් අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා සහ සමස්ත බස් ගාස්තුව සියයට 25 කින්වත් වැඩි කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ද ඞීසල් සඳහා සහනාධාරයක් ලබාදීම අත්‍යවශ්‍ය බවය.

ඉන්ධන මිල වැඩිකිරීම මත බස් ගාස්තුව වැඩි කිරීම සාධාරණ නොමැති බවත් එසේ වූ විට සිදුවන්නේ මගීන් බස් රථයෙන් ඈත්වීම බවත් කී හෙතෙම එබැවින් බස් ගාස්තුව වැඩි කරනවාට වඩා විකල්ප කි‍්‍රයා මාර්ග ගැනිය යුතුු බවද සඳහන් කළේය. කෙසේ වෙතත් සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් බස් ගාස්තුව සියයට 15ත් 20 කින් වත් වැඩි විය යුතු බවද කීය. අවම බස් ගාස්තුව රුපියල් 20 ක් වත් විය යුතු බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර ඉන්ධන මිල ඉහළයෑම නිසා දුම්රිය ගාස්තු ද ඉහළ දැමීමට මේ වනතෙක් තීන්දුවක් ගෙන නැතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment