ඉන්න හිතෙන රටින් යන්න හිතෙන දරුවන්ගේ කතාව ඇත්තක්ද?

623

මේ දවස්වල ඇමෙරිකාවේ ග‍්‍රීන්කාඞ් එක දෙන්න දිනුම් ඇදීමක් කරනවා…

ලෝකයේ දියුණු රටවල ළමයි අපේ රටේ ඉගෙනගන්න වැඩි කැමැත්තක් දක්වනවා…

ලෝකයේ දියුණු රටක රැකියාවක් කරන්න අවස්ථාව තියෙන්නේ ඒ රටවල ඉගෙනගන්න අයට විතරයි…

විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් කියනා ආකාරයට දැන් මේ රටේ පවතිනුයේ මිනිසුන්ට ජීවත්වීමට තරම් සුදුසු වාතාවරණයක් නොවේ. එහෙයින් තරුණ, තරුණියන් පිටරටවලට යෑමට විදෙස් ගමන් බලපත‍්‍ර ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල පෝලිම් ගැසී සිටින බව ද ඔවුහු කීහ. එහෙත් මෙරට ජීවත්වන බහුතරයකට පිටරටවලට යෑමේ වාසනාවක් නැති බව සැබෑය. එම බහුතරය අතර සිටින පුරවැසියකු ලෙස මේ සටහන තැබීමට අදහස් කළේ තරුණ, තරුණියන් රට හැර යන කතාවේ යථාර්ථය සමාජයට පැහැදිලි කිරීමටය. එම කතාවට ප‍්‍රවේශයක් ලබාගැනීම සඳහා අප ප‍්‍රථමයෙන් සම්බන්ධකර ගත්තේ ලෝකයේ බොහෝ රටවල් සමග සම්බන්ධතා පවත්වන, ඇමෙරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථානාධිපති ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝය. මේ පෙළගැසෙනුයේ උන්වහන්සේ කියන කතාවය.

‘‘මේ දිනවල විදෙස් ගමන් බලපත‍්‍ර ලබාගන්න ලංකාවේ පාස්පෝට් ඔෆිස් එක ඉදිරිපිට පෝලිම් ගැහිලා ඉන්න බව වාර්තා වෙනවා. ඒකට ප‍්‍රධාන හේතුව ඔක්තෝබර් 06 වැනිදා ඉඳලා නොවැම්බර් 06 වැනිදා දක්වා කාලසීමාව තුළ ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා දිනුම් ඇදීමකින් පසු ග‍්‍රීන්කාඞ් ලබාදෙන්න අයැදුම් පත‍්‍ර කැඳවනවා. ඒ දිනුම් ඇදීමට අයැදුම් කිරීම සඳහා විදෙස් ගමන් බලපත‍්‍රය අනිවාර්යයි. එම දිනුම් ඇදීමට අයැදුම් කිරීමට තමයි ශ‍්‍රී ලාංකීකයන් පාස්පෝට් ලබාගන්න උත්සුක වෙන්නේ. ඒ හැර ලංකාවේ ඉන්න බැරිව තරුණ, තරුණියන් රට හැර යනවා කියන කතාවේ සත්‍යතාවයක් නෑ. ලංකාවෙන් පිටරටකට ගිය හැටියේ රැකියාවකට සම්බන්ධවීමත් පහසු නෑ…’’

ඉන්න හිතෙන රටින් යන්න හිතෙන දරුවන්ගේ කතාව ඇත්තක්ද?

‘‘අපි ජීවත්වන ඇමෙරිකාවේ ඇතුළු ලෝකයේ දියුණු රටවල කිසිම ආකාරයකින් රැකියා සඳහා තවම විවෘත කරලා නෑ. අත්‍යවශ්‍ය ම පුරප්පාඩුවලට පමණයි බඳවාගැනීම් සිදුකෙරෙන්නේ. ඒ වගේම ඇමෙරිකාවේ රැකියාවලට බඳවාගැනීමේ විශේෂ ක‍්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි ලංකාව වගේ රටවල ළමයින්ට ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය හැදැරීමට ශිෂ්‍යත්ව ලබාදෙනවා. ඒ ශිෂ්‍යත්වලාභීන් උපාධිය ලබාගත්තට පස්සේ එරට රැකියා කිරීමට අවස්ථාව ලබාදෙනවා. ග‍්‍රීන්කාඞ් එකත් ලබාදෙනවා. ඒ හැර ලංකාවෙන් කොරියාවට, මැදපෙරදිග රටවලට යනවා වගේ ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව, යුරෝපයේ රටවල රැකියාවලට යන්න බෑ. ඇමෙරිකාවේ රැකියා කරන විදේශීකයන්ට ලබාදුන් ‘එච් 1’ වීසා එකත් හිටපු ජනාධිපති ට‍්‍රම්ප් තහනම් කළා. වර්තමාන ජනාධිපතිවරයාවත් තවම ඒක වෙනස් කරලා නෑ. ඒ නිසා විදේශිකයන්ටඇමෙරිකාවේ රැකියා සඳහා එන්න තිබුණු ඒ අවස්ථාවත් මඟහැරිලා තියෙනවා. ඒ වගේම ලංකාවෙන් විදේශීය අධ්‍යාපනය ලබාගන්න එන පිරිසෙන් ඇමෙරිකාවට එන්නේ ඉතාම සුළු පිරිසක්. යුරෝපයට යන්නෙත් එවැනි සුළු පිරිසක්. ඒ රටවල ජීවන වියදම අපේ වගේ රටවලින් එන ශිෂ්‍යයින්ට දරාගැනීමට අපහසුයි. එක් ශිෂ්‍යයෙක් කාර්තුවකට රුපියල් ලක්‍ෂ විස්සත්, පනහත් අතර විශාල මුදලක් විශ්වවිද්‍යාල ගාස්තු වශයෙන් ගෙවන්න ඕනෑ. මේ රටවල අධ්‍යාපනය ලැබීමට එන්නේ ශිෂ්‍යත්වලාභීන් සහ මාසයකට රුපියල් ලක්‍ෂ විස්සකට වැඩි මුදලක් වියදම් කිරීමට තරම් ආර්ථික ශක්තියක් තියෙන දෙමවුපියන්ගේ ළමයි විතරයි…’’ සද්ධාජීව හාමුදුරුවන්ගේ අදහස් දැක්වීම අවසානය.

ගෝලීය කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවලට විදේශීය සිසු, සිසුවියන් ඇතුළත් කරගැනීම සීමාකර වසර දෙකකට වැඩිය. ඔස්ටේ‍්‍රලියාව, නවසීලන්තය වැනි රටවල ස්ටුඩන්ට් වීසා ලබාදීම තවකාලිකව නතර කර තිබේ. එමෙන්ම කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල විශාල පිරිසකට රැකියා අහිමි වී ඇති බව ද වාර්තා වේ. මැද පෙරදිග රටවල සේවය කළ ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසකට ද රැකියා අහිමි වී ඇති බව ඩුබාහි සේවය කරන ශ‍්‍රී ලාංකියෙක් අප සමග පැවසුවේය. ඇතැම් ශ‍්‍රමිකයන් ඒ රටවල නන්නත්තාර වී සිටින බව ඔහු අපට කීවේය. ලෝකය පුරා රැකියා අහිමි වූ පුද්ගලයන්ගෙන් නැවත රැකියා අවස්ථා ලැබී ඇත්තේ සුළු පිරිසකට පමණය. එවැනි පසුබිමක ලංකාවේ පුරවැසියෙක් විදේශීය රැකියාවකට යෑම මේ වනවිට සිහිනයක් වැනිය. එහෙත් මෙරට තරුණ, තරුණියන් ‘හොඳ ජීවිතයක්’ ලබාගැනීමේ සිහිනය සැබෑ කරගන්න උනන්දු වෙන ආකාරය ගැන ඔස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේ වරලත් සංක‍්‍රමණික නීති උපදේශක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා අපට පැහැදිලි කළේය.

‘‘මේ රටේ තරුණ, තරුණියන් පිටරටවල ඉගෙනගන්න යන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. අපේ රටට නිදහස ලැබුණු කාලේ ඉඳලම දේශපාලනඥයන්ගේ පවුල්වල, ධනවත් පවුල්වල ළමයි ඉගෙන ගත්තේ පිටරටවල. ඒ කාලේ මෙරට බහුතරය අධ්‍යාපනය හැදැරීමට ගියේ එංගලන්තයට. ඊට පස්සේ ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව වගේ රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට මෙරට ළමයි වැඩි උනන්දුවක් දැක්වීය. අපේ ළමයි ඒ රටවල ඉගෙනගන්න යන්න වැඩි කැමැත්තක් දක්වන්නේ අධ්‍යාපනයත් සමග රැකියාවකට යොමුවීමේ හැකියාව එම රටවල තිබෙන නිසයි. ඒ අතර අධ්‍යාපනය ලැබීමේ පරමාර්ථයෙන්ම යන ළමයින්් ඉන්නවා. ඒ ධනවත් පවුල්වල ළමයි. ඔවුන්ගේ සැපවත් ජීවන රටාවට එහෙත් එකයි. මෙහෙත් එකයි. ඒ නිසා ඒ ළමයි අධ්‍යයන කටයුතු අවසාන වුණාට පසුව නැවත මෙරටට එනවා. ඒත් මෙරටින් අධ්‍යාපනය ලැබීමට ඇමෙරිකාව, කැඩනවා, නවසීලන්තය යුරෝපීය රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන මධ්‍යම පන්තියේ ළමයි නැවත අපේ රටට එන්නේ නෑ. ඔවුන් ඒ රටවල රැකියා කරගෙන පුරවැසිභාවය ලබාගෙන මොන දුක විඳගෙන හරි ජීවත්වනවා. නැවත ලංකාවට එන්නේ නෑ. එහෙම වෙලා තියෙන්නේ ඒ රටවලදී උපාධියට නිසි ගෞරවයක් සමග හොඳ රැකියාවක නිරතවීමට අවස්ථාව ලැබෙන නිසා. පිටරට උපාධිවලට අපේ රටේදී නිසි ගෞරවය නොලැබෙන නිසයි…’’

ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බන් නගරයේ පමණක් ශ‍්‍රී ලාංකික පවුල් ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් ජීවත්වන බව වාර්තා වෙනවා. ඒ බොහොමයක් පවුල් මෙරට මධ්‍යම පන්තියේ මිනිසුන්. ඒ රටවලට යන ළමයි ඒ රටවල පදිංචි වුණාට චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්තානය, නේපාලනය, බංගලාදේශය, ඉන්දියාව වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගන්නා ළමයි එම රටවල රැකියාවල නිරත වෙන්නේ කලාතුරකින්. නැවත ලංකාවට පැමිණෙන ඒ උපාධිධාරීන්ට මෙරට වෛද්‍ය සංගම්වලින් නිසි ගෞරවයක් ලබාදෙන්නෙත් නෑ. ඔවුන්ගේ උපාධියට නිසි වටිනාකම ලබා දෙන්නෙත් නෑ. ඒ වෛද්‍ය උපාධිවල යම් ගැටලූ තියෙන්න පුළුවන්. විවිධ රටවල වෛද්‍ය පීඨයන්වල විෂය නිර්දේශයන් එකිනෙකට වෙනස්. ඒ,ඒ රටවල වෛද්‍ය පීඨයන්වල විෂය නිර්දේශයන් අපේ රටට ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. එම ගැටලූ නිරාකරණය කිරීමට රජය කටයුතු කරන්න ඕනෑ. ලෝකයේ දියුණු රටවල් කරන්නේ විදේශීය ළමයින්ට අධ්‍යාපනය ලබාදෙන අතරේ, දක්‍ෂ ළමයින්ට රැකියා අවස්ථා ලබාදෙමින් එම රටවල රඳවාගැනීමයි. ඒ වගේම විදේශීය ළමයින්ට අධ්‍යාපන පහසුකම් සැපයීම එම රටවල ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තියෙනවා. ඔස්ටේ‍්‍රලියාවේ තුන්වැනි ප‍්‍රධාන ආදායම් මාර්ගය තමයි එරට අධ්‍යාපනය ලබන විදේශීය සිසු, සිසුවියන්ගෙන් ලැබෙන ආදායම. ඔස්ටේ‍්‍රලියාවේ ළමයෙක් ඉගෙනගන්න ගෙවන මුදලට සමාන තුන් ගුණයක් විදේශීය ශිෂ්‍යයකුගෙන් අයකර ගන්නවා. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හැදැරීමට අවුරුදු තුනටම, උපාධි ලබාගන්නා තෙක් අය කරන්නේ රුපියල් ලක්‍ෂ පහළොවක්, විස්සක් අතර මුදලක්. ඔස්ටේ‍්‍රලියාවේ විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදරන්න මෙරට ශිෂ්‍යයෙක් මාස හයකට එවැනි මුදලක් ගෙවන්න ඕනෑ. ඒත් අපේ රටේ ළමයි බහුල වශයෙන් යන්නේ ඔස්ටේ‍්‍රලියාව වගේ රටවලට. ඒ එම රටවල රැකියා කරලා යම් වේතනයක් ලබාගෙන පන්ති ගාස්තු ගෙවීමට පහසුකම් තිබෙන නිසයි. මෙරටින් දියුණු රටවල ඉගෙනගන්න යන බහුතරය දෙමවුපිය වියදමින් පන්ති ගාස්තු ගෙවන්නේ පළමු මාස හයේදී විතරයි. ඊට පස්සේ ඔවුන් උපයාගෙන ඒ,ඒ වියදම් පියවා ගන්නවා. ඒ රටවල ඉන්ධනහල්, සුපර් මාර්කට්වල වැඩ කරන බහුතරය අපේ රට වගේ රටවල්වලින් ඉගෙනගන්න එන ළමයි. ඒ වගේම එම රටවල විශ්වවිද්‍යාල සමීපයේ නවාතැන් පහසුකම් සැපයීම ප‍්‍රධාන ආදායම් මාර්ගයක් වී තිබෙනවා…’’

ඉන්න හිතෙන රටින් යන්න හිතෙන දරුවන්ගේ කතාව ඇත්තක්ද?

‘‘විදේශීය ශිෂ්‍යයින්ට උසස් අධ්‍යාපන ලබාදීම හොඳ ආදායම් මාර්ගයක් බව තේරුම්ගත් රුසියාව, මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, චීනය, පාකිස්තානය, ඉන්දියාව, බංගලාදේශය ආදී රටවලත් විදේශීය ශිෂ්‍යයින් ඉලක්ක කරගෙන විශ්වවිද්‍යාල රාශියක් ආරම්භ කරලා තියෙනවා. දැන් යුරෝපීය රටවල ළමයි බහුල වශයෙන් වෛද්‍ය උපාධිය ලබාගන්න යන්නේ රුසියාවට, බංගලාදේශයට, ඉන්දියාවට. ඒ රටවල විශ්වවිද්‍යාල ගාස්තු අඩුයි. ජීවන වියදම අඩුයි. රුපියල් ලක්‍ෂ පනහක් වියදම් කරනකොට රුසියාවේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලබාගන්න පුළුවන්. විදේශීය සිසුන් ඉලක්ක කරගෙන අපේ රටෙත් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය කරන්න තිබුණා. ඒත් මේ රට පාලනය කරපු බලධාරීන්ට එවැනි දැක්මක් තිබුණේ නෑ. එහෙම දැක්මක් සහිත නායකයන් මේ රට පාලනය කළා නම් අද අපේ රටේ ළමයි පිටරට ඉගෙනගන්න යන්නේ නෑ. පිටරටවල ළමයිත් ඉගෙනගන්න අපේ රටට එනවා…’’

‘‘ලෝකයේ දියුණු රටවල ළමයි අපේ වගේ රටක අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට වැඩි කැමැත්තක් දක්වනවා. පිටරටවල ජීවත්වන ශ‍්‍රී ලාංකිකයන් බහුතරය මුදල් හම්බ කරගෙන උපන් රටට ඇවිත් ජීවත් වෙන්න කැමැතියි. මටත් ඔස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය තියෙනවා. ඒත් මම කැමැති උපන් රටේ ජීවත් වෙන්න. තිස් වසරක් තිස්සේ මෙරට පැවැති යුද්ධය අවසානවීමත් සමග විදේශීය රටවල සිටි ශ‍්‍රී ලාංකීකයන් විශාල පිරිසක් ලංකාවට ආවා. ගෝඨාභය රාජපක්‍ෂ මෙරට ජනාධිපති වීමත් සමග ‘රට හැදෙයි’ කියන විශ්වාසයට, විදේශීය රටවල සිටි තවත් ශ‍්‍රී ලාංකීකයින් පිරිසක් මෙරටට ආවා. ලෝකය පුරා කොරෝනා පැතිර යෑමත් සමග විදෙස්ගතව සිටි තවත් ශ‍්‍රී ලාංකිකයන් විශාල කණ්ඩායමක් ලංකාවට ආවා. මේ වනවිට පවතින දේශපාලන අස්ථාවර භාවය තුළ, දවසින් දවස ඉහළ යන ජීවන වියදම හමුවේ පිටරටවල ඉඳලා පැමිණි ලාංකිකයන් විතරක් නෙමෙයි, මෙරට සියලූ ජනතාව අන්ත අසරණයි. මෙරට අනාගතය ගැන විශ්වාසවන්තභායක් නෑ. රටේ නීතිය දේශපාලනය ඉදිරියේ නැමෙනවා. ජනතාවට ගෞරවයක් නෑ. බලාපොරොත්තු වූ සිහින රාජ්‍ය සැබෑ නොවෙනකොට පිටරටවල ඉඳලා පැමිණි පිරිස් නැවත ඒ රටවලට යන්න උත්සාහ දරනවා. ඒත් පිටරටකට යෑම හිතන තරම් පහසු නෑ. විශේෂයෙන්ම ලෝකයේ දියුණු රටක රැකියා අවස්ථාවක් ලබාගැනීමේ හැකියාව තියෙන්නේ ඒ රටවල ඉගෙනගන්න ශ‍්‍රී ලාංකික තරුණ, තරුණියන්ට විතරයි. ඒ නිසා මෙරට තරුණ, තරුණියන් හොඳ ජීවිතයක් සොයාගෙන දියුණු රටකට යෑමට මාධ්‍යයක් හැටියට ‘ස්ටුඩන්ට් වීසා’ එක පාවිච්චි කරනවා. ඒ හැර ලෝකයේ දියුණු රටකට යෑම අතිශය දුෂ්කර ගමනක්…’’ නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගේ කතාව ද අවසානය.

පිටරටක රැකියාවකට යෑම කියන තරම් සුන්දර නැති බව ඉහත කියැවිණි. පිටරට රැකියාවකට පහසුවෙන් යෑමට හැකියාවක් තිබුණා නම් මේ වනවිට මෙරට මිනිසුන්ගෙන් බාගෙට, බාගයක් පිටරටවල බව ද සැබෑය. ඒ මේ ආණ්ඩු පාලනයේ දුර්වලතා නිසා නොව, රටේ අනාගත පරපුර බලාපොරොත්තු වූ ‘සිහින රාජ්‍ය’ ගෝඨාභය පාලනයෙන් නොලැබුණු නිසා ද නොවේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලනයෙන් පසු මේ රට විනාශයට ඇඳගෙන ගිය සියලූ ආණ්ඩුවල දුර්වලකම නිසාය. එමෙන්ම වාර්තාවන ආකාරයට 2020 වර්ෂයේදී මෙරට ආර්ථිකයට විදෙස්ගත ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගෙන් ලැබී ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1 කි. 2021 වර්ෂයේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 3778 කි. විදෙස්ගත ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන්ගේ රැකියා සුරක්‍ෂිත නම්, විශාල පිරිසක් විදේශීය රැකියාවල නියුක්තව සිටී නම් මෙරට ආර්ථිකයට විශාල විදේශ විනිමයක් ලබාදෙන විදෙස්ගත ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම එතරම් ම පහත නොවැටෙනු ඇත. ඩොලර් ගැටලූව මෙතරම් උග‍්‍ර නොවෙනු ඇත.

තරංග රත්නවීර


advertistmentadvertistment