ඉරාක පාර්ලිමේන්තුවත් අරගලකරුවෝ අල්ලති

133

ඉරාකයේ පාර්ලිමේන්තුවට කඩා වැටුණු දහස් ගණනක අරගලකරුවන් පිරිසක් විසින් පසුගිය දා එය අත්පත් කරගන්නා ලදි. යමෙකු කථානායක පුටුවේ වාඩි ලා තම පාද ඉදිරිපස මේසය මත තබාගෙන සිටි අතර, තවත් අයෙක් අගමැතිවරයාගේ ආසනයේ වාඩි වී සිගැරට්ටුවක් උරමින් සිටියේය. මන්ත්‍රීවරුන්ගේ ආසන සියල්ල පිරී තිබුණේ මොහොතකට පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් අරගලකරුවන්ගෙනි. එකී නවක මන්ත්‍රීවරුන් සඳහා කථානායකයා විසින් කාලය වෙන්කර දීමක් දක්නට නොලැබිණි. සියලු දෙනා එක්ව තව ආසනවල සිට කෑ කොස්සන් ගසන්නටත්, ගීත ගයන්නටත්, සටන් පාඨ කියන්නටත් විය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළත්, ඉන් පිටතත් තත්ත්වය එයම විය. සැප පහසු ආසන මත හා මේස මත නිදා ගනිමින්, ඡායාරූප ගනිමින් බොහෝ දෙනා ඒවා අන්තර්ජාලය ඔස්සේ බෙදා හැරියේ උජාරුවෙනි.

ඉරාක පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ එරට අගනුවර වූ බැග්ඩෑඩ්හි අධිආරක්ෂිත හරිත කලාපය (Green Zone) තුළයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ සංකේතය වූ එරට පාර්ලිමේන්තුවේ සිදු වූ මේ යකා නැටිල්ල ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සජීවීව විකාශය වන්නට විය. මේ ගාල ගෝට්ටියට පෙර අරගලකරුවන් දැවැන්ත කොන්ක්‍රීට් තාප්ප බිමට සමතලා කරමින් ඉදිරියට පැමිණ තිබුණි. අවසානයේ කරකියා ගත දෙයක් නොවූ පොලිසිය පසු බා ගියේ අරගලකරුවන්ට ඕනෑ කුදයක් ගහගන්න ඉඩ දෙමිනි. මාස නවයක් තිස්සේ ඉරාකයේ ඇතිව තිබූ දේශපාලන වියවුලේ කූඨප්‍රාප්තිය එලෙස තිරය මත දිග හැරෙමින් තිබුණි.

මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අත්පත් කරගත් පිරිසෙන් බොහොමයක් එරට ප්‍රබල දේශපාලනඥයෙකු වූ මුස්තාදා අල් සදර්ගෙ අනුගාමිකයන් බව දැන් රහසක් නොවේ. ඔවුන්ගේ සටන් පාඨ එල්ල වුණේ යෝජිත නව අගමැතිවරයාට Go Home කියන්නටත් පවතින පාලනයේ දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිවත්ය.

මුස්තාදා අල් සදර් යනු එරට ශියා ආගමික ප්‍රජාව නියෝජනය කරන දැඩි ඉරාන විරෝධී දේශපාලනඥයෙකි. එසේම ඉරාකය තුළ ඇමෙරිකානු මැදිහත්වීමටත් ඔහු විරුද්ධය. 2021 නොවැම්බර් මස පැවති මහා මැතිවරණයෙන් අල් සදර් නායකත්වය දරන Sadrist Movement නම් දේශපාලන සන්ධානයට ආසන 73ක් ලැබුණි. ඉරාක පාර්ලිමේන්තුවේ ආසන 329ක් තිබුණද යම් ආකාරයක හෝ බහුතර බලයක් සහිත වෙනත් කිසිදු පාර්ශ්වයක් දක්නට නොලැබිණි. එබැවින් මාස නවයක් තිස්සේ ආණ්ඩුවක් අටවා ගැනීමට නොහැකිව මන්ත්‍රීවරුන් කුළල් කා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇත.

නොවැම්බර් මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ මුල්ම කාර්ය වූයේ අභිනම කථානායකයෙකු පත්කර ගැනීමයි. කෙසේ නමුත් මුලින්ම යම් එකඟතාවක් ඇතිව මුසහදිනි නම් වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අන්තර්කාලීන කථානායකයා ලෙස පත්කර ගැනීමට පාර්ලිමේන්තුවට හැකි විය. නමුත් අභිනව කථානායකතුමා තම ආසනයේ හිඳගත් වහාම මන්ත්‍රීවරුන් අතර අළු යට ගිනිපුපුරු මෙන් තිබූ බලකාමය ඉස්මතු වී එකිනෙකා කා කොටා ගන්නට විය. විසංවාදය කෙතරම් සාර්ථකද කියනවානම් නව කථානායකතුමාට අසනීප වී ඔහුට රෝහල්ගත කරන්නට පවා සිදුවිය.

ඉන් පසුව අල් සදර්ගේ ඉරාන විරෝධී සන්ධානයේ මන්ත්‍රීවරුන් එකතු වී වෙනත් කථානායකවරයෙකු පත්කර ගත් අතර එකී සන්ධානයේම පක්ෂ අතර එකඟතාවයෙන් නියෝජ්‍ය කථානායකවරු දෙදෙනා ද පත්කර ගන්නා ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ ඉරාකයේ ප්‍රධාන ජන කොටස් වූ ශියා, සුන්නි හා කුර්දි වරුන් අතර කාලානුරූපව බලය හුවමාරු වන ජාතික බහුතර රජයකි. නමුත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ ඉරාන හිතවාදී මන්ත්‍රීවරු 88 දෙනකු එක්ව කථානායකවරුන්ගේ පත්වීම්වලට එරෙහි වන්නට විය. ඔවුන්ගේ තර්කය වූයේම අල් සදර්ගේ 73 කණ්ඩායමට වඩා තමන්ගේ 88 කණ්ඩායමට රජයක් පිහිටුවීමට අයිතිය ඇත යන්නයි. අවසානයේ තීරණයක් ගත නොහැකිව පාර්ලිමේන්තුව එතැනින්ම නතර විය. කෙසේ නමුත් ඉරාක ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ හා නිර්ණායක මත තවදුරටත් පාර්ලිමේන්තුව නාමිකව හෝ බලාත්මක විය.

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කථානායක පත්වී මසක් තුළ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු පත්කළ යුතුය. ඒ සඳහාත් පාර්ලිමේන්තුව තුළ කිසිදු එකඟතාවක් දක්නට නැත. එක් කණ්ඩායමක් හිටපු ජනාධිපති බර්හාන් සලේ යෝජනා කරන අතර තවත් කණ්ඩායමක් හිටපු විදේශ ඇමැතිවරයාගේ නම යෝජනා කරයි.

ඉරාක පාර්ලිමේන්තුවත් අරගලකරුවෝ අල්ලති

කෙසේ නමුත් මැතිවරණය පවත්වා මාස නවයක් ගතවී ගියද ඉරාකයට තවම ජනාධිපතිවරයෙකු නැත. හිටපු ජනාධිපතිවරයා ඉන්නන් වාලේ ධුරයේ කටයුතු කරමින් ඇත. එසේම එරටට තවමත් හරිහමන් ආණ්ඩුවකුත් නැත. හිටපු අගමැති මුස්තාෆා අල් කදීමිටත් කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පුටුව රත්කරන්නට සිදුව ඇත. මේ දේශපාලන කෝන්තරය කෙතරම් දැඩි ද කියතොත් අගමැතිවරයා ඝාතනය කිරීමට පවා උත්සාහ දරා තිබුණි. අගමැතිවරයාගේ අධි ආරක්ෂිත නිවස්නය වෙත පහත් කරමින් තිබූ බෝම්බ ඇටවූ ඩ්‍රෝන යානා දෙකක් එරට හමුදාව විසින් අවසාන මොහොතේ වෙඩි තබා බිම හෙළා තිබුණි.

අවසානයේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ කලකිරී අල් සදර්ගේ Sadrist Movement මන්ත්‍රීවරු 73 දෙනාම ඉල්ලා අස්විය. ඒ හේතුවෙන් අමතර මන්ත්‍රීවරු 73 දෙනකුට පාර්ලිමේන්තුවට පැමිණීමට නොසිතූ ඉල්ලමක් පෑදී තිබුණි. පසුව ඉරාන හිතවාදී මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ බලවත් විය. ඔවුහු එකතු වී මොහමඩ් ශියා අල් සුඩානි නම් හිටපු ඇමැතිවරයෙකු අගමැති තනතුරට නම් කළහ. පසුගිය 25 වැනිදා සිදුවූ එකී පත්කිරීම පිටුපස වත්මන් ඉරාක දේශපාලනයේ කපටි ආරක්ෂකයා වූ හිටපු අගමැති නූර් අල් මලිකි සිටින බව පැවසේ.

අල් සදර්ගේ අනුගාමිකයන් දැන් පාර්ලිමේන්තුව ආක්‍රමණය කර අවසන්ය. යෝජිත අගමැතිවරයාට Go Home යැයි කියමින් දහස් ගණන් පිරිස් උද්ඝෝෂණය කරමින් ඇත. කෙසේ නමුත් ඉරාක පාර්ලිමේන්තුව වැටලීමට දේශපාලන නායකත්වයක් ලැබී ඇත. අල් සදර් හැංගි හැංගී වෙස් නොබැඳ එළිපිට පෙනෙන්නට ඇත. ඔහුට අවශ්‍ය තම බලය පෙන්වා කොක්කෙන් නැත්නම් කෙක්කෙන් හෝ ඉරාකයේ බලය ඩැහැ ගැනීමයි. අගමැතිට Go Home කියූ අල් සදර් අවසානයේ තම අනුගාමිකයන්ටත් Go Home කීවේය. හරියටම කිවහොත් ඔහු කීවේ Pray and go Home යනුවෙනි. ඉන් පසුව පිරිස යාඥා කර විසිර ගියහ.

ඉරාකයේ හිටපු ආඥාදායකයා වූ සදාම් හුසේන් බලයෙන් පහකිරීමට ගොස් ඉරාකය කබලෙන් ළිපට වැටුනි. ඉරාකය බිමටම සමතලා විය. ISIS ත්‍රස්තවාදීන්ගේ බෙලි කැපීම්, අඩියෙන් අඩියට පුපුරන අධි බලැති බෝම්බ නිසා ඉරාකය නන්නත්තාර විය. ඒ කෙසේ වෙතත් ඉරාකයට හැමදාම ආණ්ඩුවක් තිබුණි. ඉන්න නැතත් කන්න හරි රටක් ඉතිරි වී තිබුණි. කොලු කුරුට්ටන් කණ්ඩායමකට පාර්ලිමේන්තුව අත්පත් කරගත හැකි මට්ටමට රටක් පත්වීම යනු ඇත්ත අරාජිකත්වය බව ඉරාකයේ සිදුවීමෙන් ලොවට පෙන්නුම් කරයි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment