ඉරිතැලූණු මිනිස්කම් සහ ලේ පිපාසිතයන්ගේ ගොදුරු බිම්

46

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසු යුරෝපයේ විශාලතම සංග‍්‍රාමය මෙය විය හැකි යැයි යුක්රේනයේ අද ඇතිවී ඇති තත්ත්වය ගැන මත පළ වෙමින් පවතියි.

”මගේ ධුර කාලය තුළ ඛේදජනකම මොහොත” මෙය යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා ප‍්‍රකාශ කර ඇත. ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ” මම මගේ හද පතුලෙන්ම ඉල්ලා සිටියා, පූටින් ජනාධිපතිවරයාගෙන් මේ යුද්ධය නතර කරන ලෙස. මිනිස් ජීවිත මිය යමින් සිටිනවා. කරුණාකර සාමය උදෙසා අවස්ථාව ලබාදෙන්න.”

මේ අතර යුක්රේන ජනපතිවරයා අදහස් දක්වා සිටියේ රුසියාවේ මේ ප‍්‍රහාරය දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියේ හැසිරීමට සමාන කරමින්. ” කෙසේ වෙතත් අපි අපේ මාතෘ භූමියත්, නිදහසත් රැක ගැන්මට කැපවෙනවා.”

රුසියානු ජනාධිපති පුටින්ගේ ස්ථාවරය වී ඇත්තේ ” සිදුවන ලේ හැලීම් සියල්ලට යුක්රේනයේ වත්මන් පාලනය වගකිව යුතුයි. රුසියාවේ ආරක්ෂාවට, පැවැත්මට, සංවර්ධනයට තර්ජනයක් වෙමින් සිදුවන හැසිරීමේ අවසානයක් තිබිය යුතුයි.” යන්නයි.

”සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් හෝ ප‍්‍රකෝප කිරීමකින් තොරව සිදුකර ඇති ප‍්‍රහාරයක්” ලෙසින් මේ ආක‍්‍රමණය අමෙරිකානු ජනාධිපති බයිඩන් විසින් හඳුන්වා ඇත.

ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන් කුමන අයුරින් අදහස් පළකර සිටියද, යථාර්ථය වන්නේ යුරෝපය තුළ බියකරු යුද්ධයකට මුලපිරී තිබීමයි. මතුපිටින් ගැටුම රුසියාව හා යුක්රේනය ලෙසින් පෙණුනද, සැබැවින්ම ගැටුම පවතින්නේ අමෙරිකාව සහ රුසියාව අතර වීම පැහැදිලිය.

1991 දී සීතල යුද්ධයේ නිමාවක් සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග සිදුවුවද, පුටින්ගේ නායකත්වය යටතේ අමෙරිකාව හා රුසියාව අතර අවිශ්වාසය හා සැක සංකාවන් වර්ධනය වෙමින් සිදුවූ සිදුවීම් මාලාවක් දැකිය හැකිවිය. සෝවියට් දේශයෙන් බිඳී ගොස් ස්වාධීන රාජ්‍යන් බවට පත්වූ ලිතුවේනියාව, ලැටීවියාව, එස්ටෝනියාව වැනි රාජ්‍යයන් නේටෝ සංවිධානයට බඳවාගැන්ම මෙන්ම ජෝර්ජියාව සහ යුක්රේනය නේටෝ සංවිධානයට බඳවා ගැන්ම සඳහා සාකච්ඡාවනට මුලපිරීමත්, චෙච්නියාවේ බෙදුම්වාදී අරගලයට ලබාදෙන සහයෝගය වැනි සිදුවීම් වැලක් යුක්රේන අර්බුදය තුළින් සිදුව ඇති පිපිරීමට පසුබිම්ව ඇත.

තවත් පැත්තකින් ජනාධිපති ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය පිටුපස ජනපති පුටින්ගේ භූමිකාව පිළිබඳ වන කථාව මෙන්ම ලෝක මූල්‍ය ක‍්‍රමය තුළ ඩොලරයේ වටිනාකම අඩුකරන ක‍්‍රමයක් සඳහා වන උත්සාහයන් සහ වත්මන් චීන ජනපති යටතේ රුසියාව සහ චීනය අතර ඇතිවෙමින් පවතින සමීප බව තුළින් එල්ලවිය හැකි අභියෝගද මේ ගැටුම, පරතරය වර්ධනය වීමට හේතුවන්නට ඇත.

”තම අසල්වැසි රාජ්‍යයනට අයත් භූමි ප‍්‍රදේශ කඩා බිඳ දමා, අලූත් රාජ්‍යයන් ලෙස පිළිගැන්මේ බලය පුටින්ට දී ඇත්තේ කවුරුන්ද?” යයි මේ අතර අමෙරිකානු ජනපතිවරයා ප‍්‍රශ්න කර සිටීම මාධ්‍යවල පළවී ඇත.

මෙහිදී මගේ සිහියට නැගෙනුයේ 2003 වසරේදී මහා විනාශයනට මග පාදන විනාශකාරී ආයුධ ඉරාකයේ ඇති බව පවසමින් ඉරාකයට සිදුකළ ප‍්‍රහාරයන්ය. ලොවපුරා මිලියන ගණනින් ලෝක ජනමතය ඒ යුද්ධය නතර කරන ලෙස හඬ නගද්දීත් ලෝක ජනමතයට, ජාත්‍යන්තර නීතීන්ට හිස නැමීමක් සිදු නොවිණ. මහා ජීවිත විනාශයකින් පසුව, විනාශකාරී ආයුධ ගැන කළ ප‍්‍රකාශය, නොමග යැවීම් නිසා සිදුකළ ප‍්‍රකාශයන් බවට පාපොච්චාරණයක් සිදුවිණ. මේ පසුබිම තුළ ජාත්‍යන්තර තලයේ තීන්දු තීරණ ගන්නා වූ බලවේගයන් මත ප‍්‍රබල බලපෑම් සිදුකරන්නා වූ ආයුධ නිෂ්පාදනය කරන ව්‍යාපාරයන්හි මිනිස් ජීවිත මායිම් නොකරන භූමිකාවන්ද පවතින බව සිහි කටයුතුය.

යුක්රේනය මෙන්ම ඉරාකය, ලිබියාව, වැනි රටවල් සම්බන්ධව සුපිරි බලවේගයන්ගේ මේ හැසිරීම් තුළින් පෙන්වන්නේ ලොව කුඩා රටවලට තම ස්වාධීන පැවැත්ම පිළිබඳව ඇති ගැටලූන්ය.

යුරෝපය තුළ සිතාගත නොහැකි මහා විනාශයකට මුලපුරන තවත් දැවැන්ත යුද්ධයක ආරම්භය වළක්වා ගැන්මෙහිලා විශ්වසනීය මැදිහත්කරුවෙකුගේ කාර්යභාරය අද අවශ්‍ය වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට එයට උරදිය හැකිද? ජාත්‍යන්තර තලය තුළ මේ හිස් අවකාශය පිරවීම අද ඇති බැ?රුම් අභියෝගයක්මය.

නොබැඳි ව්‍යාපාරයේ උපතට මුල්වූ උදාර අරමුණුවල වැදගත්කම, මේ සිදුවන සිදුවීම් තුළින් තවදුරටත් මතුවී පෙනේ. රටක විදේශ ප‍්‍රතිපත්තිය දුරදැක්මෙන්, නිවැරැදි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිට කළමනාකරණය කර ගැන්මේ අවශ්‍යතාව, මේ සියලූ අර්බුද තුළින් උගත හැකි පාඩමක් වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment