ඉබ්බා හාවා සටනින් සජිත් පරදා රනිල් ජයගනී…!

311

අගමැති සටනින්
රනිල් ජයගත් හැටි

අප්‍රේල් 29 වැනි දා සිදු වූ සෙනසුරු මාරුවත් සමග රටේ දේශපාලන කරලියේ ලොකු විපිරියාසයක් වනු ඇතැයි කීවේ මේ රටේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ ය. දේශපාලනඥයෝ වැඩිදෙනා එම මතය ප්‍රතික්ෂේප කර සිටියහ.

එහෙත් පසුගිය සති කිහිපය තුළ රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවට මුහුණ පාන්නට සිදුව තිබූ අභියෝග හා විරෝධතා හමුවේ රාජපක්ෂවරුන් අතර සමගිය ද බිඳ වැටෙන්නට පටන් ගත් නිසා රාජපක්ෂ කඳවුර ඇතුළාන්තයේ නුපුරුදු වෙනස් යමක් සිදුවෙමින් පවතින බව ජනතාව දැන සිටියහ.

ජනාධිපතිවරයා තමන්ට කිසි ලෙසකත් ගෙදර යන්නට නොකියන බව විශ්වාස යැයි අගමැති මහින්ද කොපමණ කීවත් ජනාධිපතිවරයාට එය වෙනත් ආකාරයකින් කියන්නට සිදු වූයේ රටේ ඇතිව තිබූ වත්මන් උණුසුම් වාතාවරණය නිසාය. අවසානයේ ඇති වූයේ අගමැතිවරයා ධුරයෙන් ඉවත්ව යනවාද නැද්ද කියා දෙගිඩියාවකි.

ආණ්ඩු පක්ෂයේ මහින්දවාදීහු පිරිස අගමැතිවරයාට තනතුරේ බලය අත්නොහරින්නැයි බල කළ අතර ගෝඨාභයට පක්ෂපාත පිරිස හා ස්වාධීන වූ මන්ත්‍රී පිරිස මහින්දට ඉවත්වන්නැයි බලකර සිටියහ.

මහින්ද මේ මොහොතේ සිටියේ දෙලොවක් අතරය. පසුගිය සති අන්තයේ මේ පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා ඇති විය. ඒ අනුව බලන විට ඉකුත් 8 වැනි ඉරිදා ව තීරණාත්මක දවසක් විය.

“තනතුරින් නොයන්න”
ඇතුළෙන් ආ පීඩනය

ඉරිදා දිනයේ ආණ්ඩු පක්ෂයේ මහින්දවාදීන් අරලියගහ මන්දිරය තුළත් ඉන් පිටතත් සාකච්ඡා වට ගණනාවක්ම පවත්වනු ලැබූහ. මේ අතරින් බොහෝ දෙනකුට අවශ්‍යව තිබුණේ මහින්ද අගමැතිවරයාට ඉල්ලා අස් වන්නට ඉඩ දීමට නොව, ඔහුව තවදුරටත් තනතුරේ රඳවා ගැනීමට ය. බොහෝදුරට ඔවුන්ට තිබුණේ තම තමන්ගේ තනතුරු හා පදවි තානාන්තර නැතිවේ යැයි බියක් හා සංකාවක් බව පැහැදිලිවම පෙනෙන්නට විය.

මේ සම්බන්ධයෙන් ඉරිදා හවස අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවලදී යම් යම් උණුසුම් තත්ත්වයන් පවා ඇති වූහ. මේ කෙසේ වෙතත් පසුගිය 6 වැනි සිකුරාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ආණ්ඩුවේ බහුතරයක්ම ඇමැතිවරු සිටියේ අගමැතිවරයාත් ඇමැති මණ්ඩලය අද ඉල්ලා අස්විය යුතුය, කියන මතයේය.

මේ අනුව යමින් ආණ්ඩුවේ බොහෝ මැතිඇමතිවරු හා මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන මට්ටමෙන් පක්ෂයේ කිට්ටුම ක්‍රියාකාරීන් සඳුදා උදේ කොළඹට රැගෙන එන්නට වැඩ කටයුතු සංවිධානය කළේ මහින්ද රාජපක්ෂ අගමැති වරයාට සුබ පතා සමුගැනීමේ උත්සවයක් පවත්වන්නට ය. එහෙත් මේ ජන හමුව සම්බන්ධයෙන්ද රැස්වීම් සංවිධායකයන් අතර පැහැදිලි එකඟතාවක් නොවූ බව පසුව සිදු වූ සිද්ධීන් අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවම තේරුම් ගත හැකි විය.

ආණ්ඩුවක් හදන්න
ජනපතිගෙන් යෝජනා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතිඅන්තයේ ඔහුගේ සමීපතමයන් සමඟ සාකච්ඡා කරමින් කල්පනා කළේ පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙකුගේ කැමැත්ත හා විශ්වාසය දිනූ අගමැතිවරයෙක් පත් කර ගැනීමේ කටයුත්ත ගැනය. එය හිතන තරම් ලේසි පහසු කාර්යයක් වූයේ නැත.

ජනාධිපතිවරයා පළමුවෙන්ම මේ ගැන රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නායකත්වය සමග සාකච්ඡා කළේය. එහෙත් සජිත් ප්‍රේමදාස ඒ සම්බන්ධයෙන් ස්ථීර වචනයක් දුන්නේ නැත.

“මම මොන දේශපාලන තීන්දුව ගත්තත් ගන්නේ පක්ෂයේ අයගේ කැමැත්ත අකැමැත්ත අනුව. මේ ගැන අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සමඟ සාකච්ඡා කරලා තීන්දුවක් දෙන්නම්” සජිත් කීවේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. එතන හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ එකොළහේ සන්ධානයයි. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිස ද ඊට එකතු වී සිටියහ.

කෙසේ වෙතත් ඔවුන් තුළ රටට පිළිගත හැකි හොඳ වැඩපිළිවෙළක් විය. පළමුව මෙම කණ්ඩායම විසින් ඉදිරිපත් කරන නම් කීපය අතරින් සුදුසු අය රටේ ජනාධිපතිවරයා විසින් තෝරා ගන්නටත් ඉන්පසුව ආණ්ඩුවක් සෑදීම සඳහා එකතු වන පක්ෂවල නායකයන්ගෙන් හෝ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාතික විධායක මණ්ඩලය සමග ජනාධිපති සහ අගමැති සාකච්ඡා කර කැබිනට් මණ්ඩලය හා සෙසු නිලතල පත්කිරීමටත් මූලික එකඟතාවක් මෙම සාකච්ඡා වට තුළ ඇතිව තිබුණේ දින කිහිපයකට පෙර සිට ය. මේ හැරුණ විට ජනාධිපතිවරයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි පුද්ගලයින් කීප දෙනකු සමඟ ද සාකච්ඡා කර අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස අදහස් විමසා තිබූ බවද එළි විය.

ඒ අනුව අගමැතිවරයකු පත් කිරීමට හා ඊළඟ ආණ්ඩුව පත් කර ගැනීමට ජනාධිපතිවරයාත් සෙසු පාර්ශ්වත් අතර තිබූ සංවාදයට හා එකඟතාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සෙසු සිවිල් සංවිධාන කීපයක ද දායකත්වය හා අවධානය යොමුව තිබූ යොමුව තිබූ බව පැහැදිලි විය. කොටින්ම නීතිඥ සංගමය මෙය සම්බන්ධයෙන් සෘජුවම මැදිහත් ව තිබූ බව පෙනෙන්නට විය. ඉකුත් 9 වැනිදා ඉතිහාසගත කලබැගෑනිය ඇතිවූයේ ඇති වූයේ ඒ අල්ලපනල්ලේ ය.

අරගලයට එරෙහිව
පොහොට්ටු අරගලය…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සමීපව සිටි දේශපාලනඥයෝ හා ආධාරකරුවෝ පිරිස ඒ වන විටත් මතවාදීව දෙකට බෙදී සිටියහ.

“ජනතාව පාරට බැහැලා කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. එයානෙ වැරදි කළේ. එහෙමනම් එයා අස්වෙන්න ඕනා. අගමැති තුමා මොකටද අස් වෙන්නේ…” එක් පිරිසක් එසේ තර්ක කරමින් අගමැතිවරයා රඳවා තබා ගන්නට උත්සාහ කළ අතර තවත් පිරිසක් කියා සිටියේ මේ මොහොතේ ජනතා විරෝධය පිළිගෙන අගමැතිතුමා ඉල්ලා අස්වී ආණ්ඩුව විසුරුවා හැරීම වඩාත් සුදුසු බවය. මේ නිසා අගමැතිතුමා ද හිටියේ දෙලොවක් අතරය.

ඉකුත් නම වන සඳුදා උදේ පළාත් පාලන ආයතන මට්ටමින් හා වෘත්තිය සමිති මට්ටමෙන් සංවිධානය කර තිබූ අරලියගහ මන්දිරයේ රැස්වීමට ජනතාව පැමිණියේ පුළුල් හා අසහාය මහජන සේවාවකින් පසුව ඉවත් ව යන තම නායකයා ට අවසන් වරට ආයුබෝවන් කියා සමුගැනීමේ සමුගැනීමේ බලාපොරොත්තුවක් ඇතිවය. එහෙත් ඔවුන් වැඩිදියුණු කොට එහිදී මුහුණ දෙන්නට සිදුවූයේ බලාපොරොත්තු නොවූ අත්දැකීමටය. රැස්වීමේදී ජොන්ස්ටන් කතා කළේය. අනතුරුව රෝහිත අබේගුණවර්ධන කතා කළේය. පවිත්‍රා කතා කළාය. මේ කතා තුනම ඉල්ලා අස් වන්නට අගමැතිවරයාගේ හිත හදන කතා නොවීය. ඔවුන්ගේ ඉල්ලීම වූයේ උද්ඝෝෂකයන් සුළු පිරිසකගේ කුමන්ත්‍රණ හා බලකිරීම මත අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු නැති බවය. අගමැති සිය කථාව අතරතුර ජනතාවගෙන් ප්‍රශ්නයක් ඇසීය. තමන් තවදුරටත් රැඳී සිටිය යුතුද නැත්නම් ගෙදර යා යුතුද කියා ඇසූ ප්‍රශ්නයට ජනතාවගේ ප්‍රතිචාරය සතුටුදායක විය. රැස්වීම අවසන් විය. කවුරුන් හෝ නිවේදකයෙක් ශාලාවේ රැඳී උන් මහජනතාවට අරලියගහ මන්දිරයෙන් එලියට ගොස් දකුණට හැරී යළිත් දකුණට හැරී ගාලු පාරට පිවිස දිගටම යන්නට මාර්ග සැලැස්මක් කියාදුන්නේය. සියල්ල සංවිධානය කර යම් යම් පිරිස් මේ යන්නේ කොහාටදැයි කල්තියා දැන සිටියාට මහින්ද රාජපක්ෂට ආයුබෝවන් කියන්නට සැරසී පැමිණි බොහෝ දෙනෙක් ඊළඟට වන්නේ කුමක්දැයි කියා දැන සිටියේ නැත. අසූ තුනේ කළු ජූලියට පමණක් දෙවැනි වූ මහා ඛේදවාචකයකට මුල්වූ අවාසනාවන්ත සිද්ධි දාමය පටන් ගත්තේ මේ ජන බලවේගය ගාලුපාර ඔස්සේ ගාලුමෝදර පිටියට අවතීර්ණ වීමත් සමගය.

එතනින් පසු සිදුවූ දේ වචනෙන් විස්තර කර අමුතුවෙන් කිව යුතු නොවන්නේ ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ රටේ ජනතාව ඒ සිදුවීම් සියල්ල නෙත් පුරා බලා අවසන්ව ඇති නිසාය.

එදා උදෑසන අරලියගහ මන්දිරයේ රැස්වීමට පැමිණි මහින්දවාදී කළහකරුවන් පිරිසක් සංවිධානාත්මකව ගෝඨාගෝගම වෙත දියත් කරන ලද ඒ තිරස්චීන ප්‍රහාරයෙන් අනතුරුව සෑම තත්පරයක් පාසාම සිදු වූ දේ මේ රටේ දේශපාලනයේ දී බොහෝ සේ වැදගත් ය. රටේ ප්‍රධාන පුද්ගලික නාලිකා කිහිපයක් ඇතුළු ජාතික හා සමාජ මාධ්‍ය ජාල ඒ මුළු පහරදීම ම රටටම පෙනෙන්නට සජීවීව විකාශය කර තිබුණේ මේ රටේ තවත් ඛේදවාචක රාශියකට මග පාදා දෙමිනි. රටම ගිනි ගොඩක් බවට පත් කරන්නට නායකත්වය දෙමින් යැයි කීවාට වරදක් නැත. “ගෝඨා ගෝ ගමේ නිරායුධ, නිර්පාක්ෂික අරගලකරුවන්ට මේ තිරිසන් ප්‍රහාරය එල්ල කරන්න පැමිණි රාජපක්ෂ මැරයෝ දැන් තමන් ආපු බස්වල නැගලා ගම් පළාත්වලට යන්න පටන් අරන් තියෙනවා. නිරායුධ උද්ඝෝෂකයන්ට ප්‍රහාර එල්ල කළ මේ මැරයො ඔබේ ප්‍රදේශය හරහා යද්දී ඒගොල්ලන්ව භාරගෙන සලකන්න ඔබටත් අවස්ථාව උදා වෙනවා. අපේ මේ අරගලයට යම් හෝ දායකත්වයක් සපයනවා නම් ළඟම නගරයට එන්න. පාර අයිනට එකතුවෙන්න. මේ එන අපරාධකාරයන් ගැන බලාගන්න” විද්‍යුත් නාලිකා කිහිපයක් විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉහළ නායකයෙකු යැයි කියන මේ තරුණයාගේ එම අණ දීම හා ප්‍රකාශය සජීවීව විකාශය කර දැමූහ. අරගලයේ දෙවන මෙහෙයුම ක්‍රියාත්මක වූයේ එතැන් සිටය. අරලියගහ මන්දිරයේ තිබූ රැස්වීම සඳහා පිට පළාත්වලින් සෙනඟ පැමිණි බස් රථවල හා වාහනවල අංක තහඩු හා තොරතුරු රැගත් තවත් විස්තර පත්‍රිකාවක් ද ඉහත කී නිවේදනයට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වන විට රට පුරාම පැතිර ගොස් තිබිණි.

අරගලයට ඉහළ
අහසේ මඟුල්ගෙදර…

ගෝල්ෆේස් පිටිය යුද පිටියක්ව තිබූ සඳුදා උදේ ඒ ආසන්නයේ වූ ෂැංගිලා හෝටලයේ ලෝටස් ශාලාවේ ප්‍රකට දේශපාලඥයෙකුගේ දියණියක විවාහ වන මංගල උත්සවයක්ද පැවැත්විණි. විවාහ වූයේ රංජිත් සියඹලාපිටිය ගේ ලොකු දියණියයි. ඇගේ අතගත් මනාලයා ගේ දෙමවුපියන් ද කෑගල්ල ප්‍රදේශයේ සුප්‍රකට පවුලක නීතිඥ යුවළකගේ පුතණුවන් වීම නිසා මංගල උත්සවය සඳහා ඇදී ආ ආරාධිතයන් පිරිසද සුළුපටු නොවීය. ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද, විපක්ෂ නායක සජිත්, එජාප නායක රනිල් ඇතුළු පාර්ලිමේන්තුවේ අති විශාල ගණනක් දේශපාලනඥයෝ මෙම මංගල උත්සවයට සහභාගි වීමට නියමිතව තිබිණි. එහෙත් මේ සුවිශේෂී ඛේදවාචකය ඇතිවූයේ එම විවාහ මංගල උත්සවය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන අතරවාරයේ ය. මංගල උත්සවය පසෙක තබා සියල්ලෝම උඩු මහලේ වීදුරු ජනේල අසලට වී ඉන් පහළ ගෝල්ෆේස් පිටියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් සියල්ල දෙස අනිමිස ලෝචනයෙන් යුතුව බලා සිටින ආකාරය දැක ගත හැකි විය. මනාල යුවළද වෙන කළ හැකි කිසිවක් නොමැතිව එයම කළහ. ජනාධිපති ගෝඨාභය සජිත් ප්‍රේමදාසට දුරකථනයෙන් කරන ලද ආරාධනයට පසු පසුගිය සඳුදා උදේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් හමුවක් කැඳවනු ලැබීය. ජනාධිපතිවරයා කරන ලද ආරාධනාව මෙහිදී සජිත් මන්ත්‍රීවරුන්ට හෙළිදරව් කළේය. “මම මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට පිටින් එකක් කරන්නේ නෑ… අනිත් එක අපි කරන දෙයින් මාසයක් තිස්සේ දැන් ගෝල්ෆේස් පිටියේ අරගල කරන අරගලකරුවන්ගේ අපේක්ෂාවන් ඉටු වෙන්නත් ඕන… මොකක්ද ඕගොල්ල මේ ගැන කියන්නෙ…” “රට වැටිලා ආර්ථික වශයෙන් හෙම්බත් වෙලා ඉන්න මේ වෙලාවේ අපි දේශපාලනය ගැන හිතනවට වඩා රට හා ජනතාව ගැන හිතන්න ඕන…” මන්ත්‍රීවරු කීහ. “විධායක ජනාධිපතිකම අහෝසි කරන්නත් ඕනි වගේම ගෝඨාභය යන්නත් ඕන…” සජිත් සුපුරුදු වාක්‍ය කියාගෙන ගියේය. හරින් ඇතුළු පිරිසක් මෙයට ප්‍රති තර්ක ගොඩනඟමින් වාද කරන්නට වූහ. ගෝඨා ගෝ ගමට රාජපක්ෂ පෙළපාලියේ අය පහර දුන් බවට ආරංචිය ලැබුණේ ඒ අතරතුරයි. අරගලයට පහරදෙන වීඩියෝවන් කීපයක් මේ වෙලාවේ කාවින්ද ජයවර්ධන සිය නායකයා ට පෙන්වා සිටියේය.

“අපි වහාම මෙතෙන්ට යන්න ඕන. ඉක්මනින් වාහන ගන්න…” සජිත් කීවේය.

වාහනවල නැඟී සජිත් ඇතුළු පිරිස යන ගමනේදී කාවින්ද ජයවර්ධන ෆේස්බුක් ලයිව් විකාශයක් ද කළේය. ඒ මොහොත වන විට පහරදුන් මැර පිරිස් ගෝල්ෆේස් පිටියෙන් ඉවත්ව ගොස් තිබුණත් පොලු මුගුරු රැගත් තව පිරිසක් ගෝල්ෆේස් පිටියේ සිටියහ. කාවින්ද ජයවර්ධන ඔවුන්ව හැඳින්වූයේ මහින්දගේ මැරයෝ කියාය. වාහනවලින් බැස සජිත් ගෝල්ෆේස් පිටිය වෙත ඇවිදගෙන යද්දී ඔහුට ඛේදවාචකයකට මුහුණ දෙන්නට සිදු විය. පොලු මුගුරු රැගත් කලහකාරීන් පිරිසක් සජිත් ඇතුළු පිරිසට පහර දෙන්නට පටන් ගත්හ. කාවින්දගේ විකාශය එතෙකින් නිමාවට පත්විය. සජිත් ප්‍රේමදාසට ඒ මොහොතේ කවුරුන් විසින් පහර දෙනු ලැබූවත් සජිත් එම ප්‍රහාරය ද හුවා දැක්වූයේ මහින්දගේ මැරයන් විසින් කරන ලද පහරදීමක් කියාය. එහෙත් ඒ වන විට සජීවීව විකාශය වෙමින් තිබූ යම් යම් චැනල්වල හා සමාජ මාධ්‍යවල දර්ශනවලට අනුව සජිත් ට පහර දුන්නේ අරගලයේම සිටි තරුණයන් පිරිසක් බව පැහැදිලිව ආනාවරණය විය. ඔහුට පළමු ප්‍රහාරය එල්ල කළේ එක්තරා කාලයක තමන්ට ලැම්බෝගිනියක් අවශ්‍ය යැයි කියමින් හඬා වැටුණු තරුණ කලාකරුවකු වීම තුළ, එම ප්‍රහාරය මෙහෙයවණු ලැබුවේ කවර දේශපාලන දහරාවක් විසින් දැයි සජිත් හැර අන් ප්‍රේක්ෂක සියල්ලෝම සැක හැර වටහාගෙන තිබිණි.

කට්ටියක් බේරේ
තව කට්ටියක් බේරේ…

අරගල භූමිය වෙත සංවිධානාත්මකව පහරදුන් කළහකාරී පිරිස් බලාපොරොත්තු වූයේ අරගල භූමියෙන් අරගලකරුවන් පන්නා දැමූ පසු ඉතුරු ටික ආණ්ඩුවේ හමුදාවන් පැමිණ බලා ගනිවී යැයි කියාය.

එහෙත් එම සිද්ධිය නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හොඳටම උරණ වී සිටියේය. මෙතෙක් දිනක් ඉතා සාර්ථකව යම් යම් පාර්ශ්වයන් සමග පවත්වාගෙන එමින් තිබූ සාකච්ඡා හා එකඟතා සියල්ල මෙතනින් පසු අවලංගු වී යන බව ඔහු වටහා ගත්තේය. මේ නිසා ඔහු ක්‍රියා කළේ අරගලයට පහරදුන් කළහකරුවන් වෙනුවෙන් තදින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්ථාවරයේය. අවසානයේ අරගලයට හිතාමතාම පහර දෙන්නට පැමිණි කළහකරුවන්ට අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවිය.

අරගලයට පහර දී පැන යන මහින්දගේ කළහකරුවන් කොටුකරගෙන පහර දෙන්නට තවත් ක්ෂණික මෙහෙයුමක් මේ අතරවාරයේ ක්‍රියාත්මක වූයේ කොළඹ නවම් මාවත ගංගාරාමය කොම්පඤ්ඤ වීදිය ආදී ප්‍රදේශවල නාගරික පැල්පත්වාසී හා මහල් නිවාස වාසී මුස්ලිම් දෙමළ සිංහල තවත් කළහකාරීන් පිරිසකගේ මැදිහත්වීමෙනි. ඔවුන් මඟ රැක සිට මහින්දගේ කළහකාරීන් පැමිණි බස්වලට ගොඩවෙන්නට නවම් මාවත වෙත පැමිණි පිරිස් සොය සොයා මදි නොකියන්නට නෙළන්නට වූහ. කිසිදු ඉවක් බවක් නොමැතිව ඇතැම් පිරිස් බේරේ වැව වෙත තල්ලු කර දැමූ හ. අවසානයේ වූයේ ගෝල්ෆේස් අරගලයට පහරදෙන්නට සම්බන්ධ වූ පිරිසටත් ඒ කිසිවකට සම්බන්ධ නොවී මහින්ද මහත්තයට ආයුබෝවන් කියන්නට පැමිණි දෙපිරිසටත් එක ලෙස දහම් මාවත අවට ගමේ චන්ඩින්ගේ අනේකවිධ වධහිංසාවලට මුහුණ දෙන්නටය. පිරිසක් හිස් ලූ ලූ අත පැන දිවූහ. පිරිසක් ගුටි කෑහ. තව පිරිසක් බේරෙ වැවට දැමූහ. වැඩි දෙනෙක් ආපසු අරලියගහ මන්දිරේටම රිංගා ගත්හ.

මරබිය මැද
රජමැඳුරේ රාත්‍රිය…

මහින්දවාදී කලහකාරීන් විසින් ගෝල්ෆේස් පිටිය සාමකාමී අරගලයට පහරදී තුවාල කර දමනු ලැබූ සංඛ්‍යාව විස්සකට වැඩි නැත. එහෙත් ඊට වන්දි වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාටත් ජීවිත බිලි දෙන්නට සිදුවූයේ නිර්පාක්ෂික සාමකාමී අරගලයේ සන්නද්ධ අංශය රට පුරා දියත් කරනු ලැබූ ඒකාබද්ධ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් හැටියටය. පහරදී අතපය කඩා ඔලු පලනු ලැබූ සංඛ්‍යාව තුන්සියයකට ආසන්න විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ඔවුන්ගේ හිතවතුන්ට ආධාරකරුවන්ට නිලධාරීන්ට අයත් ගෙවල් දෙසීයකට වඩා ගිනි පත් කර දමනු ලැබූහ. අරලියගහ මන්දිරයට රිංගාගත් ආධාරකරුවන්ගේ තත්ත්වය ඉතා සෝචනීය විය. ඇතැම්හු අරගලකාරී කලහකරුවන්ගෙන් හොඳ හැටි ගුටි පූජාවට මුහුණ දුන් අය වූහ. බොහෝ දෙනකුගේ ඔලු පැළුම් තිබිණි. අතපය කඩා දැමීම් හා කපා කොටා දැමීම් ද ගණනාවකි. එහෙත් ඔවුන්ව රෝහල්ගත කිරීමද අවසානයේ ප්‍රශ්නයක් වූයේ ඔවුන්ව පටවා යවන ගිලන්රථ ද ආපසු හා හරවා එවන්නට තරම් කලහකාරීන් සාහසික වී සිටි නිසාය. අවසානයේ යුද හමුදා කොමාන්ඩෝ බළකායේ ආධාරයෙන් ඔවුන්ව රෝහල්ගත කරන්නට හැකි වුවත් රෝහලේ දී පවා කලහකාරීන් මැදිහත්ව තුවාලකරුවන්ට පහර දෙන්නට හා හිංසා පීඩා කරන්නට වූහ. වෛද්‍ය වෘත්තියේ ආචාරධර්ම කියා දෙමින් ඔවුන්ව බේරා ගන්නට වෛද්‍යවරු ඉදිරිපත් වුවත් ඔවුන්ටද කලහකාරීන්ගේ බලහත්කාරකම් අඩුවක් නොවීය. එදින මුළු රාත්‍රියම පහන් වන තුරු කලහකරුවන් අරලියගහමන්දිරය වට කරගෙන සිටියහ. කඩා බිඳ විනාශ කරනු ලැබූ බස්රියක් පදවාගෙන එක් අවස්ථාවක කලහකාරීන් අලියගහ මන්දිරයේදී නවම් මාවත ගේට්ටුව වෙත පහර දුන්හ. එය කඩා බිඳ දමා ඇතුළට ඒමේ උත්සාහය පරාජය කළේ යුද හමුදාවේ හා විශේෂ කාර්ය බළකායේ සීමිත ආරක්ෂකයන් නිලධාරීන් පිරිස්කගේ කැපවීම් නිසාය. අවස්ථා කිහිපයකදීම අගමැතිවරයා තම සහෝදරයාට දුරකථනයෙන් කතා කරමින් අරලියගහ මන්දිරයේ ආරක්ෂාව තහවුරු කරන මෙන් ඉල්ලා සිටියහ. අරලියගහ මන්දිරයේ ආරක්ෂාව භාර ආරක්ෂක ප්‍රධානීන් ද තම තමන්ගේ ප්‍රධානීන් අමතා ආරක්ෂාව මදි යැයි කියමින් බැගෑපත් වූහ. අවස්ථා දෙකකදීම ගේට්ටු කඩා ඇතුළට එන්නට කලහකාරීන් උත්සාහ කළත් යුද හමුදාව එම උත්සාහයන් ව්‍යාරථ කළේ අපමණ කැපවීමෙන් නිදි වර්ජිතව රැය පහන් කිරීම නිසාය.

වැටුණු රට ගොඩගන්න
රනිල්ට හැකිවෙයිද…

අගමැතිකම භාරගෙන අලුත් ආණ්ඩුවක් හදන්න දායක වන්නැයි ජනාධිපතිවරයා කරනු ලැබූ ආරාධනයෙන් පසුව රනිල් වික්‍රමසිංහ තම හිතවතුන් හමුවූයේය.

“ඔබතුමා ඉස්සරවෙලාම ඔය යෝජනාව භාර ගන්න එපා. සජිත් තමයි විපක්ෂනායක. එයා මේ වෙලාවේ වගකීම භාරගන්න සතුටු නම් අපට තියෙන්නේ ඒකට ඉඩ දීලා පැත්තකට වෙලා උදව් කරන එක… එයා අකමැති නම් දෙවනුව අපි සලකා බලමු….” රුවන් විජේවර්ධන යෝජනා කළේය. මේ අතර සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් මෙන්ම පොහොට්ටුවේ තරුණ මන්ත්‍රීවරුන්ගෙන් ද මේ පිළිබඳව විමසා රනිල් වෙත පැමිණි දුරකථන ඇමතුම්වල නිමක් නොවීය.

“ඔයගොල්ලො මට සහාය දෙනවා නම් මට පුළුවන් අභියෝගය භාර ගන්න… හැබැයි ඉතින් ඉස්සර වෙලා විපක්ෂ නායකතුමා මොකක්ද ගන්න පියවර කියලා අපි බලන්න ඕන.” රනිල් උත්තර දුන්නේය.

“අගමැතිකම භාරගන්නට නම් දැඩි කොන්දේසි දමා සජිත් ඉදිරිපත් කර තිබූ යෝජනාව ජනාධිපතිවරයාගේ නොසතුටට හේතුවක් විය. සජිත් තනතුර භාරගන්නට නම් ජනාධිපති ගෝඨාභය එම තනතුරින් ඉවත් වීමේ වැඩකටයුතු ආරම්භ කළ යුතු බව ඔහුගේ කොන්දේසි අතර තිබිණි. එහෙත් අගමැතිකම භාරගන්නට රනිල් එබඳු කිසිදු කොන්දේසියක් ඉදිරිපත් කර තිබුණේ නැත.

“මේ වෙලාවේ මේ රටට අවශ්‍ය වෙන්නේ කොන්දේසි දම දම ආණ්ඩුවක් හැදීම කල් දමන එක නෙවෙයි. පිළිගත හැකි ආණ්ඩුවක් හදලා ජාත්‍යන්තරයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගැනීම. ස්ථාවර ආණ්ඩුවක් හැදුනොත් තමයි ජාත්‍යන්තරය උදව් කරන්නේ. ස්ථාවර ආණ්ඩුවක් මේ සති දෙක තුළ නොහැදුනොත් මේ ඉන්න මහ බැංකුවේ අධිපතිතුමා ඉල්ලා අස් වී යන බව දැනුම් දීලා තියෙනවා… ඒක කෙටිකාලීනව ආණ්ඩුවක් හදලා මේ තියෙන ප්‍රශ්න ටික විසඳගන්න මම එකඟයි. රට කෙලින් කර කරගත්තට පස්සේ ඊළඟට අපි දේශපාලනය කරමු…” රනිල් වික්‍රමසිංහ ගේ ස්ථාවරය ඉතා පැහැදිලි අවංක එකක් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද එය සතුටින් පිළිගෙන තිබීම විශේෂත්වයකි.

පක්ෂ 11ට නොදන්නවා
රනිල්ට කතා කරලා…

මේ කලබැගෑනිය අතරේ අගමැතිවරයෙක් ඉක්මනට පත්කර ගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මැදිහත් කරගෙන පක්ෂ එකොළහේ සන්ධානය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී පිරිස හා අනෙකුත් සෙසු දෙමළ පක්ෂ එකමුතුවෙන් සාකච්ඡාවක් අරඹා තිබිණි. එහි යම් යම් එකඟතා ගණනාවකට ද පැමිණ සිටියහ.

ඒ අතරතුර හදිසියේම ඔහු රනිල් වික්‍රමසිංහ සමග ඇති කරගෙන තිබූ එකඟතාවය ක්‍රියාවට නඟන්නට තීරණයක් ගත්තේය. එම තීරණය ගැන කිසිවක් නොදැන පක්ෂ එකොළහේ සන්ධානය එදින වෙනම සාකච්ඡාවක් කළේ මෙසේය. බදාදා උදේ ටිරාන් අලස්ගේ කාර්යාලයේදී විපක්ෂයේ පක්ෂ එකොළහේ කණ්ඩායම සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම එක්වී වෙනම සාකච්ඡාවක් පවත්වනු ලැබුවේය. ඊළඟ ආණ්ඩුව පිහිටුවීමේ කටයුත්ත කෙසේ කරන්නේද කියා ඔවුන් එහිදී සාකච්ඡා කළහ. පළමු මාතෘකාව වූයේ ජනාධිපති පත් කිරීමයි. විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම යන තිදෙනා ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

“කවුරු අගමැති වුණත් වැඩක් නෑ… මේක සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙන්න නම් ජේවීපී ඒකයි සජබෙයි මේකට හවුල් කරගන්න ඕන. එහෙම නැත්නම් පොහොට්ටුව විතරක් හදන ආණ්ඩුවකට අපිට සහයෝගය දෙන්න බැහැ. අපි ස්වාධීන වෙනවා..” මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න පක්ෂ 11 සන්ධානය ඇතුළේ තිබූ ප්‍රශ්නයක් නිසා තර්ක විතර්ක කර නැගිට ගියහ. “අගමැතිකමට යෝජනා කරපු නම් අතර මගේ නම මුලදී තිබුණා. දැන් හැලිලා තියෙන්නෙ කොහොමද…” නිමල් සිරිපාල ද සිල්වා ප්‍රශ්න කළේය.

“ඔබතුමාගේ ප්‍රකාශ පරස්පරයිනේ. දැන් ඉස්සෙල්ලා පක්ෂයක් හැටියට කිව්වා ආණ්ඩුවට සහයෝගය නොදී ස්වාධීන වෙනවා කියලා. දැන් ඒ පාර අහනවා ඇයි මගේ නම නැත්තෙ කියලා…” ඒ ගැනද ලොකු කතාබහක් ඇති විය. ආණ්ඩුවට තමන් ද එකතු වන්නේ නැතැයි කියමින් නිමල් සිරිපාල ද තර්ක කළ අතර එමගින් ඇති වූ ප්‍රශ්නයක් නිසා ඔහු ද නැගිට ගියේය. “අපි මේ නම් තුනම ජනාධිපතිතුමාට යවමු ඕන එකක් කරගන්න…” මෛත්‍රීපාල සිරිසේන කීවේය. “අවශ්‍ය නම් මගේ නම වුණත් මෙතනින් අයින් කරන්න. මේ විදියට නම් පටලවාගෙන අපි අපි වාද කරන්න හොඳ නෑ. මේ වෙලාවේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දේශපාලනය කරන්න කලින් රට ගොඩගන්න තැනකට අපි විසඳුම් හොයන්න ඕන…” ඩලස් කීවේය. එම සාකච්ඡාව එතරම් උණුසුම් එකක් විය. ඉක්මනින් අවසන් විය.

රනිල් තෝරාගත් බව
ජනපති දැනුම් දෙයි

ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා උදේ දහයට සූම් තාක්ෂණය ඔස්සේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවූයේය. රැස්වීම සඳහා අමාත්‍යවරු 16 දෙනෙක් සූම් ඔස්සේ ඉදිරිපත් විය.

ඒ වන විට රට මූල්‍යමය වශයෙන් අසීරු අඩියකට වැටී තිබූ අතර මහ බැංකුවේ අධිපතිවරයා ද ස්ථාවර ආණ්ඩුවක් සාදාගන්නේ නැතිනම් තමන් තව සතියක් බලා ඉල්ලා අස් වී යන බවට ද අනතුරු අඟවා තිබිණි. තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ඉතා ඉක්මනින් අගමැතිවරයකු තෝරා ගැනීමට ය. “දැනටමත් ඒ සඳහා අපේ නම් තුනක් ඔබතුමා වෙත ඉදිරිපත් කරලා තියෙනවා…” හිටපු ඇමැතිවරයෙක් කීය.

“මට නම් තුනක් ඇවිල්ලා තියෙනවා නම් තමයි… හැබැයි මට මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මේ වෙලාවේ තානාපතිවරු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයෝ, ව්‍යාපාරික ප්‍රජාව මට කතා කරලා කියන යෝජනාවක් තියෙනවා. ඒගොල්ලෝ කියනවා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් තියෙන පළපුරුදු නායකයෙකුට මිස මේ වෙලාවේ මේ තියෙන ප්‍රශ්නයට උත්තර හොයන්න බෑ කියලා. එයාලා රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කරනවා. ඕගොල්ලෝ මොකද ඒ ගැන කියන්නේ…”

හිටපු ඇමැතිවරු කිසිවක් කීවේ නැත.

“එයා එක්කත් ටිකක් කතා කරලා බලන්න. එයාට හොඳ අයිඩියාස් තියනවා. ලෝකෙ පිළිගැනීමක් තියෙනවා.”

“ඒ වගේම එතුමන්ට පාර්ලිමේන්තුව ඇතුළේ හොඳ පිළිගැනීමක් තියෙන්නත් ඕන…” මන්ත්‍රීවරු තර්ක කළහ.

අවසානයේ එම යෝජනාව අනුමත කළේය. ඔහු එහි තිබෙන යෝග්‍යතාව ගැන ද බොහෝ කරුණු කීවේය.

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මග හැරීම සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තරයේ ද ප්‍රශ්න රැසක් මතු විය. පක්ෂය ඇතුළාන්තයේ පසුගිය බදාදා පැවැති රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වූයේය. හරීන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් මෙයට තදින්ම විරෝධය ප්‍රකාශ කළේය. සජිත් මේ ගැන නිසි පිළිතුරක් ලබා දී නිසි පරිදි ක්‍රියා කරන්නෙ නැත්නම් තමන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් වහාම ස්වාධීන වී රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන්නට කැපවෙන බව ඔහු එළිපිටම කියාපෑවේය. ඔහුගේ සහයෝගය ඒ වන විටත් ආණ්ඩුව භාර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ද කතා පැතිර ගියේය. පක්ෂයේ බොහෝදෙනකු කියන්නට වූයේ අග්‍රාමාත්‍ය ධුරය ලබා ගෙන රට නිවැරදි මාවතට ගෙන යෑම සඳහා ස්වභාවධර්මය විසින් මේ අවස්ථාව සමගි ජන බලවේගයට ලබාදුන් වාසනාවක් බවය. අවසානයේ සජිත් ද මේ ගැන ගැඹුරින් කල්පනා කළේය.

සජිත් ප්‍රමාදයි
රනිල් ඉක්මන් වෙයි

කෙසේ වෙතත් අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටේ ඊළඟ අගමැති බවට පත්විය. කොතරම් විවේචන තිබුණත් රනිල් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.

රනිල් පත්වන්නට ඔන්න මෙන්න තිබියදී සජිත් ප්‍රේමදාස ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යවනු ලැබීය. පෙර ඉදිරිපත් කරන ලද කොන්දේසි ලිහිල් කරමින් තමන් මේ යෝජනාවට එකඟ බව ඔහු එහි කියා තිබිණි. එහෙත් ඒ වන විට සජිත් බොහෝ සේ ප්‍රමාද වී තිබිණි. රනිල්ගේ අත්සන් කිරීම තහවුරු විය. බ්‍රහස්පතින්දා හවස ජනාධිපති මන්දිරයේ දී රනිල් ඊළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment